2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ගැසට් එකට වඩා වැඩ කරන බන්දුලගේ මිල සූත්තරේ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

පසුගිය පෙබරවාරි මස 8 වැනි දින සිට සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27ක මිල ගිවිසුම්ගත ක්‍රමයක් මගින් පහළ මට්ටමක පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් ඇමැති බන්දුල ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් දියත් වී ඇත. මෙහිදී සහල්වල සිට සබන් කැටය දක්වා අත්‍යවශ්‍ය ආහාර සහ පාරි‍භෝගික ද්‍රව්‍යවල මිල මාස තුනක අවම කාලයක් සඳහා පහළ හෙලා තිබේ. පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේදී අමාත්‍යාංශය සහ තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් අතර මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුව ඇත. එහිදී ප්‍රකාශ වූයේ ප්‍රධාන හේතු දෙකක් හැර සෙසු කිසිම හේතුවක් නිසා මෙහි සඳහන් මිල වෙනස් නොවන බවය. එම හේතු දෙක වන්නේ රජය මගින් බදු පැනවීම සහ රුපියලේ විදේශ අගය සැලකිව යුතු ලෙසට පහළ බැසීමය. මෙම සිද්ධීන් සිදු නොවුණහොත් අන් කිසිදු හේතුවක් නිසා මිල වෙනස් නොවන බව අමාත්‍යාංශය කියයි. මාස තුන ඉක්මවීමෙන් පසු පවතින මිල සලකා බලා යළිත් ගිවිසුම්වලට එළඹෙන අතර එම ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යයි. ගිවිසුම අලුත් කරන අවස්ථාවේදී එයට අලුතෙන් එකතු කළ යුතු හෝ ඉවත් කළ යුතු ද්‍රව්‍ය වේ නම් ඒ ගැන සලකා බැලෙනු ඇත.

මෙම භාණ්ඩ රට පුරා ඇති ලක් සතොස වෙළෙඳසල් 370 හරහා සහ සමුපකාර මගින් මෙන්ම Q Shop සංකීර්ණ මගින්ද දැනට බෙදාහැරෙනවා ඇත. රටට නිදහස ලැබීමෙන් පසුව ගතවූ වසර 73ක කාලසීමාව තුළ මෙතරම් විශාල භාණ්ඩ සංඛ්‍යාවක් අඩු මිලට සපයන ප්‍රථම අවස්ථාව මෙය බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගිවිසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒවායේ මිල පාලනය කරමින් එයට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍ර 8ක් අහෝසි කළ බව මුදල් අමාත්‍යවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

භාණ්ඩ 27හි මිල පහළ දැමීම නිසා මුලින් රුපියල් මිලියන 82ක්ව තිබූ ලක් සතොස පිරිවැටුම දින 3ක් තුළ රුපියල් මිලියන 166ක් දක්වා මිලියන 84කින් ඉහළ ගිය බව පැවසේ. එසේම පෙබරවාරි මස 15 දින දක්වා සතිය තුළ සතොස ආදායම රුපියල් බිලියනය දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් ඇමැතිවරයා පවසයි. ඔහු එසේ පැවසුවේ දින 07කට පසු බඩු සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ඔහු එහිදී මෙසේද පවසා තිබේ

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් වෙළෙඳ අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය හරහා win win ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන අතර එමගින් දේශීය සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරනවා.

වෙළෙඳ අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය තුළින් වෙළෙඳපොළ අද අලුත් දිනයක් ලෙස සනිටුහන් වෙනවා. ඊට ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ සාමාන්‍ය වෙළෙඳපොළේ &ව්‍යුහාත්මක දේශයක්* වශයෙන් භාණ්ඩ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට ගතවන කාලය මාස 2 සිට ඊට වැඩිවන නමුත් අද අපි දින 07ක කාලයකින් ගෙවීම් කරනවා. අද වන විට වෙළෙඳපොළ තුළ විශාල වෙනසක් ඇතිව තිබෙනවා. යහපාලන රජය යටතේ පාඩු ලැබූ සතොස අද විශාල ලාභයක් පෙන්වලා තිබෙනවා. පෙබරවාරි 8 – 15 අතර කාලය තුළ ආදායම බිලියනය ඉක්මවා ගිහින්. සතොස කෙරෙහි තිබූ ජනතා අප්‍රසාදය දුරුකර නව මාර්ගයකට වෙළෙඳපොළ යොමුකිරීම මෙහි පරමාර්ථයයි. විනිවිදභාවයද මෙය පටන්ගත් දා සිට දිගටම පවත්වාගෙන යන අතර මේ තෙමස අවසානයේදී ඊළඟ මාස තුන සඳහා මිල ස්ථායීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

