ශ‍්‍රී ලංකාව කුඩා රටකි. ඉඩම් ප‍්‍රශ්නයක් තිබේ. සියලු පුරවැසියන්ට ඉඩම් නැත. සීමාසහිත වනවිට මිල වැඩිවෙයි. ඉඩම් අයිතිය පොහොසතුන්ට පමණක් සීමා වන ලකුණු පහළ වී ඇත. ඉඩම් මිල හා ප‍්‍රමාණවත් නොවීම මැදි ආදායම් ලබන ජන කොටසට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් නොවේ. ගොවිතැනෙහි සහ සත්ත්ව පාලනයෙහි නිරත දුර බැහැර ප‍්‍රදේශව ජීවත්වන අයටද ගැටලු ඇතිකර තිබේ. දේපොළ බෙදෙන විට ඉඩම සීමා වන අතර එය යාන්තම් යැපෙන තරමට සීමාවෙයි.
පසුගිය සති කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කළේය. ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලු ගැන අවධානය යොමු කළේය. වැඩ සමඟ යළි ගමට යනුවෙන් එහි ප‍්‍රායෝගික පැත්ත දක්වයි. ජනතාවගෙන් ලැබෙන ප‍්‍රශ්න අතරින් සෑහෙන කොටසක් ඉඩම්වලට අදාළය. රජයේ නිලධාරීන් හා ගොවියන් අතර නොවිසඳුණු සංවර්ධනය ගැන සඳහන් වෙයි. පාරක් හදාගන්නට ඉඩම් නිදහස් කරන්නේ නැත. ගොවියන් ඇති කරන ගවයන්ට තණ බිම් හිඟය. ආරක්ෂිත ඉඩමම්වලට ඇතුළු කිරීම තහනම්ය. ගොවිතැන් කරන ලද ස්ථානවල පැරැණි අයිතිය දක්වා ගොවීන් ඒවායෙන් ඉවත්කරන පියවර ගෙන තිබේ. මේවා දෙස ප‍්‍රායෝගික විසඳුම් අවශ්‍යය.
• ජනතාව නිලධාරීන් සමඟ හැප්පෙන කාරණය
අවුරුදු ගණනක් ගොවිතැන් කරන ලද කුඹුර අස්වැද්දීම නතර කර ඇති බව එක අවස්ථාවක පැමිණිල්ලකි. මුල් අවස්ථාවේදී නිලධාරීන් පියවරගත යුතුය. එසේ නොකිරීම සීමා මායිම් ප‍්‍රශ්න උත්සන්න කරයි. ඉඩම් නීති අනුව පවා භුක්ති විඳින ඉඩම් සම්බන්ධ වගන්ති තිබේ. ගොවි ජනතාව දැනට භක්ති විඳින අනවසර ඉඩම් වහාම ඔප්පුවකින් පවරන්නට වත්මන් ආණ්ඩුව එක අවස්ථාවක තීරණය කළේය. එහෙත් එම තීරණය වෙනස් කරන්නට සිදුවිය. එයට හේතුව එම තීරණය පදනම් කරගෙන සීමාවක් රහිතව රජයේ ඉඩම් අත්පත් කරගන්නා උත්සාහය වැළැක්වීමය. එහෙත් ජනතාවට වගා කරන ඉඩම සම්බන්ධව සාධාරණ ප‍්‍රශ්න තිබේ. දීර්ඝ කාලයක් විසඳී නැත. නීතිය එකකි. ප‍්‍රායෝගික පැත්ත අනෙකකි. ඉතිහාසය පුරා විවිධ ආණ්ඩු දේශපාලන තීන්දු ගෙන තිබේ. ඒවා තාවකාලික විසඳුම්ය.
ජනතාව ආණ්ඩු පත් කරන්නේ දැවෙන ප‍්‍රශ්න වලට විසඳුම් අපේක්ෂාවෙනි. සියලු දේ රජයෙන් ඉල්ලන්නේ නැති ජන කොටසක්ද සිටිති. මහ පොළොව සමඟ හැප්පෙන ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ජීවත්වෙති. ජීවිත කාලය පුරා ගොවිතැන් කරන නමුත් යසඉසුරු නැත. ජීවිතය දුක්බරය. ගොවියන්ගේ අස්වැන්න එකතු කරන අතරමැදියෝ ඉක්මනින් ධනවත් වෙති. එයට හේතුව ප‍්‍රශ්න කළ යුතුය. කෘෂිකර්මය අලාභ බව පර්යේෂණ වලින් ඔප්පු කරන නමුත් අස්වැන්න විකුණන අතරමැදියෝ විශාල ධනයක් එකතු කරගනිති. ගොවිතැන් කරන ජනතාවට ඉඩම ප‍්‍රමාණවත් නැත. අයිතිය අහිමිය. නිතර වේදනාවෙන් සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක ගේ දුක්ගැනවිලි වහා විසඳිය යුතුය.
