2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ඉන්දියාවේ බී.ජේ.පී.ය ලංකාවේ පැළකරන කතාව

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

අසල්වැසියන් හැමවිටම වැදගත්ය. ඒ ඔවුන්ගේ ජීවන රටාව, ඇතැම්විට ඔවුන් ගන්නා තීරණ අප ජීවිතවලටද බලපෑම් කිරීමට සමත් වන නිසාවෙනි. අසල්වැසියා බලවතකු නම්, ධනවතකු නම් තත්ත්වය වඩාත් බැරෑරුම්ය. දකුණු ආසියාව යනු බෙහෙවින් හැඟීම්බර ජනතාවක් වෙසෙන කලාපයකි. බලය වෙනුවෙන් කඳුළු හලන, පපුවට ගසා ගනිමින් ජාතිවාදය, ජාතිකවාදය ඉස්මතු කරන, හැඟීම් හෝ ජනප්‍රියත්වය, අනුකම්පාව මිස ඡන්දය ලබා දීමේදී දක්ෂතාව, අවංකම සැලකිල්ලට නොගන්නා ඡන්දදායකයන් වෙසෙන කලාපයක් ලෙසද දකුණු ආසියාව හඳුනාගත හැකිය. ඉන්දියාව මේ ලක්ෂණවල ප්‍රධාන නියෝජිතයාද වෙයි. අප රට ඇතුළු කලාපයේ සෙසු රටවලට ආදේශ වන්නේ එහි ඇතැම් ලක්ෂණ පමණි.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී)  ඉන්දියාවේ පමණක් නොව අසල්වැසි නේපාලයේ සහ ශ්‍රී ලංකාවේද ස්ථාපිත කළ යුතු බවට එහි ජාතික සභාපතිවරයා මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන අමිත් ෂා නිල ප්‍රකාශයක් සිදුකර ඇති බව ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය පසුගිය 15 වැනිදා වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ පැවති මහජන සමුළුවකදී ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇතිකිරීමට පක්ෂය අදහස් කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍යයන්හි සඳහන් වේ. ශ්‍රී ලංකාවට අමතරව ඉදිරි කාලය තුළ නේපාලයේද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බව අමිත් ෂා පවසා තිබේ.

භාරතීය ජනතා පක්ෂය යනු පක්ෂ ලියාපදිංචි සාමාජික සංඛ්‍යාව අනුව ලෝකයේ ක්‍රියාත්මක වන විශාලතම පක්ෂයයි. එහි ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව 2019 වසර වන විට මිලියන 180 ඉක්මවා තිබිණි. ඉන්දියාවේ වත්මන් ඡන්ද පදනම අනුව ඉන්දියාවේ ප්‍රබලතම පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකත්වය මූලික කරගත් පක්ෂයකි. 2014 වසරේ සිට අඛණ්ඩව ඉන්දියාවේ පාලන බලය හොබවන්නේද භාරතීය ජනතා පක්ෂයයි. 1951 වසරේ සිට 1977 වසර දක්වා භාරතීය ජන සංගමය ලෙසත්, 1977 සිට 1980 වසර දක්වා ජනතා පක්ෂය ලෙසත් ක්‍රියාත්මක වූ මෙම පක්ෂය භාරතීය ජනතා පක්ෂය නමින් ආරම්භ කෙරුණේ 1980 අ‍ප්‍රේල් මස 6 වැනිදාය. අතල් බිහාර් වජ්පායි සහ එල්.කේ. අද්වානිගේ නායකත්වය යටතේ එය නිර්මාණය විය.

‍කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ CPI (M) නායකයා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම අදහස විදෙස් රටක අභ්‍යන්තර කටයුතු වෙත අතපෙවීමක් ලෙස හඳුන්වා දී ඇත.

අපේ රටට අත පෙවීමක්

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ලංකාවේ සහ නේපාලයේ තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න සහ ලංකාවෙත් නේපාලයෙත් භාරතීය ජනතා පක්ෂය හදලා ඒ රටවල් දෙකේම රාජ්‍ය බලය ඉලක්ක කරන වැඩපිළිවෙළකට යනවා කියලා භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් වන අමිත් ෂා පසුගිය දිනක පවසා තිබූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙරට දේශපාලන කටයුතුවලට ඉන්දියාව අතපෙවීම කිසිසේත්ම සුදුසු කාරණාවක් නෙවෙයි. මොකද ලංකාව කියන්නේ නිදහස් රටක්. අපේ රටේ ජනතාව නියෝජනය කරන්න දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් ඉන්නවා. අපේ රටේ ද්‍රවිඩ ප්‍රජාව නියෝජනය කරන්නත් මෙරට ද්‍රවිඩ දේශපාලන පක්ෂ මෙන්ම නායකයන් ඉන්නවා. එහෙම වෙනත් රටක පක්ෂයක් අපට අවශ්‍ය වෙන්නේ නෑ. එය අපි දකින්නේ අපේ රටට කරන අතපෙවීමක් ලෙසට. මෙය එම පක්ෂය විසින් කරපු නිල නිවේදනයක්ද කියන එක අපි දන්නේ නෑ. නමුත් අපේ රටේ ස්වෛරීත්වයට අතපොවන්න එක එක රටවලට වුවමනා විදියට ඉඩ දෙන්න බෑ. අනික එහෙම වෙනත් රටක දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කරන්න නීතිමය හැකියාවකුත් නෑ.

