2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

නැගෙනහිර වෙනුවට ඉන්දියාවට දෙන්න යන වරායේ බටහිර

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ තීරණය වරාය වෘත්තිය සමිතිවල, භික්ෂූන් වහන්සේගේ සහ ජනතා විරෝධය මධ්‍යයේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. වරාය වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව  තම විරෝධය ප්‍රකාශ කළ අතර අකුරට වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් ද ගෙන තිබිණි. අවසානයේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් සියයට සියයක්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යෑමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට රජය පියවර ගත්තේය. මේ වන විට එහි මූලික වැඩකටයුතු ආරම්භ කොට තිබේ. නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන දොඹකර හයක්ද, ගොඩබිම මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 18ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත. දෙවැනි අදියර යටතේ නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරනු ලබන දොඹකර අටක්ද, ගොඩබිම් මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 32ක්ද මිලදී ගැනීමට නියමිතය.

නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය එසේ අවසන් වෙද්දී. රජය බටහිර ජැටියේ මූලික කොටස් රජයේ පාලනයේ තබාගනිමින් වසර 35කින් පසු බාරදීමේ පදනම මත ඉන්දියාව හා ජපානය විසින් නම් කරන සමාගම් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව  බටහිර පර්යන්තය සංවර්ධනය කරන බව රජය ප්‍රකාශ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනුට බටහිර ජැටිය සංවර්ධනය කිරීමට තමන් උනන්දුවක් නැතැයි ඉන්දීය රජය මෙරට රජයට නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා තිබිණි. ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදුන් පරිදි බටහිර පර්යන්තයද ජනතා විරෝධතාවක් මතු වුවහොත් එය ලබාදීම අත්හිටුවනු ඇති බවටය. කෙසේ නමුදු පසුව ඉන්දියාව බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා නිල වශයෙන් එකඟත්වය පළ කළ බව වාර්තා විය. ඉන්දියාවේ ‘අදානි’ සමාගම සහ ඔවුන්ගේ දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් සමාගම ද මේ සඳහා දැනටමත් සිය අනුමැතිය පළ කොට තිබේ. ඉන්දීය රජයේ විදේශීය ආයෝජන හවුල්කරු වන ජපානය සමඟ ද ඉන්දියාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා විය.. 

රජය පවසන්නේ බටහිර පර්යන්තය ඉන්දියාවේ හෝ ජපානයේ පෞද්ගලික ආයෝජන ලබා ගෙන සංවර්ධනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව බවය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 58 වැනි පිටුවේ මෙම කරුණ සම්බන්ධව සඳහන් කර තිබේ.

ඒ අනුව ඉන්දියානු ආණ්ඩුව සහ ජපාන ආණ්ඩුව නම් කරන සමාගම් සමග ශ්‍රී ලංකා රජය හවුල් ව්‍යාපාරයක නිරත වීමට නියමිතය. මින් ඉහත කොළඹ වරායේ පර්යන්ත පෞද්ගලික ආයෝජකයන්ට ලබාදුන් ක්‍රියාවලියේදී අනුගමනය කරන ලද කොන්දේසි අනුවම බටහිර පර්යන්තයද සංවර්ධනය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත්තේ එම කොන්දේසි අනුව ආයෝජනය කර, සංවර්ධනය කොට කළමනාකරණය කරන ආයතනයට 85%ක කොටස් ප්‍රමාණයක් හා වරාය අධිකාරියට 15% කොටස් ප්‍රමාණයක් හිමිවන බවය. ගිවිසුම් කාලය වසර 35කි. 

වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍යට කියා සිටියේ නැගෙනහිර පර්යන්තයේ හා බටහිර පර්යන්තයේ වැඩ ඉතා කඩිනමින් වැඩ අවසන් කිරීමට පියවර ගන්නා බවකි. මෙම පර්යන්ත දෙකෙහිම වැඩ අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ ලොව විශාලතම නෞකා මෙරටට ළඟාකර ගැනීමටය. ඒ තුළින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රති අපනයන ක්‍රියාවලියේ යෙදිය හැකි බව ඔහුගේ අදහසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සැලැස්ම අනුව උතුරු පර්යන්තයේ දියකඩනයක් ස්ථාපනය කළ විට 2035 වන විට එම දියකඩනය සහ තවත් පර්යන්ත තුනක් අපට ලැබෙන බව ඔහු පවසයි. මෙම පර්යන්ත තුනත්, නැගෙනහිර පර්යන්තය හා බටහිර පර්යන්ත 1 සහ 2 සහ එස්ඒජීටි සහ ජේසීටී යන පර්යන්ත සියල්ල එක්වූ විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජාත්‍යන්තරයේ ප්‍රබලතම මර්මස්ථානයක් බවට පරිවර්තනය වන බවද ඔහු සඳහන් කරයි.

මේ වනවිට කොළඹ වරායේ මිලියන හතක බහලුම් මෙහෙයවීම් සිදු කෙරේ. නව පර්යන්ත ඉදිවීමෙන් පසු 2035 වන විට බහාලුම් මිලියන 35ක් සිදු කිරීමේ හැකියාව ලැබෙයි.

