උතුරු පළාතේ බෞද්ධ උරුමයන් අතර කුරුන්දිමලේ ආරාම පරිශ්‍රය ඉතා වැදගත් ස්ථානයක් ගනී. එය පිහිටා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු වසමේ නාගචෝලේ රක්ෂිත වනය තුළයි. මෙම පුරාවිද්‍යා බිම මුලින්ම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කළේ සුද්දන්ගේ කාලයේදීයි. වර්ෂ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78ක භූමි කොටසක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මළු තුනක් වශයෙන් සකසා ඇති කඳුගැටයක ඉහළම මළුවේ නටබුන් රාශියක් දැකගත හැකිය. කබොක් ගල්වලින් තැනූ දාගැබක නටබුන්, ප්‍රාකාර බැමි, ගල් කුලුණු, සඳකඩ පහණ, කැටයම් කළ ගල් උළුවහු ඒ අතර වේ. මේ කඳුගැටය පාමුල කුරුන්දි වැව පිහිටි අතර එයට නුදුරින් තවත් නටබුන් විහාරයක් වනගතව පවතී. මෙහි සිට මුහුදු වෙරළට එතරම් දුරක් නැත. මුලින්ම එල්ලාවල මේධානන්ද හිමි දශක කිහිපයකට පෙර මෙම ස්ථානය ගවේෂණය කර වාර්තා කර තිබේ.
මෙහි පුරාවිද්‍යා ගවේෂණ කටයුතු පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පුරාවිද්‍යා නිලධාරීන් විසින් සිදුකෙරිණි. එහිදී පැරණි සෙල්ලිපියක්ද සොයාගත් අතර එය තවම කියවා ප්‍රකාශයට පත්කර නැත.
පසුගිය ජනවාරි 18දා කුරුන්දිමලෙයි විහාරබිමට විශේෂ දිනයක් විය. එහි කැණීම් කටයුතු ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායකගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීම එම සිද්ධියයි. ඒත් බෞද්ධ පුරාවස්තුවලට අසාත්මිකතාව දක්වන දෙමළ මන්ත්‍රීවරු හතර දෙනකු ඊට විරෝධය පළකොට තිබේ. වනගත විහාරස්ථානයේ කැණීම් කටයුතු වන බව දැනගත් දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, නෝහා රාධලිංගම්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා එස්. ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු අදාළ ස්ථානයට ගොස් තිබේ. ඒ අවස්ථාවේ ප්‍රදේශයට ආරක්ෂාව සපයන යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ භට පිරිස් වීඅයිපීලා වන මන්ත්‍රීවරුන්ට කැණීම් ආරම්භ කරන ස්ථානයට යෑමට අවසර දී තිබේ.
කැණීම් ආරම්භ කිරීමට පෙර බෞද්ධ චාරිත්‍රානුකූලව ඇමැතිවරයා ඇතුළු පිරිස බුදුන් වැදීම සඳහා බුදු පිළිමයක් රැගෙන ගොස් මේසයක් මත තබා එයට මල් පහන් පූජා කළහ. එම සිද්ධියෙන් කලබල වී ඇති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බෞද්ධයන් නොමැති පළාතක බුදු පිළිම තැන්පත් කරන්නේ යැයි කියමින් එතැනින් පිටව ගියහ. පසුව මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා එයට විරෝධය පළ කර තිබේ. කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු රැගෙන ගිය බුදු පිළිමය ආපසු රුගෙන ඒමටද සංවිධායකවරුන් පියවර ගෙන තිබේ.
රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක සමඟ අමාත්‍යාංශ ලේකම් කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, වවුනියාව, මන්නාරම හා මුලතිව් ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ආර්.ජී. ජයතිලක යන මහත්වරුන් හා සෙසු පුරාවිද්‍යා නිලධාරීන්ද යුද හමුදා ප්‍රධානීන් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට අමතරව සපුමල්ගස්කඩ විහාරයේ දාගැබ සංරක්ෂණය කිරීමට මුල්ගල තැබීමද ආන්දම්කුලම රක්ෂිතයේ කැළය හෙළිකිරීමේ සිද්ධිය පිළිබඳව වූ නිරීක්ෂණ චාරිකාවකටද ඇමැතිවරයා ඇතුළු පිරිස සහභාගී වූහ. මේ සෑම දෙයක්ම දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට හිසදරයක් වී තිබේ.
මේ වනවිට යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ ආරක්ෂාව මධ්‍යයේ මුලතිව් කුරුන්දිමලෙයි විහාරාසන්න ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුවේ. මෙම කන්ද පුරාණයේ පියන්කල්ලු නමින්ද හඳුන්වා ඇත. කන්ද අක්කර 100කට වඩා වැඩිය. කඳු මුදුනේ ඕවලාකාර තැනිතලාවකි. මෙම බිම සඳකඩ පහණ, ආරාමවල නටබුන් ඇතුළු පුරාණ නෂ්ටාවශේෂ රාශියක් සහිතය. එම ආරාම බිමෙන් මීටර් 300ක් පමණ දුරින් පැවති අඩි 150ක වට ප්‍රමාණයෙන් යුත් පස්ගොඩැල්ල කැණීම්වලට ලක්කර තිබේ.
එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මෙම දාගැබ අනුරාධපුර යුගයේ පළමු සහ දෙවැනි සියවස්වලට අයත් බවට සැක පහළ කෙරේ. මෙහි ඉදිකිරීම් සඳහා කළුගල් මෙන්ම කබොක් ගල්ද යොදාගෙන තිබේ. මුල් කාලීන දාගැබ්වල ගර්භයේ ඉහළින් සවිකර තිබූ යූපගල (පැරණි චෛත්‍ය ගර්භයේ සවිකර තිබූ කුලුනක්) මතු කරගෙන ඇති බවට කැණීම් බාර පුරාවිද්‍යා නිලධාරීහු පවසති. මෙම ස්ථූපයේ උස දළ වශයෙන් මළුවේ සිට මීටර් 6.70 ක් පමණ වන අතර මේ වනවිට මීටර් 3 කට උසකට දළ වශයෙන් මතුකරගෙන තිබේ. ස්ථූපය තවත් පොළොව යටට ඇති හෙයින් නිශ්චිතවම උසක් මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පුරාවිද්‍යා නිලධාරීහු පවසා සිටිති. දැනට යූපගල අඩි දෙකකට ආසන්න උසක් දක්වා මතුකර ගෙන ඇති අතර එය පොළව යටට තවත් පිහිටා තිබේ.
මේ වනවිට අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරක්ෂක අංශවල සහය මත සිදුකරමින් පවතින අතරම කැණීම් කටයුතු නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් විටින් විට විරෝධතාවය පළ කර කිරිම කනගාටුවට කරුණකි. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කරන්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර ඒවා යුද්ධය හේතුවෙන් හෝ නිධන් සොරුන් විසින් හානි සිදුකර ඇත්දැයි යන්න සොයා බලන බවයි.
කුරුන්දිමලෙයි විහාරයේ කැණීම් සිදුකර ඒවා මතුකර ගතහොත් එහි වාසිය ප්‍රදේශයේ ජනතාවටය. සංචාරකයන් පැමිණෙන විට ගැමියන්ගේ අතමිට සරුවේ. ගැමි ජනතාව කිසිවිටකත් මෙම කැණීම්වලට විරෝධයක් පළ කිරීමක් දැකගත නොහැකිය. විරෝධය පළ කරන්නේ දේශපාලන වාසි පිණිස සුළු පිරිසක් විසිනි. වවුනියාව පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ආර්.ජී. ජයතිලකගේ අධික්ෂණයෙන් කැණීම් භාර නිලධාරී එස්.එස්. ගුරුසිංහ, කලාප භාර නිලධාරි ආර්.ජී.ජේ.පී. ගුණතිලක යන නිලධාරිහු මෙහි කැණීම් සඳහා දායකත්වය දක්වති.
අට්ඨ කථාවල කුරුන්දක නමින් ගමක් ගැන කිහිප වතාවක්ම සඳහන්ය. කුරුඳුගමු රට ලෙස කඩයිම් පොත්වල සඳහන් වන්නේ මේ පෙදෙස විය හැකිය. පූජාවලිය සහ නිකාය සංග්‍රහය සඳහන් කරන්නේ කුරුඳු රටට සමීපව පදී රට පිහිටි බවයි. පදී රට යනු වර්තමාන පදවියයි. 2 වැනි පරාක්‍රමබාහු (1236 -1270) විසින් විනාශ කරන ලද කාලිංගමාඝගේ කඳවුරක් කුරුන්දියෙහි පිහිටි බව මූලාශ්රවල දැක්වේ. ඛල්ලාටනාග රජු (100-103) කුරුන්දාවශෝක නම් විහාරය කරවීය. 1 වැනි අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා කුරුන්දවාපි නම් වැවක්ද කරවීය. 1 වැනි විජයබාහු (1055-1110) රජු කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබේ. පොළොන්නරු යුගයෙන් පසු මෙම ස්ථානය ගැන කිසිම මූලාශ්‍රයක සඳහන් නොවේ. කැණීම්වලදී ඉදිරියේදී තවත් වැදගත් පුරාවිද්‍යා සාධක මතුවීමට ඉඩ තිබේ.
කුසුම්සිරි
සේයාරූ I වන්නි රොමේෂ් මධුසංක