2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

පාසල් දරුවන්ට කන්න දී ජාත්‍යන්තර සම්මාන දිනූ තණමල්විල නන්දා මාලිනවී

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

ඇය නමින් ගරුසිංහගේ නන්දා මාලිනීය. දුෂ්කර තණමල්විල ප්‍රදේශයේ ජීවත්වන නන්දා ගහකොළට ආදරය කරන දිරිය මවකි. දරුවන් තිදෙනෙකුට ආදරණීය මවක වූ නන්දාගේ දර ළිපේ සතියේ සෑම දින පහකම තවත් දරුවන් සියයකට පමණ බතක් හෝ උදේ ආහාර වේලක් ඉදෙන්නේය.

ඇය වසර ගණනාවක් තිස්සේ කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික පාසලේ දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදෙන්නීය. මේ සඳහා තම ගෙවත්තෙන්ම වගා කොටගත් කාබනික පොහොර යොදා පලදාව ලැබූ පළතුරු සහ  එළවළු යොදාගැනීම ඇයගේ විශේෂත්වයකි. මේ හේතුවෙන් පසුගියදා දිනෙක එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැටසටහනේ WFR කළමනාකරණයේ යෙදෙන කාන්තාවන්ගේ “Women in Management” හි විශිෂ්ටතම කාන්තා වෘත්තිකයන් පනස් දෙනා සඳහා පිරිනමනු ලබන සම්මාන උළෙෆල්දී ඇය “වසරේ විශිෂ්ටතම සමාජ සේවකයා”ට හිමි සම්මානය දිනාගත්තාය.

“කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්නා දරුවන්ටත්, ඒ ගුරු මණ්ඩලයටත් මම උදෑසන ආහාර වේල සපයනවා. ඒ සඳහා අවශ්‍ය කරන පලාවර්ග, එළවළු වර්ග, පළතුරු වර්ග බොහෝ වෙලාවට මම සපයා ගත්තේ මගේ ගෙවත්තෙන් මමම වගා කරලයි. මේ කටයුත්ත මම දැනට අවුරුදු හතරක් තිස්සේ කරගෙන යනවා. ඒකෙදි ලෝක ආහාර වැඩසටහනේ කරන ලද සමීක්ෂණයකදී දිරිමත් කාන්තාවක් හැටියට මට සම්මානයක් හිමිවුණා.” යැයි ගරුසිංහගේ නන්දා මාලනී මහත්මිය තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව දේශයට අදහස් දක්වමින් පැවසීය.

නන්දාගේ වැඩිමහල් පුතණුවන් එක වසරේ සිට පහ වසර දක්වා අධ්‍යාපනය ලැබුවේද කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික පාසලේමය. රජයෙන් දුෂ්කර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීමට කටයුතු කළ වැඩසටහනේදී එම පාසලේ විදුහල්පතිනිය මේ කටයුත්ත නන්දාට කළ හැකිදැයි විමසා තිබිණි. නන්දා නිතර නිතර දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල වෙත ගොස් සොයාබැලූ මවකි. මේ නිසාම විදුහල්පතිනියගේ ඉල්ලීමට නන්දා කැමැති විය.

කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික පාසලේ සිට නන්දාගේ නිවෙසට කිලෝමීටර් දෙකක පමණ දුරක් වේ. කුඩා කල සිටම නන්දා ආහාර පිසීමට දක්ෂය. ඇය රසවත් ලෙස ආහාර පිසීය. පාසලේ ඉගෙනුම ලබන දරුවන් එකසිය දෙදෙනාගෙන් බොහෝ මව්පියෝ දුප්පත් පිරිසක් වෙති. මෙය ඉතා දුෂ්කරම ප්‍රදේශයකි. කුලී වැඩක් කොට එදිනෙදා ජීවත් වෙන්නට ජීවිතයත් එක්ක ඔට්ටු අල්ලන දෙමව්පියන්ට තුන්වේලම තම දරුවන්ගේ කුස පුරවන්නේ විශාල ජීවිත සටනක් කොටය. අදටත් මේ දරුවන් අතරේ කෑම වේල කන්නට පිඟානක් කෝප්පයක් නැති දරුවෝ සිටිති. පාසලට එන්නට සපත්තු නැත. අකුරු ලියන්නට පොතක් පැන්සලක් නැත. නමුත් අනාගතය සුබදායී ලෙස දකින්නට ඒ පුංචි හිත්වල හීන කප්පරක් ඇත. හැමදාමත් උදේට නන්දා නැන්දාගේ රුව දකින්නට මේ පුංචි හිත් ආස කළේ පුංචි බණ්ඩියට දැනෙනා කුසගින්න නිවන්නට අම්මා එනතුරු බලාගෙන හිඳිනා පරිද්දෙනි. ඈත තියාම නන්දාගේ රුව දකිද්දී මේ පුංචි දඟකාරයෝ සතුටින් පිනා යති.

කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික පාසලේ දරුවන් සියයක් පමණ අධ්‍යාපනය හදාරති. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් සිටියි. බොහෝවිට පාසලේ ඉගැන්වීම් කටයුතුවලදී සීලවතී විදුහල්පතිනියද දායක වන්නීය.