• නීතියෙහි පරස්පරතා වලින් මතුවන ගැටලු
කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් බදු දී තිබේ. බදුගත් ගොවියන්ට එය ලියැවිල්ලක් පමණකි. මහවැලි ව්‍යාපාරය යටතේ අලුත් ඉඩම් හෙක්ටයාර් තුන් ලක්ෂ හැට පන්දහසක් අස්වද්දන සැලසුම් විය. පවුල් දෙලක්ෂ පනස් දහසක් එහි පදිංචි කරන ලද අතර එය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියක් විය. වාණිජ ඉඩම් තිස් අවුරුදු බලපත‍්‍ර ක‍්‍රමයකටය. ගොවියන්ට ජයභූමි හෝ සින්නක්කර ඔප්පු ඇති නමුත් වානිජ ඉඩම්වල නෛතික ස්වභාවය හෙයින් ව්‍යවසාය පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවලට මුහුණ පා සිටී. එකක් අයිතිය සම්බන්ධවය. අනෙක අයිතිය පෙන්වන්නට නොහැකි හෙයින් වාණිජ බැංකු ඒවා ව්‍යවසායකයන්ගේ දේපොළක් සේ ගණන් නොගනී. අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද සහන සහිතව බලපත‍්‍රලාභී ඉඩම්වල කල්ඉකුත් වූ බදු ලේඛන නිකුත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. තිස් අවුරුද්දකට පසු අද මහවැලි වාණිජ ඉඩම්වල ස්වභාවය එහි අයිතිකරුවන්ට ඒවා දියුණු කරන්නට අවස්ථාවක් නැති පමණක් නොව රජයට බදු ආදායමක් උපයාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එයින් සිදුවී ඇති හානිය සැලකිය යුතුය.
ජය භූමි, රත්න භූමි යනාදී වශයෙන් තවත් ඉඩම් පවරා ඇත. මේවායේ විවිධ පරස්පරතා හඳුනාගෙන තිබේ. රජයේ ඉඩම් බදු ගැනීමේදී තවත් ගැටලු තිබේ. බදුගත් පුද්ගලයාට එය පැවැරිය හැකි පවුලේ පළමු පිරිමි දරුවාටය. කෘෂිකාර්මික ක‍්‍රමය තුළ පළමුවැන්නා ගොවිතැන් කරගෙන යනු ඇතැයි කල්පනා කළ හැකිය. දැන් එසේ නොවේ. පවුලේ වැඩිමහල් දරුවා ඉගෙන ගෙන ප‍්‍රදේශය හැර යයි. පසුව පිය පාර්ශ්වයෙන් හිමි වන රජයේ බලපත‍්‍රලාභී ඉඩම විකුණා අනෙක් සහෝදරයන් අසරණ කරයි. අවධානය යොමු කළ යුතු පැත්තකි. වගා කටයුතුවලට රජයෙන් බදුගත්ත ඉඩම හිමිවිය යුතු ගොවිතැන් කරන දරුවෙකුට විනා පවුලේ වැඩිමහල් දරුවාට නොවේ. මේවා වෙනස් කරන්නේ නැත. එයින් පැන නැගුණු ගැටලුවලින් සමාජය හෙම්බත් වී සිටින බව සඳහන් කළ යුතුව ඇත.
