2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

සූදු කාරයන්ට දඩේ පන්සීයයි

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

ප‍්‍රසිද්ධ සූදු ස්ථානයක තිබී හමුවන සියලුම උපකරණ, මෙවලම්, මුදල්, මුදල් සඳහා වන සුරුකුම්පත් සහ වෙනත් භාණ්ඩ හෝ එම ස්ථානයේ සිට හමුවන හෝ එම ස්ථානයෙන් පැන යන තැනැත්තකු සහ මහේස්ත‍්‍රාත්වරයාගේ අදහස අනුව යම් කිසි සූදුවක් සඳහා භාවිත කරන ලද හෝ භාවිත කිරීමට අදහස් කරන සියලුම දෑ රාජසන්තක කිරීම සඳහා ප‍්‍රකාශ කළ යුතු අතර, ඒ අනුව ක‍්‍රියා කළ යුතුය. 


යම් කිසි තැනැත්තකුට ප‍්‍රවේශ වීමට හැකි යම් කිසි ප‍්‍රසිද්ධ සූදු පොළක් පවත්වාගෙන ගිය හෝ භාවිත කිරීම නිසා මාස හයකට ඉහත වැරදිකරුවකු වී ඇත්නම්, මහේස්ත‍්‍රාත්වරයකුට අවශ්‍ය තොරතුර වාචිකව සහ දිවුරුමක් පිට හෝ නොමැතිව ලැබී ඇත්නම්, එවැනි අවස්ථාවක දී ඔහුගේ අදහස අනුව විමර්ශනයක් කිරීමේ අරමුණ සඳහා තොරතුර ලිඛිතව දීම ප‍්‍රමාදය මග හැරීම සඳහා, මහේස්ත‍්‍රාත්වරයකුට ඔහුම විසින් පොලිස් නිලධාරියකුට බලය පවරමින් එම ස්ථානය පරීක්‍ෂා කිරීමට සහ උපකරණ සහ මෙවලම් අත්අඩංගුවට ගැනීමට හා එහි සිටින තැනැත්තන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට වරෙන්තුවක් මගින් බලය ලබා දිය හැකිය. 

මෙම පනතේ අරමුණ සඳහා යම් කිසි භාණ්ඩයක්, යම්කිසි තැනැත්තකු යටතේ පිළිවෙළට, ස්ථානගත කිරීමෙන් ඔහුගේ බලය හා පාලනය යටතේ තිබේ නම්, ඔහු සන්තකයේ තිබී ලෙස සැලකිය යුතුය.
කෙසේ වෙතත්, එවැනි ක‍්‍රියාවක් කිරීමට ප‍්‍රථම එවැනි දන්නා තොරතුරක් දුන් තැනැත්තාගේ ලිපිනය සහ නම එම මහේස්ත‍්‍රාත්වරයා විසින් නිසැකවම දැන ගත යුතුය. 
එවැනි වාචික තොරතුරක් දෙන තැනැත්තා එම තොරතුර අසත්‍ය හෝ සත්‍ය බව විශ්වාස කිරීමට හෝ සත්‍ය ලෙස විශ්වාස කිරීමට නොහැකි බව ප‍්‍රකාශයක් කිරීමේ දී මාස 12කට නොඅඩු කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව හෝ රහිතව දඬුවම් කළ යුතුය. 

මෙම ආඥා පනත යටතේ ප‍්‍රසිද්ධ සූදු පොළක සිට හමුවන තැනැත්තකු හෝ එම ස්ථානයේ සිටි පැන යන හෝ එම ස්ථානයෙන් පරීක්‍ෂා කර සන්තකයේ තිබී හමුවන උපකරණ හෝ මෙවලම් අන්‍යාකාරයෙන් ඔප්පු නොකරන තාක් කල් නීතිවිරෝධී සූදුවට වැරදිකරුවකු වන බව උපකල්පනය කළ යුතුය. 

මෙම ආඥා පනත ඇතුළත හෝ යම් කිසි තැනැත්තකු සූදුව සඳහා උපයෝගී කර ගන්නා යම් කිසි උපකරණයක් හෝ මෙවලමක් සූදුව සඳහා උපයෝගී වන යම් කිසි උපකරණයක් හෝ මෙවලමක් එහි සිටි යම් කිසි තැනැත්තකු ළඟ තිබී හමු වූ හෝ යම් කිසි මහේස්ත‍්‍රාත්වරයකුට, පොලිස් නිලධාරියකුට හෝ මෙම ආඥා පනත යටතේ එවැනි ස්ථානයක් පරීක්‍ෂා කිරීමට බලය දුන් තැනැත්තකුට එම ස්ථානයට ළඟ වීමේ දී හෝ ප‍්‍රවේශ වීමේ දී එතැනින් පැන යාමට හෝ පැන ගොස් ඇති බව අසා තිබේ නම් හෝ මහේස්ත‍්‍රාත්වරයකු, පොලිස් නිලධාරියකු මෙම ආඥා පනත යටතේ බලය වෙනත් තැනැත්තකු එවැනි ස්ථානයකට යාමට හෝ ඇතුළුවීම, පරීක්‍ෂා කිරීම වළක්වාලන බාධා කරන එම ස්ථානයේ, එහි කොටසකට ඇතුළුවීමට හෝ ළඟාවීම ප‍්‍රමාද කිරීමේ දී, අන්‍යාකාරයෙන් ඔප්පු නොකරන තාක් කල්, එම ස්ථානය ප‍්‍රසිද්ධ සූදු පොළක් වශයෙන් එහි පදිංචිකරු පවත්වාගෙන ගිය බව උපකල්පනය කළ යුතුය. 

