වර්ෂ 1854දී එවකට අමෙරිකානු ජනාධිපති ප්‍රෑන්ක්ලීන් පියර්ස් විසින් ආදිවාසී රතු ඉන්දියානු ජනතාව වාසන කරන භූමිභාග සංවර්ධන කටයුතු සඳහා මිලට ගැනීමට යෝජනා කළේය. එහිදී රතු ඉන්දියානු නායක සියැටල් විසින් පවත්වන ලද දේශනය ලොව පරිසරය පිළිබඳ විශිෂ්ට සංකල්පනයක් ලෙස අදටත් සැලකේ.
දැන් ශ්‍රී ලංකාවේද එයට එක්තරා ආකාරයකින් සමාන සිද්ධියක් සිදුවෙමින් පවතී. ඒ මහඔය පොල්ලෙබැද්ද ආදිවාසී ජනයා පරිභෝග කළ වනාන්තර ඉඩම් මහා පරිමාණ කෘෂි සංවර්ධන කටයුතු සඳහා ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම්වලට බදුදීමයි.
මාමකැච්චක් කොඳමයි කියන්නේ සතුටුයි කියන එක. ඒත් සතුටක් අපට නෑ. දුකක් තමයි තියෙන්නේ පොල්ලෙබැද්දේ ආදිවාසී නායක තලාවරිගේ තලාබණ්ඩාරලාගේ ගුණවර්ධන කියයි.
අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලෙබැද්ද ප්‍රදේශය නිල්ගල දානිගල කඳු සහ ගොරකාන සීතලවන්නිය කඳුවලින් වටවූ සුන්දර වනගත ප්‍රදේශයකි. ආර්.එල්. ස්පිට්ල් මැකී ගිය දඩමං ලිව්වේ මේ අවට වැද්දන් ගැනය. නමුත් දැන් වැදි ජනතාවට තම පාරම්පරික නිජභූමි රුක ගැනීමට නගරවල උද්ඝෝෂණ කිරීමට සිදුව තිබේ.
පුරාණයේ සීතලවන්නියේ ගල්ගෙවල්වල ජීවත් වූ වැදි ජනතාව මෑත අතීතයේ සිට පොල්ලෙබැද්ද ගම්මානයේ පදිංචිව සිටිති. වැදි පවුල් 75ක් පමණ එහි වාසය කරති. ඔවුන් හේන් වගා කළ, තම හරකුන් තණ කැවීමට යැවූ භූමිය දැන් අහිමිවෙමින් යමින් පවතී. මේ වනවිටත් අක්කර 500ක භූමියක් ඩෝසර් කර අවසන්ය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් දිව්රුම් ප්‍රකාශයක් මගින් උසාවියෙන් ඉල්ලා සිටින්නේ තම ජනයාගේ උරුමයන් ආරක්ෂා කර මෙම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කර දෙන ලෙසයි. සීතල වන්නිය, පොල්ලෙබැද්ද, ගොරකාන වැනි ප්‍රදේශ තම වරිගෙ ජනයා උපන් දා සිටම දිවිගෙවන ප්‍රදේශ බව ඔහු සඳහන් කර සිටී. පොල්ලෙබැද්ද ගල්වලයාය රක්ෂිතයේ සිදුවන එම වන සංහාරයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීම සිදුවිය.
දැනට මෙම වනාන්තර ඉඩම් අයිතිව තිබෙන මහවැලි අධිකාරිය මගින් ගල්වලයාය ප්‍රදේශයේ ඉඩම් අක්කර 5426ක් සමාගම් 12කට බදුදීම ඉහත අවුල් මතුවීමට හේතුවයි. මේ සඳහා මතු වූ විරෝධය හමුවේ ඒ අතරින් ඉඩම් අක්කර 2750ක් බදුදීමට කැබිනට් අනුමැතියද ලබාගෙන තිබේ. මෙසේ අලුතින් කැබිනට් අනුමැතිය ලබාගත් ඉඩම්වලින් වනාන්තර තියෙන්නේ 10යි. ඉතිරි 90ම තණබිම් වශයෙන් කඳු පාමුල පැතිර තිබෙනවා. මෙම තණබිම්වලට තමයි පාරම්පිරික ගැමි ජනතාව තම කිරිගවයන් යවන්නේ. මේ නිසා ඔවුන්ට කිරිගවයන් ඇති කිරීමට ගැටලු මතුවෙනවා.* එසේ සඳහන් කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සංජීව චාමිකරය. මේ අතර මහවැලි නිලධාරීන් පොල්ලෙබැද්දේ ආදිවාසීන්ට මෙන්ම දඹානේ වැදිනායක වන්නියලැත්තෝද හමුවී නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑම් කරන බවත් දැනගන්නට ලැබුණු බව සජීව කීවේය.
