ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු වන රන්ජන් දන්තනාරායන මහතාගේ රාජකාරි අත්දැකීම් විටින් විට දේශයේ අපි ඔබ හමුවේ තැබූවෙමු. එහි තවත් පරිච්ඡේදයක් ඔබ හමුවේ තැබීමට අපූරු නිමිත්තක් පසුගිය ජනවාරියේදී අපට හමුවූයේය.
ජනවාරි හත්වැනිදා සත්ව ආහාර ලෙස මෙරට ගෙනා රුපියල් මිලියන එකසිය විස්සක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සොයා ගත්තේය. මධ්‍යම තැපැල් හුවමාරුවේ භාවිතා වන පරිලෝකන යන්ත්‍රය මීට උපකාරී වී තිබුණි. රේගු ඉතිහාසයේ මෙතරම් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් මෙවන් ක්‍රමවේදක් ඔස්සේ සොයාගත් පළමු අවස්ථාව මෙය විය. මෙය සොයාගැනීම සහ දන්තනාරායන මහතාගේ රේගු ඉතිහාස අතර අපූරු සම්බන්ධක් වන බව අප පසුව දැන ගත්තේය. මේ දිග හැරෙන්නේ ඒ අපූරු කතාවයි.
කෝටි ගණන් රේගු බදු සාක්කුවලට මෙය මාතෘකාවකි. මාතෘකාවක් වූයේ නමක්, අත්සනක් හෝ කිසිදු හැඳින්වීමක් දක්වා නොමැති ඔබතුමාට, රටට, ජාතියට, ආයතනයට හිතැති පාක්‍ෂිකයන් පිරිසක්* ලෙස සඳහන් කර 2006.02.10 දින එවකට සිටි නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ට පිටපත් සහිතව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද පෙත්සමකය.
එම පෙත්සමට අනුව (උපුටා ගැනීම) &කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, අංක 87, තැපැල් කාර්යාල (පී.ඒ. ශාඛාව) සහකාර රේගු අධ්‍යක්‍ෂවරයෙකු යටතේ ක‍්‍රියාත්මක වන බවත්, එම ස්ථානයේ ඇති අධිවේගී තැපැල් අංශයේ (ඊ.එම්.එස්.) දිනපතා විශාල වශයෙන් රේගු බදු අය කළ යුතු භාණ්ඩ රාශියක්ම ලැබෙන බවත්, අවුරුදු ගණනාවක් තිස්සේ මෙම ඊ.එම්.එස්. අංශයේ ගැවසෙන පිටත සිටින ත‍්‍රීවීලර් කල්ලියක් විසින් රේගු නිලධාරීන්ගේද සහය ඇතිව කෝටි ගණන් රේගු බදු වංචා කිරීමක් කරගෙන යනු ලබන බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර රජයට හිමිවිය යුතු විශාල මුදලක් රුකගැනීමට කටයුතු කරන ලෙසට උදක්ම ඉල්ලා සිටිමි* (උපුටා ගැනීම අවසන්) මෙය චෝදනා පහක් සහිත නිර්නාමික ලියවිල්ලකය.
එම වකවානුවේ අදාළ රේගු අංශයේ සහකාර රේගු අධ්‍යක්‍ෂකවරයා වූයේ රන්ජන් දන්තනාරායන මහතාය. ඔහු 2004.07.09 දින සිට 2006.07.19 දක්වා එහි සේවය කර ඇත. විදේශ තැපැල් පාර්සල් අංශය ආරම්භ කළ දිනයේ සිටම එම පාර්සල් අඩංගු විදේශ තැපැල් මලු කටුනායක ගුවන් තොටුපොලේ/කොළඹ වරායේ සිට මධ්‍යම තැපැල් හුවමාරුව දක්වා ප‍්‍රවාහනය කරනුයේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහනවලින් වන අතර එම වාහනවලට විදේශ තැපැල් මළු ඇතුළු කළ පසු එහි දොරවල් සුරක්‍ෂිත කරනු ලැබුවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉබි යතුරු භාවිතයෙනි. එම ඉබි යතුරුවල යතුරුද එම වාහනවල ගමන් කරනු ලබන තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සන්තකයේම පැවතිණි.