1977 සිට පැවතගෙන එන විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අප රටට පවතින නිසා යම් භාණ්ඩයක මිල සම්මත වන්නේ ඉල්ලුම හා සැපයුම මත පමණක් බවට කෙනකුට තර්ක කළ හැකියි. ඒ නිසා මිල පාලනය මගින් හෝ ගිවිසුම් මගින් මිල සීමාකිරීම අසාර්ථක ප්‍රයත්නයක් බවට දිගින් දිගටම තර්ක මතු කෙරුණි. රජයද මිල පිළිබඳ ගන්නා තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවූ බව රහසක් නොවේ. සහල් උපරිම මිල සීමාකිරීම පිළිබඳ ගැසට් 5ක් නිකුත් කිරීමට සිදුවීමද මෙයට හොඳ උදාහරණයකි.

එසේම සතොස ආයතනවලට විවෘත වෙළෙඳපොළේ පෞද්ගලික වෙළෙඳුන් සමඟ සටන් කිරීමට සිදුව තිබේ. එහෙත් නැගී එන නව වෙළෙඳ රටාවට අනුරෑප වන සේ සතොස නවීකරණය වී නැත. සේවක සංඛ්‍යාවේ කාර්යක්ෂමතාව දුර්වලය. පුහුණුව අවමය. ඔවුන්ට පහසුකම්ද අඩුය. ඇතැම් සතොස ගොඩනැගිලි පිහිටා ඇත්තේ පාරිභෝගිකයාට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල නොවේ. දුෂ්කර ස්ථානවල බවට ඕනෑතරම් උදාහරණ දීමට පුළුවන.
එසේම සමූපකාර ව්‍යාපාරයද අනූ ගණන්වල සිට ක්‍රමයෙන් දුර්වල වී ඇත. ඒවායේ මුදල් තත්ත්වය අන්තිම පහළය. වංචා දූෂණ වැඩි නිසා විශාල වෙළෙඳසල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇත. සේවකයන්ගේ ක්‍රියාශීලීත්වයද පහළ මට්ටමක පවතී. තරගකාරී වෙළෙඳපොළට මුහුණදීමට ඒවාට ශක්තියක් නැත.

වෙළෙඳ ජාලය පුළුල් කළ යුතුයි

එවැනි තත්ත්වයක් මත මෙම භාණ්ඩ 27 බෙදාහැරීම සතොස සහ සමූපකාර වෙළෙඳසල්වලට පමණක් බාරදීම සුදුසු නොවන බව පාරිභෝගික අයිතීන් සුරුකීමේ  ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසයි. මෙම වැඩපිළිවෙළ අගය කළ හැකි නමුත් මෙම රාජ්‍ය ආයතන දෙකට පමණක් භාණ්ඩ අලෙවි කිරීම මුළුමනින්ම පැවරීම ගැටලු සහගත බව ඔහුගේ මතයයි. ඔහු කියන්නේ ගිවිසුම්ගත මිලට මෙම භාණ්ඩ අලෙවි කිරීමට පෞද්ගලික අංශයේ වෙළෙඳසල්වල සහාය ලබාගත යුතු බවයි. එසේම ඇතැම් සතොස වෙළෙඳසල් පසුගිය දිනවල භාණ්ඩ මිල අඩු කළ විට විවිධ සීමා පනවා පාරිභෝගිකයන්ට සීමාසහිත ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියා කළා. එය නුසුදුසු අතර අඩු මිලට තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් ලබාදීමට පියවර ගත යුතු බව ඔහු කියයි. එය විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියටද අදාළ වේ. කෙසේ වුවත් ඉදිරියේදී මෙම භාණ්ඩවල ඇතිවිය හැකි අධික ඉල්ලුම සැපිරීම සඳහා වෙළෙඳ ජාලය පුළුල් කර තවත් වෙළෙඳුන්ට අවස්ථාව දීම වැදගත්ය. එක ස්ථානයකින් සිදුවන විට වංචා දූෂණවලටද ඉඩ ඇති බව ඔහුගේ මතය වේ.

