2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

පිළිකාවට ගුණ පලා වර්ග පහ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 982


කතුරුමුරුංගා කොළ

ලංකාවේ පලාවර්ග පහක් ආහාරයට ගැනීම පිළිකා, දියවැඩියාව ඇතුළුව බෝ නොවන රෝග රැසකට ඉතා ගුණදායක බව කරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන ඇත.

ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහය ඇතිව දෙදහස් දාහතරේදී වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. ප්‍රසන්න ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර මහතා සම්බන්ධ වී මෙම පර්යේෂණය සිදුකර තිබේ. මේ සඳහා වසර හතරක කාලයක් ගතවිය.

“වර්තමානයේදී බොහෝ රටවල කොවිඩ් රෝගය හැර බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝග සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සීඝ්‍ර වර්ධනයක් පවතිනවා. මෙලෙස බෝ නොවන රෝගවලට මූලික හේතුව වන්නේ ශරීරයේ අධික ලෙස ඔක්සිකාරක ප්‍රතිදේහ හා මුක්ත ඛණ්ඩ (Free Fractious) නිෂ්පාදනය වීමයි. එයින් ශරීරයේ ඇති ඉන්ද්‍රියන්වලට හානි සිදුවෙනවා. විශේෂයෙන් මේ තත්ත්වයෙන් සෛල පටකවලට හානි සිදු කරනවා. මේ තත්ත්වය හේතුවෙන් බොහෝ නිදන්ගත රෝග ඇතිවෙනවා. ආතතිය වැඩි වූ විට ශරීරයේ ඇති මෙම ඔක්සිකාරක ප්‍රභේද වැඩිවීමක් සිදුවෙනවා. මෙය වර්ධනය කිරීම සඳහා ප්‍රතිඔක්සිකාරකයන් ගත යුතු වෙනවා. එය ආහාර මගින් ශරීරයට ලබාගන්නටත් පුළුවන්.” යැයි වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. ප්‍රසන්න ගුණතිලක මහතා දේශයට පැවසීය.

ප්‍රතිඔක්සිකාරක බහුලව ඇති ආහාර ආහාරයට ගැනීම මගින් අධික ලෙස ශරීරයේ නිෂ්පාදනය කරන ඔක්සිකාරක ප්‍රභේදයන් සමඟ සටන් කිරීමේ හැකියාව ඇතිවෙයි.


අගුණකොළ

මේ අනුව ආචාර්ය ප්‍රසන්න ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම දේශීය පලාවර්ගවල මෙම ඔක්සිකාරකවල පැවැත්ම පිළිබඳව පර්යේෂණයක් සිදුකළහ. මෙම පර්යේෂණය සඳහා පලාවර්ග තිස් හතරක් මෙම යොදාගෙන ඇත. එයින් මෙම පලාවර්ගවල ප්‍රතිඔක්සිකාරකයන්වල වෙනස්වීම් පිළිබඳව පර්යේෂණයක් සිදුකර ඇත.

මෙම පර්යේෂණයට අනුව යොදාගත් පලාවර්ග තිස් හතරෙන් රණවරා, අඟුණකොළ, පැෂන් ෆෘට් කොළ, මැල්ල කොළ සහ කතුරුමුරුංගා යන පලා වර්ග පහම ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරක පලාවර්ග බවට හඳුනාගෙන ඇත. මෙම පලාවර්ග පහෙන් පිළිකා, අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග මර්දනය කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බවට සොයාගෙන ඇත.


රණවරා

බොහෝ දෙනා පලාවර්ගයන් ලෙස ආහාරයට ගනු ලබන්නේ කංකුං, මුකුණුවැන්න හා ගොටුකොළ යන පලා වර්ගයන්ය. නමුත් එම පලාවර්ගවල ඇති පෝෂ්‍ය ගුණයට වඩා ඉහත සඳහන් කළ පලාවර්ගවල පෝෂණ තත්ත්වය වැඩි බව කියයි.
“ආතරයිටීස් වැනි රෝගවලටත් ඉහත සඳහන් කළ පලාවර්ග ඉතා ගුණදායකයි. ප්‍රතිඔක්සිකාරක බහුලව ඇති අඟුණකොළ, රණවරා, පැෂන් කොළ, කතුරුමුරුංගා සහ මැල්ල කොළ අතිශයින්ම ප්‍රතිපදාහ ගුණ බහුලව තිබෙනවා. පැෂන්ෆෘට් කොළ (වැල් දොඩම්) වල පවතින විටමින් සී ගුණය ගොටුකොළවල තියෙන ගුණයට වඩා විසි ගුණයක් පමණ පවතිනවා.” යැයි ආචාර්ය කේ.ඩී. ප්‍රසන්න ගුණතිලක මහතා පැවසීය.

මෙම පෝෂ්‍යදායී පලාවර්ග අනුභව කිරීමෙන් පිළිකා රෝගවලට අමතරව අධි රැධිර පීඩනය, ආඝාතය ඇතුළු රෝග රැසකට ගුණදායක බව සොයාගෙන ඇත. එම පලාවර්ගවල පවතින ඖෂධීය සංඝටක රෝගීන්ට ලබාදෙන ඇතැම් ඖෂධවලට වඩා ප්‍රබල බව හෙළි වී තිබේ. සිරුරේ සෛලවලට හානි කරන මුක්ත ඛණ්ඩ (Free Fractious) අඩපණ කරන විශේෂ බලයක් මෙම පලාවර්ග පහ තුළ පවතින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. කේ.ඩී. ප්‍රසන්න ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී බොහෝ දෙනා ආහාරයට ගනු ලබන මුකුණුවැන්න කොළවල ඉතාම අවම ගුණයක් පවතින බව මෙම පර් යේෂණයෙන් සනාථ වී ඇත. කෙසේ වුවත් එතරම් ආහාරයට නොගන්නා රණවරා, කතුරුමුරුංගා, මැල්ල කොළ, කිරි අඟුණ, පැෂන්ෆෘට් කොළ කෙරෙහි අවධානය යොමුකොට ඒවා ආහාරයට ගැනීමෙන් බොහෝ බෝ නොවන රෝග ඇතිවීම වළක්වා ගැනීමට ඉවහල් විය හැකිය.

 දිශානි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03