2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

වෛරසයත් සමග අලුත්වෙන ඔක්ස්ෆර්ඩ් එන්නත!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

චීනයේ වූහාන් නගරයෙන් හිස එසවූ කොවිඩ් 19 සාදන SARS-CoV-2 මූලික වෛරසය මේ වනවිට පුංචි පුංචි වෙස් පෙරළීම් ගණනාවකටම ලක්ව හමාරය. එහි භයානකම  මාදිලිය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව මෑතකදී සොයාගන්නට යෙදිණි. ලංකාව ඇතුළු රටවල් 21ක පමණ පැතිර යන මේ නව ප්‍රභේද ඇතුළු මාරාන්තික වෛරසයේ විවිධ වෙනස්කම් සඳහා මුහුණදීමට අපට ඇති එකම  ආයුධය වී ඇත්තේ එන්නත්ය. එයිනුත් ඔක්ස්‍ෆර්ඩ් සරසවියේ සොයාගැනීමක් වූ කොවිෂීල්ඩ් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා හමාරය.

චීනයේ කොවිඩ් වාර්තා වූ 2019 අග වනවිට පැතිර ගිය වෛරසය SARS-CoV-2 නම් ලැබූ අතර විද්වතුන් එය ස්වභාවිකව පවතින ආකාරය හෙවත් වල් දර්ශය ලෙස සලකන්නට වූහ. නමුත් ඉතා කෙටි කලකදීම ලොව පුරාම පැතිර යන්නට වූ කොවිඩ් වෛරසයේ විවිධ වෙනස්කම් රැසක් මතුකරමින් විවිධ විපරීත ලක්ෂණ සහිත මාදිලි බිහිවන්නට විය. මෑතකාලීනව ඒ අතරින් වඩාත් සීඝ්‍රව පැතිර යාමට හැකියාව සහිත විපරීත ලක්ෂණයක්  වැඩිදියුණු කරගත්  මාදිලි කිහිපයක්ම වාර්තා විය. මෙයින් ප්‍රධාන වූයේ එංගලන්තයේ B.1.1.7ලෙස හඳුනාගත් මාදිලියයි. මේ සමඟම දකුණු අප්‍රිකාවෙන් B.1.351 නමැති අලුත් මාදිලියක් පසුගිය වසරේ ඔක්තෝබර් වනවිට වාර්තා වී තිබුණි. වඩාත් භයානක වූයේ මේ මාදිලියයි. එයට ඔරොත්තු දීමට නොහැකි බව කියමින් දැනට ලෝකයේ වැඩිම භාවිතයට ලක්ව ඇති ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීම තාවකාලිකව නතර කිරීමටද එරට පියවර ගෙන තිබුණි. 

බ්‍රසීලයෙන් තවත් අමුතුම ආකාරයක විපරීතයක් සහිත මාදිලියක් මතුවූයේ ජනවාරි මාසයේදී පමණය. සාමාන්‍ය ප්‍රතිදේහ ජනක පරීක්ෂාවන් මගින් හඳුනා ගැනීමටද නොහැකි තරමටම වෙස් පෙරළා ගත්: P.1, නමැති මේ විකෘතිය පසුව අමෙරිකාවේද පැතිර යමින් තිබුණි. මේ නව මාදිලිවල ඇති භයානකම විපරියාසය වූයේ ඒවා ඉතා වේගවත් පැතිරීමක් සහිත එහෙයින් රෝගීන් සංඛ්‍යාව දැරිය නොහැකි මට්ටමකට ඉහළ දමන අර්බුදකාරී මාදිලි බවට පත්ව තිබීමය‍. ලංකාවෙන්ද මේ මාදිලිවලට සමාන විකෘති මාදිලි දැන් හමුවී හමාරය. නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දිස්ත්‍රික් 05 කින් හමුවී ඇත.

ලෝකයේ මේ නව වෛරස මාදිලි සමග සටනට ඉදිරිපත්ව ඇති එන්නත් අතරින් මුල්තැන ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවිය හඳුන්වා දුන් එන්නතය. අප රට තුළද දැනට ලක්ෂ ගණනකට ලබාදී ඇති මේ එන්නත ගැන විවිධ මතිමතාන්තර පැතිර පවතී. නමුත් ඒවා බොහොමයක් මිත්‍යා මතය. මෙම කොවිඩ් එන්නතේ සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කරන ආකාරයට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු අතුරු ආබාධ වාර්තා වී ඇත්තේ ඉතාම අවම මට්ටමකිනි. එම අතුරු ආබාධ ගැනද ඔහු දරන්නේ මෙබඳු මතයකි.

“මෙම එන්නත මගින් ශරීරය තුළට ආගන්තුක දෙයක් ඇතුළු කරන නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි. එයින් පෙන්නුම් කරනු ලබන්නේ තමන්ගේ ශරීරය තුළ මෙම එන්නත ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ කියන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිය සෑදෙනවා කියන එක. ප්‍රතිශක්තිය ශරීරය තුළ වර්ධනය වනවිට එය ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. ඒ යාන්ත්‍රණය තමයි මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ. උණ සෑදීම, ඇඟ රිදීම වැනි අතුරු ආබාධ එනවා කියන්නේ ඇඟ ඇතුළේ එන්නත ක්‍රියා කරනවායි කියන එක. ලෝකයේ අතුරු ආබාධ නැති කිසිම එන්නතක් නැහැ.”