කූඨ වෙළෙඳුන්ට පහරක්

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ වෙළෙඳ ඇමැතිතුමාගේ මෙම උත්සාහය අගය කළ යුතු බවයි. එසේ වුවද මෙයට පාරිභෝගික සේවා අධිකාරියේ ඍජු මැදිහත්වීමක් නොමැති අතර මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ වෙළෙඳ අමාත්‍යාංශය සහ ආනයන තොග වෙළෙඳුන් අතරය. අධිකාරියේ කාර්යභාරය වන්නේ භාණ්ඩ වැඩි මිලට විකුණන හා සඟවා තබාගන්නා වෙළෙඳුන් පාරිභෝගික සේවා පනතට අනුව පාලනය කිරීම බව ඔහු කියයි. එසේ වුවද ගැසට් මගින් භාණ්ඩ මිල බැස්සීමට අසීරුව තිබෙන අවස්ථාවකදී මෙලෙස රජය හා වෙළෙඳුන් යන දෙපාර්ශ්වය එකඟතාවයකට ඒමේ වැදගත්කම ඔහු පෙන්වා දෙයි. එසේ වුවද අඛණ්ඩව ගිවිසගත් මාස තුන තුළ මෙම ව්‍යාපෘතිය නොබිඳවා පවත්වාගෙන ඒමට දෙපාර්ශ්වයම කැපවිය යුතු යැයි ඔහු කියයි. ඔහු මෙසේද පවසයි.

ඇතැම් පාර්ශ්වයන් දේශපාලන හෝ ව්‍යාපාරාත්මක හේතු මත මේ වැඩ කටයුත්ත අතරමග නැවැත්වීමට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. එයට හේතුව සහන මිලකට භාණ්ඩ අලෙවි කිරීම සමහර කූට වෙළෙඳුන්ට පහරක් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා විවිධ බාධක යොදා මෙය කඩාකප්පල් කිරීමට ඉඩ තිබෙන බැවින් අවධානයෙන් සිටිය යුතු වෙනවා. පිළිගත හැකි හේතු නොමැතිව ගිවිසගත් කාලය තුළ භාණ්ඩ මිල වැඩි කරන්නට බැහැ. මෙහිදී පැවැතිය යුතු මිල පාරිභෝගිකයාද වෙළෙන්දාද දන්නවා. ඒ නිසා නිතර මිල වෙනස් වන්නේ නැහැ. එය සාධනීය පියවරක්.

සභාපතිවරයා තවදුරටත් අවධාරණය කරන්නේ ලක් සතොස හා සමූපකාර වෙළෙඳසල් මගින් මෙම භාණ්ඩ අඩු මිලට අලෙවි කිරීම නිසා සුපිරි වෙළෙඳසල් සහ වෙනත් පෞද්ගලික වෙළෙඳුන්ද අඩු මිලට අලෙවි කිරීමට පෙළඹිය හැකි බවය. &දැනටමත් ඇතැම් සුපිරි වෙළෙඳසල්වල මෙම මිලට භාණ්ඩ අලෙවි කරන බව ඔහු දන්නවා. ඉදිරියේදී සෙසු භාණ්ඩවලටද ඔවුන් යාමට ඉඩ තිබෙනවා. සතොස මගින් භාණ්ඩ පහළ මිලකට ලබාදෙන අවස්ථාවලදී තමන්ගේ පාරිභෝගිකයන් සතොස වෙත ඇදී යාම වැළැක්වීම සඳහා ඔවුන්ටද යම් පමණක නම්‍යතාවක් දක්වන්න සිදුවෙනවා. ඒ මොකද ඒ අයගේ ව්‍යාපාරවලට මෙම තත්ත්වය බලපාන නිසා. ඒ අනුව රජය නියෝග නොකළත් ඔවුන් නිරායාසයෙන් ස්වේච්ඡාවෙන් මෙයට යොමුවන්න පිළිවන්. ඒ නිසා ඔවුන් අතරත් යම් මිල පාලනයක් ඇතිවෙන්න පුළුවන්. අපට ලැබෙන ආරංචි අනුව දැනටමත් එවැනි පෙරනිමිති පහළ වී තිබෙනවා. එසේ වුවහොත් මුළු රටේම පහළ මිලක් ඇතිවෙන්න පුළුවන්.