මෙමගින් විදේශවලින් එවනු ලබන ලිපි විවෘතකර ඒවා තුළ එවන විදේශ මුදල් නැතිවීම් වැනි අක‍්‍රමිකතාවයන් රුසක් වරින්වර පුවත්පත්වල පළවී තිබූ අතර විදේශවලින් එවනු ලබන භාණ්ඩ පරීක්‍ෂාකර තීරුබදු සහ අනෙකුත් බදු අයකර ගන්නා තුරු සහ නීති විරෝධීව එවනු ලබන භාණ්ඩ මගින් සිදුවන රේගු වංචා වැළැක්වීම රේගු දෙපාර්තමේන්තුව සතු කාර්ය භාරයක් බැවින් මෙම ඉබි යතුරු භාවිතය වෙනස් කිරීමට දන්තනාරායන මහතා තීරණය කර ඇත.
ඒ අනුව 2004.11.18 දින ඔහු විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ඉබි යතුරු භාවිතය වෙනස්කොට රේගු දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ එක් මුද්‍රාවකට එක් අනුක‍්‍රමික අංකයක් සහිත ඉතා සුරක්‍ෂිත වූ රේගු පටි මුද්‍රා (Strap Seal) භාවිත කිරීමට සහ එම පටි මුද්‍රාවලට අයකරනු ලබන රු. 100/- මුද්‍රා ගාස්තුව නොමැතිව භාවිත කිරීමට අනුමැතිය ලබාදෙන ලිඛිත ඉල්ලීමක් කරන ලදි. එම ඉල්ලීමට ක්‍ෂණිකව ප‍්‍රතිචාර දක්වමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විසින් මෙම ක‍්‍රියාමාර්ගය ඉතා අවශ්‍ය ආදායම් සුරක්‍ෂිත කිරීමට සහ වංචා වැළැක්වීමට ඉවහල් වන බැවින් එදින සිටම ක‍්‍රියාත්මක කරන ලෙසට දුරකතනයෙන් උපදෙස් ලබා දී පසුදිනම 2004.11.19 දින ලිඛිත අනුමැතිය ලබා දී තිබුණි. ඊට අමතරව මෙම විදේශ තැපැල් පාර්සල් හිමිකරුවන් පැමිණ හිමිකාරිත්වය ප‍්‍රකාශ කරන තුරු ඒවා මධ්‍යම තැපැල් හුවමාරු ගොඩනැගිල්ලේම ස්ථාපිත කර ඇති සුරක්‍ෂිත වානේ දැල් කුටි (Grills) හි තැන්පත් කරනු ලබන අතර එම කුටිවල පාලනය ද තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සතුව පැවතිණි.
නමුත් හිමිකරුවන් පැමිණ අයිතිය ප‍්‍රකාශ කොට රේගු පරීක්‍ෂණවලට භාජනය වනතුරු මෙම භාණ්ඩ සඳහා රේගු බදු සහ අනෙකුත් බදු ගෙවා නොමැති නිසාත් මෙම පාර්සල් තුළ විවිධ නීති විරෝධී සහ තහනම් භාණ්ඩ තිබිය හැකි බැවින් සහ ඒවායේ සුරක්‍ෂිතභාවය රේගු දෙපාර්තමේන්තුවේ වගකීමක් බැවිනුත් එම සුරක්‍ෂිතාගාර සඳහා රේගු දෙපාර්තමේන්තුවේ ඉබි යතුරු දමා සුරක්‍ෂිත කිරීමට කටයුතු කර ඇත. මෙම ක‍්‍රියාමාර්ග පිළිබඳව නොසතුටට පත් සේවකයන් පිරිසක් දන්තනාරායන මහතා එම පරිශ‍්‍රයට ඇතුළු වන පිවිසුම් දොරටුවේදී අපහසුතාවයට පත් කිරීමට දෙවරක් උත්සාහ දරා ඇති බව කියැවේ.