පරිසර යුක්ති කේන්ද්‍රය නඩුව ගොනු කරමින් සඳහන් කරන්නේ වනාන්තර විනාශය හා සංවර්ධනය නිසා ආදිවාසීන්ගේ සම්ප්‍රදායික ඉඩම් පැකිලීමට ඉවහල් වී ඇති බවයි.
මෙය ඔවුන්ගේ ව්‍යාප්තියේ පරිහානියට හේතු වී ඇති අතර, පාරම්පරික උරුමයන් පවා ප්‍රජාවට අහිමිවීමේ අවදානමක් පවතී. පෙත්සම්කරුවන් සඳහන් කරනුයේ අම්පාර දිස්ත්‍රික්කයේ ගල්වලයාය රජයේ වනාන්තරයේ රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ වනාන්තර ආවරණයෙන් මේ වනවිටත් කෘෂිකාර්මික සහ පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර් 500ක භූමි ප්‍රමාණයක් ඉවත්කර ඇති බවයි. මේ ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා සකස් කිරීමක්ද නැත.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 (ඒ) වගන්තියට අනුව හෙක්ටයාර් 1කට වැඩි වනාන්තරයක් වනාන්තර නොවන පරිහරණයකට පරිවර්තනය කරන සහ හෙක්ටයාර් 50කට වැඩි වනාන්තර ඉවත් කිරීම යන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් ලබාගත යුතුය. වගඋත්තරකරුවන් 7 දෙනකුට එරෙහිව නිසි පාරිසරික තක්සේරුවක් සිදු නොකර එම වනාන්තර ඉඩම් නීති විරෝධී අන්දමින් ඉවත් කිරීම සහ ජාතික පාරිසරික පනතේ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත. එම විනාශයන් නැවැත්වීම සඳහා අතුරු තහනම් නියෝගයක්ද ඉල්ලා තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සද්ධාතිස්ස රජ සමයට අයත් නටබුන් වූ පුරාණ ජලාශයක් වන රඹකැන්ඔය ජලාශය අලුතින් ඉදිකර විවෘත කෙරිණි. 2013 ජූලි 20 දින එය විවෘත කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහඔය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලම ජලාශය වන එහි අක්කර අඩි 40,000ක ජල ධාරිතාවක් සහිතය. කුඹුරු අක්කර 3500කට ජලය සැපයෙන අතර මහඔය, පොල්ලෙබැද්ද, නිල්ඔබ, බැදිරුක්ක, අලාවල ආදී ගම්මාන රාශියකට පානීය ජලය සැපයේ. ඉදිරියේදී මහා පරිමාණ බඩඉරිඟු වගාව සිදුවුවහොත් බෝග සඳහා යොදන රසායනික නිසා ජලාශය දූෂණය වීමට ඉඩ ඇති බව පැවසේ.
එමෙන්ම බෙදාදුන් ඉඩම් පිහිටා ඇත්තේ මෙම ජලාශයේ සහ මේ වනවිට ආරම්භ කර ඇති මුන්දෙනිආරු ජලාශ ව්‍යාපෘතියේ ජල පෝෂක ප්‍රදේශවලය. ජල පෝෂක අහිමිවීම නිසා පාංශු ඛාදනයෙන් ජලාශය ගොඩවීම මෙන්ම ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමද සිදුවිය හැකිය. මේ නිසා ප්‍රදේශයේ ගම්මාන 20ක ගොවි ජනතාවක්, පානීය ජලය ලබාගන්නා පවුල් 5000ක පිරිස්ද අවිනිශ්චිතතාවයට පත්ව සිටිති.
මේ පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වන මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසන්නේ රඹකැන්ඔය බඩඉරිඟු වගාව දැන් නවතා දමා ඇති බවත්, එම ඉඩම් බදු දුන්නේ පසුගිය රජය විසින් ගත් තීරණ මත බවත්ය. රඹකැන්ඔය අවට ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශවලට වගේ ජලාශයට පරිසර හානියක් සිදුවන කිසිම දෙයකට අපි ඉඩ දෙන්නේ නැහැ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටී.
පසුගියදා පොල්ලේබැද්දේ වැදි ජනතාව දඹානට පැමිණ මේ විනාශය ගැන වැදිනායක වන්නියලැ ඇත්තන්ට පැමිණිලි කළෝය. ඒ අනුව ඔහුත් පොල්ලෙබැද්දට ගොස් එම සිදුවීම නිරීක්ෂණය කළේය. වැදිනායකයා පවසන්නේ එම විනාශය සිදුවන්නේ පොල්ලෙබැද්දට පමණක් නොවන බවත් මුළු රටටම බවත්ය. පසුගියදා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ රිට් පෙත්සමේ පාර්ශ්වකරුවෙක් ලෙස වැදිනායකයාටද ඉදිරිපත් වීමට සිදුවූයේ තම පාරම්පරික උරුමය රැක ගැනීමටය.
කුසුම්සිරි විජයවර්ධන