අපි ඕවට ඉඩ දෙන්නෙ නෑ

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර

ඉන්දියාවේ වත්මන් අගමැතිගේ පක්ෂයේ ප්‍රධානියෙක් කියලා තියෙනවා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවන් නේපාලයෙත් ශ්‍රී ලංකාවෙත් ස්ථාපිත කරනවා කියලා. නමුත් ඒක හරියන දෙයක් නෙවෙයි. එහෙම වුණොත් කරන්න තියෙන්නේ චෝල රාජ්‍යයට එරෙහිව විජයබාහු සටන් කළා වගේ අපිට සටන් කරන්න වෙනවා. අපේ රටේ නිදහස වෙනුවෙන් තමිල්නාඩුවේ ද්‍රවිඩ ඡන්ද ගන්න මෝදි කියන කතා තමයි ඔය. එහෙම නැතුව වෙනත් රටක දේශපාලන පක්ෂයක් ලංකාවේ ස්ථාපිත කරන්න බෑ. ඒක නිකම් සිහිනයක් විතරයි. ඒ වගේම මම දැක්කා භාරතීය ජනතා පක්ෂයේ එම ප්‍රකාශයට විරුද්ධව කොංග්‍රස් පක්ෂය විරුද්ධව කතා කරලා තියෙනවා. අපේ රටේ නිදහස නැතිකරන්න අපි කොහොමත් ඉඩ ලබා දෙන්නේ නෑ.

අපේ රටේ ඉන්නේ නිවටයෝ නොවෙයි

කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

ඉන්දියාවේ වත්මන් බලය හොබවන භාරතීය ජනතා පක්ෂය අපේ රටේ වගේම නේපාලයේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවන් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසා තිබෙන බව පසුගිය 15 වැනිදා ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. නමුත් මම කියන්න කැමතියි  මේ රටේ ඉන්න ජනතාවත් ඒ වගේම මැතිවරණ කොමිසමත් නිවටයෝ හැටියට ඉන්න පිරිසක් නෙවෙයි. එහෙම නිවටකමට ඉන්නවනම් තමයි වෙනත් රටක ඕනෑම කෙනකුට ඇවිල්ලා මෙහේ පක්ෂ හදලා ඒ පක්ෂ ලියාපදිංචි කරන්න පුළුවන් අයිතිය ලබා දෙන්නේ. නීතිමය පැත්තෙන් වුණත් මෙරටට ඇවිත් පක්ෂ ලියාපදිංචි කරන්න අවස්ථාවක් නෑ. අද ඊයෙක නෙවෙයි දැනට අවුරුදු 2500ක ඉදලා ඉන්දියාව බැලුවේ මේ වටේ තියෙන දූපත් ටික තමන්ගේ අයිතියට ගන්න. නමුත් බැරිවුණා. ඒ නිසයි මොවුන් මේ කතා කියන්නේ. ඉන්දියාව දැන් මේ වෙනකොට මැතිවරණයකට සූදානම්. ඒ මැතිවරණයේදි ඔවුන්ට දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගත යුතුයි. ඒ නිසා තමයි මොවුන් මේ විදියේ ප්‍රකාශ සිදු කරන්නේ. එක එක රටවල පක්ෂ අපේ රටේ හදන්න දෙන්න තරම් නිවට ජනතාවක් නෙවෙයි අපේ රටේ ඉන්නේ. ඒ වගේම මේ රටේ නායකත්වය කිසිවිටෙකත් එවැනි කටයුත්තකට ඉඩ ලබා දෙන්නේ නෑ කියන විශ්වාසය මට තියෙනවා.

එහෙම හැකියාවක් නෑ

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා

වෙනත් රටක පක්ෂයක ශාඛා පිහිටුවලා මැතිවරණවලට තරග කරන්න පුළුවන්කමක් නෑ. ඒක ලංකාවේ පක්ෂයක් නම් මෙරට ඉන්න පුරවැසියන්ගෙන් පක්ෂයක් හදලා පසුගිය වසර 4ක් 5ක් එකදිගට වැඩ කරලා මැතිවරණවලට තරග කරලා ගොඩනගා ගත්ත පසුබිමක් තුළ විතරයි පක්ෂයක් ලියාපදිංචි කරලා පිළිගත් පක්ෂයක් හැටියට තරග කරන්න පුළුවන් වෙන්නේ. නැතුව වෙනත් ඕනෑම රටක කොතරම් ප්‍රබල පක්ෂයක් වුණත් මෙහේ ශාඛා හදාගෙන තරග කරන්න දෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම මෙරට තිබෙන දේශපාලන පක්ෂ සමඟත් විදේශීය රටක පක්ෂයකට සන්ධාන ගත වෙන්නත් බෑ.

  සටහන: හසිත් අංජන