එය අසාර්ථක වූයෙන් ඔවුන් 2006.02.10 දින ඉහත සඳහන් පෙත්සම එවා තිබුණි. එම පෙත්සම 2006.02.14 දින ජනාධිපති කාර්යාලය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත යොමුකරන ලදුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විසින් 2006.02.16 දින පෙත්සමේ සඳහන් කරුණු පිළිබඳව (උපුටා ගැනීම) &ඔබගේ විමර්ශන දැක්වෙන මෙම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග සඳහන් කරන්න. මෙම ක‍්‍රියාවලිය රේගු බදු ආදායම් අඩු වීමට හේතුවිය හැකි බැවින් වාර්තාවක් සපයන ලෙසට* (උපුටා ගැනීම අවසන්) ලෙසට සටහනක් යොදා දන්තනාරායන මහතා වෙත එවා තිබුණි.
ඊට ප‍්‍රතිචාර වශයෙන් පෙත්සමේ සඳහන් කර තිබූ චෝදනා පහටම වෙන් වෙන් වශයෙන් තම නිරීක්‍ෂණ දක්වමින් සහ මෙම පෙත්සම එවා ඇත්තේ අගතියට පත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් පිරිසක් විසින් බව දන්තනාරායන මහතා පිළිතුරු ලිපියේ පැහැදිලි කර තිබේ. එසේම සිදුවනවා යැයි චෝදනා කරන ලද සියලුම රේගු වංචා සහ අනෙකුත් අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවේ භාවිතය සඳහා පරිලෝකන (scanning) යන්ත‍්‍රයක්, ලෝහ පරීක්‍ෂණ (Metal Detector) උපකරණයක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිල සුනඛයකුගේ සේවය ලබා දීමට කටයුතු කරන ලෙසට 2006.02.27 දින රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ට යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ. එහි පිටපත් අදාළ ආයතන සහ අංශ වලට යොමු කරන ලෙසටද එයින් ඉල්ලීමක් කර තිබේ.
පෙත්සමක් එවීමෙන්ද අරමුණු ඉෂ්ට කරගත නොහැකි වූ අදාළ සේවකයන් විසින් 2006.06.23 දින කෑම පැයේදී මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඩී.ආර්. විජේවර්ධන මාවතේ පදික වේදිකාව මත දන්තනාරායන මහතා වහාම මාරුකරන ලෙසට සඳහන් පුවරු ඔසවා ගනිමින් විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී. කෙසේ වුවද දන්තනාරායන මහතා නියමිත කාල සීමාව වන වසර දෙකම එහි සේවය කර ඇත.
කෙසේ වුවද දන්තනාරායන මහතා විසින් 2006.02.27 දින සිදුකරන ලද යෝජනාවට අනුව වර්තමානයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාවිතය සඳහා පරිලෝකන යන්ත‍්‍රයක් සවිකර ඇති අතර අවශ්‍යතාවය අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිල සුනඛයකුගේ සේවය ලබා ගනිමින් පවතී.
රේගු මත්ද්‍රව්‍ය අංශයේ සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන්ට අනුව 2021.01.07 දින සත්ව ආහාර ලෙස ප‍්‍රකාශ කර තිබූ පැකැට්ටු තුළ අසුරා තිබූ කිලෝ ග්‍රෑම් 09 ක් බරුති රු. මිලියන එකසිය විස්සක් (120,000,000) ක් වටිනා &එක්ස්ටසි* නමින් ව්‍යවහාරයේ පවතින &මෙතිලීන් ඩයොක්සි මෙතාඇම්ෆටමයින්* (Methylenedioxy methamphetamine) විෂ මත්ද්‍රව්‍ය පෙති 20,000ක් සොයාගැනීමට මෙම පරිලෝකන යන්ත‍්‍රය ඉවහල් වූ බව මේ පිළිබඳව සිදුකරන ලද සොයා බැලීමකදී දන්තනාරායන මහතාට අවබෝධ වී ඇත. රේගු ප‍්‍රධානීන්ට අනුව මෙය මෙතෙක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර මෙම වාර්තාගත අත්අඩංගුවට ගැනීම දන්තනාරායන මහතා විසින් කරන ලද යෝජනාවක ප‍්‍රතිපලයක හේතුවෙන් සිදුවීම සහ රටට සේවයක් කිරීමට හැකිවීම පිළිබඳව විශ‍්‍රාමික ඔහු නිහතමානීව සතුටු වෙයි.
චමිදු නිසල්