ඔහු පවසන්නේ එසේ වුවද මෙම ගිවිසුම් මාස තුනෙන් තුනට අලුත් කරමින් දිගටම පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි. ඒ සඳහා දැන්ම සිටම යම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු අතර පාරිභෝගික සේවා පනත උල්ලංඝණය කරන වෙළෙඳුන් සොයා බලමින් බඩු වැඩි මිලට විකිණීම වළක්වාලීමෙන් තමන්ටද එයට සහාය දිය හැකි සභාපතිවරයා කියයි.

මේක තාවකාලික වැඩක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ වෙළෙඳ අමාත්‍යවරයාගේ මෙම වැඩපිළිවෙළ කෙටිකාලීන වන අතර මෙය කිසිවිටෙක දිගටම ගෙන යාමට හැකිවේද යන්න සැකසහිත බවය. මෙය බඩු මිල වැඩි යැයි ජනතාව කෑගැසීම වළක්වා ගැනීම සඳහා ගත් තාවකාලික වැඩපිළිවෙළක්ය යන්න ඔහුගේ අදහසයි.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව භෝග වර්ග 16කින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළකට අතගසා තියෙනවා. එහි දැක්වෙන සමහර ද්‍රව්‍යද මෙම භාණ්ඩ 27ට අඩංගුයි. ඒත් හැමදාම මේ මගින් මිල අඩු කරන්න බැහැ. වගා කිරීමෙන් නම් ස්ථිරව මිල දිගටම අඩු මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. නිෂ්පාදනයෙන් යම් ද්‍රව්‍යයක් අවශ්‍ය ප්‍රමාණයට සපයන්න පුළුවන් නම් මෙවැනි ගිවිසුම් නොගැසුවාට නිරායාසයෙන් මිල අඩුවෙනවා. අපි නැඹුරු වන්නට අවශ්‍ය ඒ පැත්තටයි.

මෙයින් නිෂ්පාදකයාට හා ගොවියාට යම් අසාධාරණයක් වෙනවා. මේ වැඩපිළිවෙළ නිසා ඔහුට තම ද්‍රව්‍යවලට සාධාරණ මිලක් හිමිකර ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙලෙස අඩු මිලට දිගටම බඩු දෙනවා නම් එය නිෂ්පාදකයාට කරන හානියක්. හැබැයි වෙළෙඳ ඇමැතිවරයා වෙළෙඳුන් සමඟ ගිවිසගෙන ඇති ලේඛනයේ සමහර දේවල් පමණයි මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ. අනිත්වා ආනයනය කරන දේවල්. ඒවායේ මිල සීමා කිරීමක් කළ යුතු වෙනවා. මා නම් හිතන්නේ පාරිභෝගිකයාද භාණ්ඩ ඉල්ලුම් කිරීමේදී විචක්ෂණ බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය යන්නයි. තමාට අවශ්‍ය කරන ආනයන භාණ්ඩ පිළිබඳ යම් විකල්පයකට යොමුවීමට මේ හොඳම කාලයයි. එවිට ඔහුට අඩු මිලට භාණ්ඩ ලබාගැනීමට හැකිවෙනවා වගේම රටේ නිෂ්පාදනයට කොටස්කරුවකු වන්නට පුළුවන් වෙනවා ඇති.