කොළඹ වරාය වෙත පැමිණෙන බහාලුම්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට අයත් ඒවා වන බවත් එහෙයින් ඉන්දියාවේ සහයෝගය ඇතිව කොළඹ වරාය සංවර්ධනය කළ යුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා - ඉන්දියා සබඳතාවය එක් කරුණකට හෝ එක් ව්‍යාපෘතියකට හෝ පමණක් සීමා නොවන බවත් සියලු ගැටලු විසඳා ගනිමින් දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් ඔහු පවසා තිබේ.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා සඳහන් කරනුයේ 2005 මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිගරගත් ගිවිසුම අනුව පර්යන්ත. දෙකක් සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ලබා දිය යුතු බවයි. 

“බටහිර පර්යන්තය ඉන්දියාවට හෝ ජපානයට හෝ වෙනත් රටකට හෝ ලබා දෙනවාට වෘත්තීය සමිති විදිහට අප විරුද්ධයි. එහෙත් 2005 ආසියානු සංවර්ධන බැංකුව සමග ඇතිකරගත් ගිවිසුමක් තිබෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව පර්යන්ත දෙකක් පීපීපී ක්‍රමය හෙවත් ආයෝජනය, ගොඩ නැගීම සහ වසර 35කට පසු යළි ශ්‍රී ලංකා රජයට බාර දීමේ ක්‍රමකට එකඟ වී තිබෙනවා. සීඅයිසීටී සමාගමට කොළඹ දකුණු පර්යන්තය ලබා දී තිබෙන්නේ එම ක්‍රමය අනුවයි. එක් පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි. එහෙම තියෙද්දී පර්යන්ත තුනම පෞද්ගලිකකරණය කිරීමට පියවර ගත් නිසයි අපි උද්ඝෝෂණය කළේ. උද්ඝෝෂණය මගින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමට අපට හැකි වුණා. ආසියානු සංවර්ධන බැංකු ගිවිසුම අනුව බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනත් රටකට ලබා දීමට රජය තීන්දු කර තිබේනම් එයින් නිදහස් වීමේ හැකියාව ඇත්තේද ආණ්ඩුවට පමණයි. ඒ සඳහා ඇත්තේ එක් ක්‍රමයක් පමණයි. ඒ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 800 ගෙවා ගිවිසුමෙන් නිදහස් වීමෙන්. එසේ නොමැති නම් එම ගිවිසුම ප්‍රකාරව ආයෝජකයන්ට 85%කුත් ආණ්ඩුවට 15%කුත් වශයෙන් ලබා දීමට සිදු වෙනවා. 

දැන් අපට තිබෙන ගැටලුව වන්නේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුද කියන එක. නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් වූ පසු වාර්ෂිකව ඩොලර් මිලියන 110ක් පමණ උපයාගත හැකියි. එම ආදායමෙන් කොටස් වශයෙන් බටහිර පර්යන්තය සංවර්ධනය කළ හැකියි. දැනට බටහිර පර්යන්තයක් නැහැ . ඇත්තේ සාගරය පමණයි. බටහිර පර්යන්තය සංවර්ධනය කරනව නම් දැනට කිලෝමීටර් පහමාරක් පමණ ඉදිකර ඇති දියකඩනය තවත් මීටර් 650ක් උතුරු දෙසට දිගු කළ යුතුයි. ඉන්පසුවයි මීටර් 2350ක බටහිර පර්යන්තය ඉදිවන්නේ. මේ හැර උතුරු පර්යන්තයක්ද ඉදිකිරීමට නියමිතයි. ඇලකන්ද දෙසින් නාරා ආයතනය ආසන්නයේ සිට කොළඹ දකුණු වරායේ දියකඩනය තෙක් කිලෝමීටර 6.5ක දියකඩනයක් ඉදිවනවා. මේවායේ ඉදිකිරීම් 2036 වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.මේ වන විට එහි ශඛ්‍යතා වාර්තා සකස් කරමින් තිබෙනවා. බටහිර පර්යන්තය ඉදිකිරීමෙන් පසු කන්ටේනර් දසදහසක මෙහෙයුම් කළ හැකියි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමෙන් ගලවා ගැනීමේ විරෝධතාවයේදී වරායේ වෘත්තීය සමිති 22ක් එක්ව ඉල්ලීම් හයක් ඉදිරිපත් කළා. නැගෙනහිර පර්යන්තයත්, බටහිර පර්යන්තයත් දෙකම එකවර සංවර්ධනය කිරීමට අවසර ලබා දෙන ලෙසටත්, බටහිර පර්යන්තය ඉදිකිරීමේදි රටට හිතකර වූ තීන්දු තීරණ ගන්නා ලෙසටත් අප ඉල්ලා සිටියා. ආණ්ඩුව අපට පොරොන්දු වුණා බටහිර පර්යන්තය ඉදිකරන ආකාරය සහ ගිවිසුම්ගත කරුණු සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන බවට. මේ වන තෙක් එය වෘත්තීය සමිතිවලට ලැබී නැහැ. එම වාර්තාව ලද පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අප කටයුතු කරනවා. පැහැදිලිවම රටට අහිතකර කොන්දේසි  තිබේ නම් එයට එරෙහිව නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් පෙනී සිටි ආකාරයෙන්ම පෙනී සිටිනවා. විදේශීය රටකට ලංකාවේ සම්පත් ලබා දීමෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවේ නම් ආයෝජන මුවාවෙන් අපේ ස්වෛරීභාවයට හානියක් සිදුවේ නම් අප එයට එරෙහිව නැගී සිටිනවා.”

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා