2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

වසර 35කට පසු ලාබ ලැබූ සීනි සමාගම

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

පාඩු ලබන ආයතනයක් සේ සලකා පෞද්ගලීකරණය කිරීමට සියලු පිඹුරු පත් සකසා තිබූ ලංකා සීනී සමාගම රජයට පවරා ගෙන සංවර්ධනය කිරීමෙන් පසුගිය වසර සඳහා රුපියල් මිලියන 1360ක පමණ ලාබයක් උපයා ගැනීමට සමත්ව තිබේ. 2019 වසරේ මිලියන 1400ක අලාබයක් ලද එම සමාගම මෙතරම් ලාබයක් උපයා ඇත්තේ වසර 35කට පසුය. රජයට පවරා ගැනීමෙන් පසු නව පාලනාධිකාරියක් යටතේ නිෂ්පාදනය ආරම්භ කෙරැණු අතර සේවකයන්ටද, උක් ගොවීන්ටද ආර්ථික ප්‍රතිලාභ සලසමින් මාස අටක් වැනි කාලයක් තුළ ලාබ ලබන තත්ත්වයට පත්ව තිබේ.

ලංකා සීනි සමාගම පෞද්ගලික අංශයට විකුණා දැමීමට අවස්ථා ගණනකදී උත්සාහ කළ ආයතනයකි. පසුගිය කාලයේ එම ආයතනය පවත්වාගෙන ගියේ ඉතා අසීරුවෙනි. සේවක පඩි නඩි ගෙවීම අසීරු වූ අතර ප්‍රසාද දීමනාද කපා හැර තිබිණි. එය පවත්වාගෙන ගියේ මිලියන 500ක බැංකු අයිරාවකිනි. කුඩා වැවිලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගිය වසරේ මුල් කාර්තුවේ මාධ්‍ය  හමුවක් පවත්වමින් මෙසේ පැවසීය. 

“ලංකා සීනි සමාගම පාඩු ලබමින් තිබෙන ආයතනයක්. සෙවණගලත් එහෙමයි. කිසිදු කළමනාකරණයක් මේ ආයතනවල තිබුණේ නැහැ. ගොවීන්ට සහ සේවකයන්ට කිසිම සහනයක් පහුගිය සමයේ ලැබුණේ නැහැ. මේ ආයතන දෙකම විකුණන්නට තිබූ අවශ්‍යතාව නිසා හිටපු ඇමතිවරු ලංකා සීනි සමාගම පාඩු ලබන ආයතනයක් ලෙස හුවා දක්වන්නට උත්සාහ කළා.  නව රජය යටතේ අපේ අමාත්‍යංශය මගින් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. 2020 මාර්තු 1දා වන විට අවුරුදු 5ට වැඩි සේවා කාලයක් සහිත  සියලු අනියම් සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නවා. මෙම කම්හලට උක් සපයන උක් ගොවීන් 10,000ක් පමණ සිටිනවා. මේ සෑම ගොවියකුටම උක් මෙට්‍රික් ටොන් එකකට දැනට ගෙවන මිලට වඩා රුපියල් 500ක් වැඩියෙන් ගෙවීමට කටයුතු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. වසරකට පමණ ඉහත ඔහු ලබා දුන් ප්‍රතිඥාව මේ වන විට සත්‍යයක් බවට පත්ව තිබේ..

2018 කාලය වන විට පැල්වත්ත ප්‍රදේශයේ ගොවි පවුල් 4,000 ක් පමණ පිරිසක්ද, හිඟුරාන ප්‍රදේශයේ පවුල් 5,000 ක් පමණ පිරිසක්ද, සෙවණගල ප්‍රදේශයේ ගොවි පවුල් 7,500 ක් පමණ පිරිසක් ද උක් වගාවේ නිරතව සිටි අතර සමස්ත වගා බිම් ප්‍රමාණය අක්කර 35,000 ක් පමණ විය. එවක උක් මෙට්‍රික් ටොන් එකකට ලැබුණේ රු. 5,000 කි. එහෙත් උක් ගොවීන් රුපියල්. 8,500 ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම් ඉටු කෙරුණේ නැත. වගාවට අවශ්‍ය බීජ සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, ණය මුදල් නිකුත් කිරීම නව පාලනාධිකාරිය පැමිණීමට පෙර නිසි පරිදි සිදු වූයේ නැත. අවශ්‍ය පරිදි පොහොර නොමැති විය. කන්න දෙක තුන වගා කළ ගොවීන්ට එක් කන්නයකට හෝ පොහොර නොලැබිණි. පොහොර හිඟය හා ඔවුන් දැඩි වෙහෙස මහන්සියෙන් වගා කළ උක්වලට නිසි මිලක් නොලැබීමත්, අවශ්‍ය පරිදි ජලය නොමැතිවීමත් හේතුවෙන් ගොවීන් උක් වගාවෙන් ඉවත්ව වෙනත් භෝගවලට යොමු වී තිබිණි. 

ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා සඳහන් කරන පරිදි නව පාලනාධිකාරිය පත්වීමෙන් පසු උක්වලට ගෙවන මිල 10%කින් වැඩි කිරීමට පියවර ගැනිණි. පොහොර නිසි කලට, නිසි පරිදි ලබා දුනි. සෙවණගල හා පැල්වත්ත යන ආයතන දෙකෙහිම වසර පහකට වඩා වැඩි සේවා කලයක් තිබූ සේවකයන් 2000ක් පමණ ස්ථිර කළේය. පසුගිය මාස 10 ඇතුළත දෙවරක් පඩි වැඩිවීම් කළ එකම රාජ්‍ය ආයතනය ලංකා සීනි සමාගමය. සියලු සේවකයන් හට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගම කටයුතු කර ඇත. තවද වසර ගණනක් තුළ නොගෙවූ සේවක ජීවන වියදම් දීමනාවද සේවකයන්ගේ මූලික වැටුපට එකතු කර ඇත. 

ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2500ක සහ සෙවණගල ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර .500ක උක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමාණයක් ලබා දීමටද හැකි වී තිබේ. උක් ගොවීන් සදහා 50% ක බිම් සහනාධාරයක් සහ උක් බීජ සහනාධාරයක් ද ලබා දීමට සීනි සමාගම කටයුතු කර ඇත. ලංකා සීනි සමාගම නව පාලන අධිකාරිය විසින් බාර ගන්නා විට එය මිලියන 1400ක පමණ පාඩු ලබමින් සිටි ආයතනයකි. 

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාව ටොන් 550,000 පමණ වේ. වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 33ක් පමණ ලෙස සැලකේ. ලොව වෙනත් රටවල් හා සසඳන කළ එය ඉතා ඉහළ අගයකි. වෙනත් රටවල ඒක පුද්ගල සීනි භාවිතය වසරකට කිලෝ 22ත් 23ත් අතර ප්‍රමාණයකි. දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙනුයේ මෙරට සීනි අවශ්‍යතාවෙන් 10%ක පමණ ප්‍රමාණයකි. ඉතිරිය ආනයනය කිරීමට අපට සිදුවී තිබේ. ඉදිරි වර්ෂ පහ තුළ මෙරට සීනි අවශ්‍යතාවෙන් 25% ක් පමණ මෙරටදී නිෂ්පාදනය කිරීම ලංකා සීනි සමාගමේ අරමුණය. ඒ සඳහා අවශ්‍ය ආයෝජන ද සිදු කෙරෙමින් පවතී. පසුගිය වසර තුළ උක් වාගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා කුඩා වැව් 30ක් තැනීමට එම සමාගම කටයුතු කළේ ඒ අනුවය. වසර 10ක පමණ කාලයක් පුරා ගොවීන් 3500ක් විසින් සමාගමට ගෙවීමට තිබූ  මිලියන 480ක් කපා හැරීමට සමාගම පියවර ගත්තේය. ඉහත කී ණය කපා හැරීම ඇතුළු අනෙකුත් සුබසාධන කටයුතුද සිදු කරමින් නව පරිපාලනය බාර ගන්නා විට සේවක පඩිනඩි ගෙවීමට සහ අනෙකුත් අවශ්‍යතා සඳහා. ආයතනය ලබාගෙන තිබූ මිලියන 500ක බැංකු අයිරාවද පියවා මිලියන 1400ක් පාඩු ලද ලංකා සීනි සමාගම 2020 වසර සඳහා මිලියන 1360 පමණ ලාබයක් උපයා ගැනීමට සමත්ව සිටී. මේ වන විට මිලියන 400ක් පමණ වැය කොට උක් වගාව සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගෙන තිබේ. මේ සියල්ලේ අරමුණ මෙරට සීනි අවශ්‍යතාවෙන් හතරෙන් එකක් මෙරටදීම සපුරා ගැනීමය.

සීනි නිෂ්පාදනය මෙන්ම මොලැසස් නිෂ්පාදනය සඳහාද  උක් භාවිත කෙරේ. උක් පැණි පිරිසුදු කර වාෂ්පීකරණයට ලක් කිරීමෙන් පසු එහි ඇති සුක්රෝස් සීනි බවට පරිවර්තනය කෙරේ. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් ලෙස මොලැසස් ලැබේ. මොලැසස්වල ඉතිරිව ඇති සීනි එතනෝල් බවට පරිවර්තනය කෙරේ. සාමාන්‍යයෙන් උක් ටොන් සියයකින් 8% පමණ සීනිද 5%ක් පමණ මොලැසස් ද ලැබේ. ඇල්කොහොල් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ මෙම මොලැසස්ය. 2020 වසරේ ලංකා සීනි සමාගම සීනි මෙ.ටො 40000ක් පමණ නිෂ්පාදනය කර තිබිණි. එමෙන්ම සීනි නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනයක් වන මොලැසස් මගින් මෙරටට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය කරමින් පිටරටට ඇදී ගිය විදේශ විනිමය ඉතිරි කර ගැනීමටද ලංකා සීනි සමාගම සමත් විය. එතනෝල් ආනයනය සම්බන්ධයෙන් රජය ගන්නා ලද දැඩි තීරණ හේතුවෙන් මෙරට නිපදවන එතනෝල් සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. මේ වන විට මෙරට අවශ්‍යතාවෙන් 80% පමණ එතනොල් නිපදවෙන්නේ ලංකා සීනි සමාගම මගිනි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03