• ඉඩම් හිමියාට එකක් බැංකුවට අනෙක් නීතියක්
මෑතක අවස්ථා ගණනාවකදී රජයේ බදු ඔප්පු මත භුක්ති විඳින ඉඩම් පැවරීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය. සමහර ඉඩම් විශේෂ චක‍්‍රලේඛන මත වත්කමක් වශයෙන් වානිජ බැංකු පිළිගනී. ණය නිකුත් කරයි. ණය ගෙවාගත නොහැකි වනවිට බැංකුවට සින්න වන අවස්ථා තිබේ. බැංකුව කරන්නේ අයිති වූ දේපොළ විකිණීමය. බැංකුවට අයිති විය යුතු ණය අයකර ගැනීම සඳහා දේපොළ විකුණන්නට බලය දී තිබේ. බලපත‍්‍රලාභී ඉඩම බැංකුවකින් මිල දී ගත් අයෙකුට ඉතාම ඛේදජනක ඉරණමකට මුහුණ දෙන්නට සිදුවෙයි. කිසිදා එය විකිණීමක් හෝ පැවැරීමක් කළ නොහැකිය. නීතිය තුළ එය වක‍්‍රව හඟවා තිබේ. නැවතත් විකිණිය හෝ පැවැරිය යුතු නම් අදාළ ප‍්‍රදේශයේ දිසාපතිවරයාට පැවැරිය යුතුය. දිසාපතිවරයාගේ අභිමතය පරිදි වෙනත් කෙනෙකුට දිය හැකිය. ගිවිසගත් පුද්ගලයන් අතර ඉඩම හුවමාරු වනවිට වටිනාකම ගැන ප‍්‍රශ්න මතුවෙයි. බැංකු වෙන්දේසියෙන් ගත් ඉඩම පවා විකුණාගෙන හෝ පවරාගෙන ජීවත්විය නොහැකි රටාවක් තුළ ආර්ථිකයක් දියුණු කළ හැකිද?
මේවා එකක් දෙකක් නොවේ. රට හැමතැනම දැකිය හැකි සිද්ධි බව වගකිව යුතු අංශ තේරුම්ගත යුතුව තිබේ. ශ‍්‍රී ලංකාවද ඇතුළු ආසියාවේ ඉඩම් ගැන ලෝක බැංකුව 2000 වසරේදී පර්යේෂණයක් කර තිබේ. කලාපයේ ඉඩම්වලින් සියයට 80 ක් පමණ නිසි වෙළඳපොළ වටිනාකමක් ඇති කරන්නට අපොහොසත් වී ඇති කරුණකි. එයට හේතුව ඉඩම නිරවුල් එකක් නොවීම බව ලෝක බැංකුව දක්වයි. ග‍්‍රාමීය මට්ටමේදී මෙහි තත්ත්වය සියයට 44 කි. ඉඩමෙහි පදිංචි කිසියම් පිරිසකට ඉඩමේ නියම අයිතිය තහවුරු කරන්නට හැකියාවක් නැති බව එයින් කියයි. අනෙක් වැදගත් කාරණාවක්ද ඇත. මෙරට ඉඩම් වලින් සියයට අසූ දෙකක් ආණ්ඩුවට අයත්ය. රජයේ ඉඩම්, වනාන්තර සහ වෙනත් රක්ෂිත අත්හැරිය විට ජනතාව අතර සංසරණය වෙන්නේ රටේ සමස්තයෙන් සියයට දහ අටක පමණ ඉඩම් ප‍්‍රමාණයකි. කෑලි කැඩෙමින් වෙන්දේසි වෙන්නේ මෙම ඉඩම් බව දැක්වීම අවශ්‍යය. සුළු ඉඩම් ප‍්‍රමාණයක් ජනතාවට අයත් අතර කොටසක් ආරවුල්වලය.