“මේ කටයුත්ත මට බාර කළේ සීලවති මැඩම්. රජයෙන් ඒ සඳහා යම් මුදලක් ලැබෙනවා. නමුත් සමහර මාසවලදී ඒකත් පරක්කු වෙනවා. සමහර විට මාස දෙකකට පස්සේ තමයි ඒ මුදල් ලැබෙන්නේ. එතකන් ඒ හැමදේටම වියදම් කරන්නේ මගේ සල්ලිවලින්. ලැබෙන මුදලට වඩා පෝෂ්‍යදායී ආහාර වේලක් මම මේ පොඩි දරුවන්ට ලබලා දෙනවා. දැන් තියෙන වියදමත් එක්ක බලද්දී ලැබෙන මුදලට වඩා මුදලක් මට වැයවෙනවා. නමුත් මේක මම කරන්නේ හරිම කැමැත්තෙන්. මේ සඳහා අපිට රජයෙන්ම එදිනෙදා දරුවන්ට දියයුතු කෑම ලිස්ට් එකක් දීලයි තියෙන්නේ. දවස් පහට මම හදන්නේ ඒකට අනුවයි. ඒකෙදි බත්, පරිප්පු, හාල්මැස්සන් හෝ කුඩා මාළු බැදුමක්, පලාවර්ගයක්, පළතුරු, ඇට වර්ග, ඉඳිආප්ප, රොටි, එළවළු බත් ආදිය ලැයිස්තුවක් අපිට තියෙනවා. ඒකට අනුව තමයි අපි කෑම හදන්නේ.” යැයි නන්දා පවසන්නීය.

මේ බොහෝ දෑ නන්දා ගෙවත්තේ වගාකර තිබේ. ඇගේ පියා ගොවි මහතෙකි. ධාන්‍ය වර්ග බොහෝවිට ඇය සපයාගත්තේ එලෙසිනි. ඇයගේ ගෙවත්තේද එළවළු වගා කර ඇත. මේ වනවිට ඇය පර්චස් තිස්පහක් පමණ ප්‍රමාණයක තම නිවස වටකෙට වගාවේ නියැලෙන්නීය. ඒ වගාවන් සඳහා ඇය යොදාගනු ලබන්නේ කාබනික පොහොර පමණි. විශේෂයෙන් කොහොඹ කොළ, ඇල්බීසියා කොළ, දහයියා ආදිය මේ සඳහා යොදා ගනී.

ඇය දරුවන් තුන්දෙනෙකුගේ මවකි. දරුවන් දෙදෙනෙක් පාසල් යති. ඇයගේ බාල දරුවාට තවමත් වයස අවුරුදු දෙකකි. වැඩිමහල් දියණියන් දෙදෙනාම සැමදාමත් තම මවට මේ කටයුත්තට උදව් කරති. තම වත්තේ ගස්වල ඵලදාව නැති කාලවලදී නන්දාගේ සැමියා ඉදුණු, නැවුම් පළතුරු ගමේ ඇවිද සොයාගෙන එයි. ඇයත් ගෙවත්තේ පේර, අඹ, ජම්බු, උගුරැස්ස, ඇඹරැල්ලා, හීන් නාරං වැනි පළතුරු වගාකර ඇත.

ඇයගේ සැමියා ගෙදර ගඩොල් කැපීමේ ව්‍යාපාරයක නිරත වී සිටී. ඊට අමතරව ඔහු කුඹුරු වැඩ මෙන්ම කුලීවැඩද කරන්නේය. ඒ හැම වැඩකටයුත්තක් අතරතුරේම ඔහුද නන්දාගේ වැඩකටයුතුවලට උදව් කරයි.

ඇයට හොඳ අත්ගුණයක් තිබේ. සීලවතී විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයත්, පාසලේ දරුවනුත් පිරිසුදුව, රසවත්ව හැදූ නන්දාගේ උදෑසන ආහාරවේල භුක්ති විඳින්නේ හරිම කැමැත්තෙනි. ඇය ආහාර පිසිද්දී ගුරු මණ්ඩලයට, දරුවන්ට තම නිවසේ සාමාජිකයන්ට වෙන් වෙන්ව ආහාර පිසින්නේ නැත. හැමදාමත් උදේ පාන්දර නැගිට පාසල් දරුවන් වෙනුවෙන් පිසූ කෑම ඇය තම නිවසට වෙන්නොකොට සියල්ලම පාසලට රැගෙන යන්නීය. ගුරු මණ්ඩලයටත්, පාසල් දරුවන්ටත් බෙදා අවසන් වූවායින් පසුව ඉතිරි වූ ආහාර ගෙදරට ගෙනෙන නන්දා එය තම නිවසේ සාමාජිකයන්ට බෙදා දෙන්නීය. සුපුරුදු පරිදි පාන්දර තුනට අවදි වන ඇය උදෑසන ආහාර වේලට රොටී දියයුතු දිනවලදී අවදි වන්නේ පාන්දර එකට හෝ දෙකටය. එතැන් සිට කඩියකු සේ ඇය ආහාර පිසී.

දරුවන් තිදෙනෙකු සිටිනා නන්දා මාලනී සැබැවින්ම දිරිය කාන්තාවකි. ඇය කුඩා දරුවන්ට රසවත්, පිරිසුදු ආහාර වේලක් දිනපතා ලබාදෙන්නේ සැබෑම සතුටිනි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03