“භයානක දේ වෙන්නේ ආසාත්මිකතා ඇතිවීමයි. ශරීරයේ පලු දාලා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඇතැමුන්ගේ ඇඟවල් මේ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදිහ අනුව එය සිදුවන්නේ. මෙතැනදී මහා පරිමාණයෙන් එලෙස ආසාත්මිකතා වාර්තා වී නැහැ. ඒ ගැන අපට සතුටුවිය හැකියි.”

මේ අන්දමේ පුළුල් සාර්ථකත්වයක් ගැන ලොකයේ විවිධ රටවලින් ලැබෙන වාර්තා නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (Emergency Use Listing)  පසුගියදා සිදු කළේය. මේ අනුව කෝ වැක්ස්  පහසුකම (Coavx facilty) ඔස්සේ පහත් මධ්‍යම ආදායම් රාජ්‍යයන්ට එන්නත නොමිලේ ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවිධාන අනුගමනය කළ යුතු  නීත්‍යානුකූල කොන්දේසිය සැපිරීම සිදුවිය. දැන් ඒ රටවලටද මේ අනුව එන්නත නිෂ්පාදන ධාරිතාව අනුව බෙදාහැරීම සිදුකළ හැකිව තිබේ.

එසේම මෙම එන්නත පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් පසුගියදා සිය අලුත්ම වර්ණනාව ඉදිරිපත්කර තිබුණි. ඒ සිය එන්නත අලුතෙන් බිහිව ඇති වේගවත් පැතිරීමක් සහිත මාදිලිවලටද සාර්ථක ලෙස මුහුණදීමට සමත්වන ආකාරයට වැඩිදියුණු කළ හැකි බවටය. එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ සිඝ්‍රයෙන් පැතිර යන මෙම නව වෛරස මාදිලිවලට  සරිලන ආකාරයේ එන්නතක් මාස 07ක් තුළ ලබාදීමට තමන්ට හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් පර්යේෂණයන් කියා තිබුණි. මේ වනවිටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත  එම නව මාදිලිවලට මුහුණදීමට සුදුසු පරිදි යාවත්කාලීන කිරීම අරඹා ඇති බවත් එහි සඵලතාවය වැඩිදියුණු කිරීමට පර්යේෂණ සිදු කෙරෙන බවත් “නිව් සයන්ටිස්” සඟරාවට කියා තිබුණේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇන්ඩෲ පොලාර්ඩ්ය. 
පසුගියදා දකුණු අප්‍රිකාව තුළ තාවකාලිකව එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අවස්ථාව වනවිටත් ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් නව තත්ත්වයට සුදුසු පරිදි එන්නත වැඩිදියුණු කිරීම අරඹා තිබූ බව කියයි. මේ පර්යේෂකයන්ට අනුව තමන්ගේ එන්නත මගින් වෛරසයේ ස්පයික් ප්‍රෝටීනය හඳුනාගෙන ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ උපක්‍රමය ක්‍රියාත්මක කරන නිසා මේ නව වෛරස විකෘතියටද එයින් පිළියම් කළ හැකි ලෙස ඉක්මණින්ම වැඩිදියුණු කිරීමේ හැකියාව උදාවී ඇත. ඒ සඳහා ඇති සම්භාවිතාව ඉහ‍‍ළය. මක්නිසාදයත් මේ නව මාදිලියේ ඇති විකෘතිය බලපෑමක් කර ඇත්තේ එම වෛරස අපේ සෛල හා සම්බන්ධ වන ස්පයික් ප්‍රෝටීනයේම වැඩි වෙනස්කමක් සිදුකිරීම නිසාය. මේ නිසා එම විකෘතියට මුහුණදීමට අවශ්‍ය ප්‍රබලතාව සහ සපලතාව වැඩිදියුණු කිරීමට පමණක් ඔවුන්ට සිදුව තිබේ. එය එන්නතක් අලුතෙන්ම සොයා නිපදවනවාට වඩා පහසු ඉක්මන් ක්‍රියාවලියකි. මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත එක් මාත්‍රාවක් මගින් රෝගයට අවශ්‍ය ප්‍රතිශක්තිය සියයට 65 පමණ ප්‍රමාණයකින් ලැබෙන බව තහවුරු කර හමාරය. එසේම මෙහි දෙවැනි මාත්‍රාව වැඩි විරාමයක් සහිතව ලබාගැනීම වඩාත් පලදායක බවද සනාථ වී හමාරය. ඒ ලෙස එන්නත මාත්‍රා 02ම ලබා දුන් විට සියයට 82ක සඵලතාවක් පෙන්වන බව නවතම වාර්තා මේ වනවිට සනාථ කර තිබේ.

I සුගත් පී. කුලතුංගආරච්චි