• ඉක්මනින් විසඳිය යුතු ඉඩම් නඩු
අයිතිය සම්බන්ධ ගැටලු පමණක් නොව අයිතිය තහවුරු කරගන්නට කරන වෑයමද විපතකි. ඉඩම් නඩු පරම්පරා ගණන් දිගට ඇදී යන ඒවාය. 2000 වසරේදී ඉඩම් අමාත්‍යංශය සමීක්ෂණයක් කර තිබේ. ඉඩම් ගැන තවත් බරපතළ පැත්තක් එහි කියයි. එම වසරේ කොළඹ අධිකරණ බල ප‍්‍රදේශයේ ඉඩම් නඩු 1,135 ක් පැවැති අතර එයින් නඩු 877ක් අවුරුදු පහකට වඩා පැරැණිය. තවත් නඩු 62ක් අවුරුදු විසිපහකට වඩා කල්ගත වෙමින් තවදුරටත් විභාග වෙයි. අවුරුදු විස්සකට වඩා කල්ගත වූ නඩු 605ක් අවිස්සාවේල්ල අධිකරණ බල ප‍්‍රදේශයේද, නඩු 235ක් ගම්පහ අධිකරණ බල ප‍්‍රදේශයේද සහ පහක් පානදුර බල ප‍්‍රදේශයේද පවතියි. නොබෙදූ හෙයින් අයිතිය පෙන්විය නොහැකි සහ ඉඩම් නඩුවක් හෙයින් කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් ගත නොහැකි අති විශාල ඉඩම් ප‍්‍රමාණයක් රට තුළ පවතින බව මෙයින් පෙනේ. කොළඹ හෝ තදාසන්න ප‍්‍රදේශයක වල්වැදී ඇති ඉඩම් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. මේවා අයිතිකරැවන් නිරාකරණය කරගත නොහැකි තැන්ය. නඩු වෙනුවෙන් වැයකළ යුතු ධනයද අති විශාල බව නොරහසකි.
නීතිය ඉදිරියේ තමන්ගේ ඉඩම තහවුරු කරන්නට ඇති පියවර ගැන ආණ්ඩුව කල්පනා නොකරන්නේ ඇයි, කොළඹ, ගම්පහ, හා අවට ඉඩම් කන්තෝරු විශාල ගුහාවල්ය. දුප්පත් ජනතාව පාන්දර සිට එහි පැමිණ ඔප්පු ලියා පදිංචියට හෝ පත් ඉරු ගැනීමට පෝලිම් ගැසී සිටිති. හෝමාගම නගරය මැද පෞද්ගලික ගොඩනැගිල්ලක ඉඩම් කාර්යාලය ඇත. එහි දිග පෝලිමකි. ණයකර ගිවිසුමක බලය අහෝසි කරගන්නා කඩදාසියක් පොතක සටහන් කර මුද්‍රාව තබා එවන්නට මාස තුනක් ගත වෙයි. ඉඩමක් මිල දී ගැනීම, නිවෙසක් හදාගැනීම හෝ ණයක් ගැනීමට එයින් ලැබෙන පහසුව කුමක්ද? මෙම සේවාවට ගාස්තු අය කෙරේ. රජයේ සේවයේ අතිරික්ත සේවකයන් ලක්ෂ ගණනක් බව දක්වන නමුත් මෙම කාර්යාලයේ කවුන්ටර වලට නිලධාරීහු නැත. වැඩිපුර ගෙවා එක දවසකින් දෙන, රජයට ආදායමක් ලැබෙන සේ ඉඩම් අයිතිය තහවුරු කරන පිළිවෙළක් යෝජනා කරන්නට නොහැකි ඇයි?
මෑත වසර දහය තුළ සිය ඉඩම් විකුණා නාගරික ප‍්‍රදේශවලින් පිටතට ගිය සහ දුර බැහැර පළාත්වලින් නගර ආසන්නයේ කුඩා උප නගරවලට පැමිණ පදිංචි වූ පිරිස ලක්ෂ සංඛ්‍යාතය. පර්චස් දහයක හෝ එයට අඩු සාමාන්‍ය ඉඩමකට කොටු වෙන මෙම පිරිසට එදිනෙදා ප‍්‍රශ්න විසඳාගත නොහැකිය. මෙම පිරිස මධ්‍යම පන්තිය සේ සැලකෙන අතර මැදි ආදායම් රටක් ලෙස දියුණුවන ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පැලැන්තිය ඉඩම් අයිතිව හා එය ඇසුරෙන් මුහුණ දී ඇති ප‍්‍රශ්න ප‍්‍රධාන ගැටලුවකි.
ඉඩකඩ අඩුවන විට ලෝකයේ වෙනත් රටවල් කරන්නේ මොනවාද? මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමුකළ යුතුව තිබේ. කළ යුතු ජනතාව නගන වේදනාව හෝ ජනතා අදහස් තිත්ත සේ සලකා පැත්තකට විසි කිරීම නොවේ. සංවාදයක් ඇතිකර පොදු එකඟතාවයෙන් ඉඩම් ගැන අලුත් ප‍්‍රතිපත්ති සකස්කර ගැනීමයි.
ගාමිණී සරත් ගොඩකන්ද