පොලිතීන් සහ ප්ලාස්ටික් විශාල පරිසර හානියක් බවට පත්ව තිබේ. ලෝකයේ සියලුම රටවල් භාවිතය සීමා කරන අතර ප්‍රතිචක්‍රීකරණය ගැන අවධානය යොමු කරයි. භාවිත කරන පොලිතීන් හා ප්ලාස්ටික් තොග නැවත එකතු කර ගැනීම පහසු කාර්යයක් නොවේ. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන පහසුය. මිල අඩුය. එහෙත් දිරාපත් නොවේ. වසර දහස් ගණනක් දක්වා පොළොවේ එකතු වනු ඇතැයි සැලකේ. ගිනි තැබිය හැකිය. දැවෙන දුම්වලින් පිටවන අහිතකර වායු ස්වභාවික පැවැත්මට තර්ජනයකි. අහිතකර වායු ප්‍රතිශතය වැඩි කරන අතර එය ඕසෝන ස්ථාරය හානි කරන පියවරකි. ඕසෝන ස්ථරයට හානි සිදුවන විට මහපොළොවට ලැබෙන සූර්ය තාපය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළ නගී. කෙළවරක් නැති ගැටලු මතුවෙයි.
පසුගියදා කෙන්යාවේ අලුත් පියවරක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් එකතු කරන අතර ඒවා කැබලි කර වැලි හා මිශ්‍ර කරයි. අනතුරුව උණුසුම් කර උණු කරන අතර අච්චුවල අතුරා ඒවායෙන් බිම අතුරන ගල් වර්ග නිෂ්පාදනය කෙරේ. විශේෂත්වයක් තිබේ. මෙම ව්‍යවසාය පළමුවෙන් ආරම්භ කරන්නේ කාන්තාවකි. නයිරෝබි නගරයේ පිහිටි ඇයගේ වැඩපොළ දිනකට මෙම පොලිතීන් හා වැලි මිශ්‍ර බිම් ඇතුරුම් ගල් එක් දහස් පන්සියයක් නිපදවයි. ඒවායෙන් මාර්ග දෙපස පදික වේදිකා සකස් කිරීමට පියවර ගෙන ඇත. පොලිතීන්වල විවිධ වර්ණ වෙන්කර නිෂ්පාදනය විවිධ පැහැයෙන් සරසන්නට ඇය සමත් වන්නීය. ඉදිරි කාලය තුළ නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කරන්නට සූදානමක් ඇති බව දැක්වෙයි.
සම්ප්‍රදායිකව නිපදවන සිමෙන්ති භාවිත කරන කොන්ක්‍රීට් බිම් ඇතුරුම් ගල්වලට වඩා මේවා සැහැල්ලුය. දැඩිභාවයෙන් ඉහළ හෙයින් දීර්ඝ කාලයක් භාවිත කළ හැකිය. අනෙක් සාධකය මිල අඩුවීම බව දැක්වෙයි. කෙසේ වෙතත් විශාලම වාසිය පරිසරය ආරක්ෂාවට ලැබෙන පිටිවහල බව සඳහන් කළ යුතුය.
එක දිනකට කෙන්යාව තුළ ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ඉක්මවයි. මේවා එකතු කරන නිසි වැඩපිළිවෙළක් නැත. රජයෙන් හෝ රජයට අනුබද්ධ ආයතනවලින් කරන තෙක් බලා සිටින්නට කල්පනා කළේ නැති බව මෙම අලුත් අදහස ඉදිරිපත් කළ ව්‍යවසායිකාව ප්‍රකාශ කර තිබේ. එය අගය කළ යුතුය. වෙළෙඳසලෙන් අවශ්‍ය දේ මිල දී ගන්නා පාරිභෝගික අප සියලු දෙනා අනවශ්‍ය දේ පැත්තකට විසිකර ඒවා එකතු කර කළමනාකරණය ආණ්ඩුවට හෝ පළාත් පාලන ආයතනයේ වගකීමක් බව කල්පනා කරමු. නමුත් ලෝකයේ සමහර රටවල්වල වැඩි දෙනෙක් ඒවා තම යුතුකම් සේ සිතන්නට නැඹුරු වී සිටිති. මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් ද ඉවත දමන දේ ගැන පරෙස්සම් වෙමින් සිටිති. කසළ බඳුන් සොයන අතර ඒවා වෙන්කරන ලද කසළ වශයෙන් බැහැර කරන්නට හුරු වී සිටිති. එය පැසසුම් කටයුතුය. තවත් පිරිසක් ඇසුරුම් හා බහාලුම් නැවත නැවතත් පාවිච්චි කරන අතර එය ද යහපත් තීරණයකි. එමගින් පොලිතීන් භාවිතය අඩු කෙරේ. නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය හොඳ විසඳුම්ය. පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිහරණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය නොහැකි නම් එවැනි පියවර අනුගමනය පවා සාධනීය අදහසකි.