කෙසේ වුවත් දැනට රටේ උද්ගතව ඇති භාණ්ඩ මිල ඉහළ යාමේ ගැටලුව කෙටිකාලීන පිළියමක් වශයෙන් වෙළෙඳ ඇමැතිවරයා ගත් පියවර අගය කළ යුතුයි.

ඇමැතිතුමාගේ ඉල්ලීමට අපි එකඟ වුණා

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න වෙළෙඳ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අගය කරමින් කතා කරයි. එහෙත් ඔහු පවසන්නේ මෙම තුන් මසකට වූ ගිවිසුම යළි අලුත් කරනවාද යන්න මාස තුනකට පසු එයින් ලැබෙන ප්‍රතිඵල සලකා බලා තීරණය කළ යුතු බවය.

ආණ්ඩුව අත්හදා බැලීමකට තමා මෙය කරන්නේ. එය දිගටම කිරීම පහසු නැහැ. වෙළෙඳපොළේ යථාර්ථය එයයි. එය කොටස් වෙළෙඳපොළ වගේ නොවෙයි. මිල නිතර වෙනස් වෙනවා. ඉන්දියාවේ නම් භාණ්ඩ මිල පැයෙන් පැයට වෙනස් වෙනවා. හොඳ සෞඛ්‍යමය වෙළෙඳපොළක එකම මිල දිගටම තබාගන්න බැහැ. ඇමැතිතුමාගේ ඉල්ලීම අනුව අපි මෙයට එකඟ වුණා. මාස තුනක් කරලා තමා බලන්න වෙන්නේ. ඇමැතිවරයා පැවසුවේ සිංහල අවුරුද්ද අවසන් වනතුරු හෝ මෙය කරලා බලමු කියලයි.

රුපියලේ අගය සියයට 5 – 10 වැනි විශාල ගණනකින් වෙනස් වුවහොත් ගිවිසගත් මිල වෙනස් වෙනවා. රුපියලක් දෙකක් වෙනස් වූවාට එය බලපාන්නේ නැහැ. ආනයන තීරුබදු වෙනස් වුණොත් මිලද වෙනස් වෙනවා. මේ ගිවිසුම අත්සන් කළාට පසු හාල්මැස්සන් සඳහා වූ තීරු බද්ද රුපියලේ සිට රුපියල් 100 දක්වා වැඩි කළා. ඒ අනුව දැනට පවතින කිලෝවකට රුපියල් 575 මිල එසේ තබාගන්න බැහැ. ගිවිසුම එසේම තබාගෙන මිල වැඩි කරන්න වෙනවා. මුදල් අමාත්‍යාංශය ගන්නා තීරණවලට වෙළෙඳ අමාත්‍යාංශයට වගකියන්නට බැරි තත්ත්වයක් තමා දැන් ඇතිවෙලා තියෙන්නේ.

කොහොම වුණත් බඩු දීලා සතියකින් මුදල් ගෙවීම ගැන නම් අගය කරන්න ඕනෑ. මෙවර නම් ඇමැතිතුමා පැවසූ පරිදිම දින 07කින් මුදල් ගෙව්වා. දින 10ක් ගියත් කමක් නැහැ මුදල් ගන්න. ඉස්සර මේ සඳහා මාස ගණන් ගියා. සුළු ලාභයක් ලැබුණත් කමක් නැහැ කෙටි කාලයකින් මුදල් ලැබෙනවා නම්. තොග වෙළෙඳාමේදී සැමවිටම ලාභ ගන්න බැහැ. සුළු ලාභයක් වගේම ලාභ නැතිවෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ තැතිගත යුතු නැහැ.

මෙහිදී ඉස්සර වගේ ටෙන්ඩර් කළ යුතු නැහැ. කෙටි කාලයකදි සියල්ල සිදුවීම හොඳයි. මෙහිදී දෙපාර්ශ්වයම ගැනම බැලිය යුතුයි. ඉදිරියේදී මෙයට වඩා හොඳ වේ යැයි විශ්වාස කරනවා.

 යසවර්ධන රුද්රිගූ 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03