අප්‍රිකාවේ රටවල් සෑහෙන ප්‍රමාණයක ඉවතලන පොලිතීන් සම්බන්ධ ගැටලු පැන නැගී තිබේ. සමහර රටවල් වේගයෙන් විකල්ප කරා අවතීර්ණ වන බව දැක්වෙයි. කෙන්යාව හා ඝානා යන රටවල් ඉදිරියෙන් පසුවෙයි. බැහැර කරන පොලිතීන්වලින් වෙනත් පන්නයේ ක්‍රියාකාරකම්වලට අවතීර්ණ වන අවස්ථා මෑත කාලය තුළ ප්‍රවණතාවයක් වී තිබේ. නෙදර්ලන්තය ප්ලාස්ටික් බෝතල් මූඩි එකතු කර මීටර් තිහක් දුර පටු මාවතක් ඉදි කරන ලද අතර එය පාපැදිකරුවන් වෙනුවෙන් වෙන් කර තිබේ. තවත් රටවල් පොලිතීන් මිශ්‍ර කර ගඩොල් සාදා ඒවායෙන් තාවකාලික නිවාස ඉදි කිරීමට පියවර ගෙන ඇත. එක වරක් භාවිත කළ පොලිතීන් එකතු කර පාවහන් නිපදවීමේ දී පතුල වැනි කොටස් සකස් කිරීමට පියවර ගෙන ඇති බවට ද තොරතුරු කියැවෙයි.
ශ්‍රී ලංකාව ඉතා විශාල වශයෙන් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කරයි. ප්ලාස්ටික් භාජන මිල දී ගන්නා පාරිභෝගිකයන් ඒවායේ මුද්‍රණය කර ඇති සංඥාවලින් කියැවෙන දේ වටහා ගැනීම ද වැදගත්ය. ප්‍රතිචක්‍රීකරණය ගැන පණිවුඩ එහි තිබේ. අවස්ථා කොපමණ ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද යන්න දක්වා ඇත. එය නොසලකා එක වරක් භාවිත කර පැත්තකට කිරීමෙන් ආර්ථික අවාසියක් පමණක් නොව මහත් පරිසර විනාශයක් ද සිදුවන බව සඳහන් කළ යුතුය.
අලුත් අදහස්, අලුත් ව්‍යවසාය ගැන හිතන යුගයක කෙන්යාවේ කාන්තාවක ආරම්භ කර ඇති ව්‍යවසාය හොඳ උත්සාහයකි. ශ්‍රී ලංකාවේ නිර්මාණශීලීන් එයින් අදහසක් ලබා ගත යුතුය. සමහර ප්රයත්න දැනටමත් භාවිත වන බව දැක්වීම අවශ්‍යය. ඒවා අගය කරන අතර එවැනි තැන්වලදී ප්‍රයෝජනයට ගත හැකි පරිදි තමන්ට හැකි ප්‍රමාණයෙන් පිරිසුදු කළ පොලිතීන් නිසි පරිදි බැහැර කරන වගකීමක් කෙරෙහි අප හුරුවිය යුතුය. කෑම පාර්සලයක් මිල දී ගෙන අසුරනයේ ඇති පොලිතීන් ගැන නොසලකා පැත්තකට කරන අප සියලුම දෙනා අනාගත පරපුර වෙනුවෙන් කිසියම් හානියක් කරන බව කල්පනා කිරීම අතිශය වැදගත් කාරණයකි. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කළ හැකිය. එවැනි පියවර ගෙන තිබේ. නමුත් අවසානයේ දී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. මෑත වසර කිහිපය තුළ නීතිය බලගන්වන අවස්ථා ගණන පමණක් නොව ආපසු හරවන ලද අවස්ථා ගණන ද සලකන විට ප්‍රායෝගික පැති ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුවෙයි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
►මිලින්ද මොරගොඩ