නීතිවිරෝධී සූදු ක‍්‍රීඩාව සඳහා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 182 වන වගන්තිය අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් චෝදනා ගොනු කළ යුතුය. 
නඩු විභාගයක දී කරන ලදැයි කියන වරද මෙම ආඥා පනත යටතේ යම් වරදක දී, නඩු විභාගයක දී, සූදු ක‍්‍රීඩා කරන ලදැයි කියනු ලබන ස්ථානය පොදු සූදු පොළක වශයෙන් පවත්වාගෙන යන බවට මහේස්ත‍්‍රාත්වරයාට පෙනී යන විට සහ එම ස්ථානය සූදු පොළක් ලෙසට උපාය මාර්ගයක් වශයෙන් යම් කිසි ස්ථිර සවි කිරීම් කර ඇති විට මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රකාශිතවම නම් කරන ලද රජයේ නිලධාරියකුට එම සවි කිරීම් කඩා දැමීමට නියෝගයක් ලබා දිය යුතුය.
නීතිවිරෝධී සූදු ක‍්‍රීඩාවේ වරද සම්බන්ධයෙන් යම් කිසි නඩුවක දී, චෝදනා කරන ලද එම ස්ථානය අරක්කු, රම් හෝ වෙනත් මත්පැන්, මත්ද්‍රව්‍යයන් නිෂ්පාදනය කිරීමට, පෙරීමට හෝ විකිණීමට අවසර ලබා දී ඇති ස්ථානයක් බව මහේස්ත‍්‍රාත්වරයා විශ්වාස කරන්නේ නම්, එම අවසරපත්ලාභියාත් නඩුවේ පාර්ශ්වකරුවකු කළ යුතු අතර, ඔහු කැමැත්තෙන්ම එම ස්ථානයට සූදු ක‍්‍රීඩාව සඳහා අවසර ලබා දී ඇති විට එම අවසරපත්ලාභියා වැරදිකරුවකු කර මාස හයකට නොඅඩු කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 100/-කට නොවැඩි දඩයකට හෝ දෙකටම වැරදිකරුවකු කළ යුතුය.

ප‍්‍රසිද්ධ සූදු ක‍්‍රීඩා කරන ස්ථානයක් පවත්වාගෙන යාම පිළිබඳ වරදකරු යම් කිසි නඩුවක දී චෝදනා කරන ස්ථානය ලෙස ඉහත සඳහන් කරන ලද පරිදි අවසරපත්ලාභියාගේ වන විට එම අවසරපත්ලාභියා චූදිතයකු වශයෙන් ඇතුළත් කොට එම අවසරපත්ලාභියාගේ එකඟත්වය හා පිළිගැනීම මත එම අවසර දෙන ලද ස්ථානයේ සූදු ක‍්‍රීඩා කර ඇති විට එම වරද සඳහා එම තැනැත්තා වැරදිකරුවකු කර බරපතළ වැඩ සහිතව මාස 12කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 500/-කට නොවැඩි දඩයකට හෝ දෙකටම යටත් විය යුතු අතර, වරද කළ තැනැත්තාගේ අවසර පත‍්‍රය ද අවලංගු කළ යුතුය. 

යම් තැනැත්තකු නිත්‍යනුකූලව ඔහු විසින් පරීක්‍ෂා කරන ලද සියලුම කරුණු පිළිබඳ මහේස්ත‍්‍රාත්වරයාගේ අදහස අනුව සත්‍ය සහ සම්පූර්ණ සොයා ගැනීම් බව ඉදිරිපත් කිරීමේ දී, මහේස්ත‍්‍රාත්වරයාගේ අත්සන යටතේ ඔහුව විමර්ශනය කරන ලද කරුණු පිළිබඳව ඔහු සම්පූර්ණ හා සත්‍ය ප‍්‍රකාශ කළ බව සඳහන් කරමින් වගකීමෙන් නිදහස් කිරීමේ සහතිකයක් ලබා ගැනීමට අයිතියක් ඇති අතර, එවැනි සහතිකයක් ඔහුට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට බාධකයක් විය යුතුය. 
මෙම ආඥා පනත යටතේ වරදක් සඳහා චෝදනා කර ඇති යම් කිසි තැනැත්තකු ඔහු සුදුසු යැයි සිතන්නේ නම්, ඔහු වෙනුවෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත් වීමට හැකි අතර, අනෙක් සාක්‍ෂිකරුවන් හා සමාන වී ඒ ආකාරයට සාක්‍ෂි දීමට හැකිය. 
මෙම ආඥා පනත යටතේ ඇති සියලුම වැරදි සංඥය වැරදි වන අතර, අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ පරිදි ඇප දිය හැකි වැරදි වන අතර, එම පනතේ අන්‍යාකාරයෙන් පටහැනිව කුමක් සඳහන් වුවද, මහේස්ත‍්‍රාත්වරයාගේ ලඝු නඩු විභාගයකින් සූදු ආඥා පනතේ සඳහන් දඬුවම් නියම කළ යුතුය. 

මෙම ආඥා පනත යටතේ මුදලට හෝ මුදලට නොවන ක‍්‍රීඩා කරන බිලියඩ් හෝ බිලියඩ් හා සමාන බැගටෙල් හෝ ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් යොදා නොගෙන ක‍්‍රීඩා කරන, මළල ක‍්‍රීඩා වැරදි වශයෙන් කියවා තේරුම් නොගත යුතුය. 

මෙම ආඥා පනත යටතේ මහේස්ත‍්‍රාත්වරයා විසින් පනවන ලද යම් කිසි දඩයක් හෝ කොටසක් ඔත්තුකරුවකුට හෝ ඔත්තුකරුවන්ට දීමට අමාත්‍යවරයාට නියම කළ හැකිය. 
මෙම ආඥා පනත බලය යටතේ අපරාධමය නඩුවක්, නීතිපතිවරයාගේ කළින් ලබා ගත් අවසරයක් මත හැර මෙම පනත යටතේ කරනු ලබන වරදක් සඳහා නඩු පැවරීමක් නොකළ යුතුය.
මෙම ආඥා පනතේ විධි විධාන යටතේ ප‍්‍රකාශිතවම ද්වේශ සහගත ලෙස යම් ක‍්‍රියාවක් කළ බව ඔප්පු නොකරන්නේ නම්, යම්කිසි ක‍්‍රියාවක් සඳහා සිවිල් අධිකරණයක දී වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරිය නොහැකිය. 
සූදු වැළැක්වීම සඳහා නීතිය යටතේ පනවන ලද රීති හෝ අනාගතයේ සම්මත කරනු ලබන ප‍්‍රඥප්ති මෙම පනතේ විධිවිධාන හා ගැටීමේ දී බලය ඉක්මවා ගිය ලෙස නොසැලකිය යුතුය. 
මෙම පනතේ විධිවිධාන, නගර සභාවක් හෝ ටවුන් කවුන්සිලයක්, කිසියම් විශේෂ බලපත‍්‍රයක් සහිත හිමිකාරත්වයක් ඇති සමාජ ශාලාවක සූදු නොකරන තාක් කල් හෝ බලපත‍්‍ර සහිත හෝටලයක් ලෙස දැනට ක‍්‍රියාත්මක වන යම් කිසි පනතක් යටතේ නිත්‍යනුකූල ලියාපදිංචි කර ඇති හෝටලයක් එම බලපත්‍රය වලංගුව පවත්නා තාක් කල් මෙම පනත අදාළ නොවන්නේය.
කෙසේ වෙතත්, බලපත‍්‍ර ඇති එවැනි හෝටලයක එම හෝටලය පවත්වාගෙන යන අයගේ දැනීම ඇතිව හෝ නොමැතිව අනවසර සූදු ක‍්‍රීඩා පවත්වාගෙන යන බවට එම හෝටලය පිහිටි පරිපාලන දිස්ත‍්‍රික්කයේ රජයේ දිසාපතිවරයාට ලැබුණු තොරතුරක් මත එය නිසි ලෙස විමසා එම තොරතුර සත්‍ය බවට සෑහීමකට පත් වීමේ දී එම හෝටලයේ බලපත‍්‍රය අහෝසි කිරීම නීත්‍යානුකූලය. ගැසට් පත‍්‍රයේ එම අහෝසි කිරීම පළ කිරීමෙන් පසුව එම අහෝසි කිරීම කළා සේ සැලකේ. 
කිසිම තැනැත්තකු විසින් හෝටලයක, රෙස්ට් හවුස් හෝ සමාජ ශාලාවක දී ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් උපයෝගී කර ගනිමින් වාසනාව උරගා බලන හෝ වාසනාව හා දක්‍ෂකම් මිශ‍්‍ර උරගා බැලීමේ සූදු ක‍්‍රීඩාවන් නොකළ යුතු අතර, යම් කිසි තැනැත්තකු මෙම විධිවිධාන උල්ලංඝණය කිරීමේ දී, වරදකට වරදකරුවකු වන අතර, රුපියල් 500/-ට නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට ද යටත්ය. 

මෙම ආඥා පනතේ අරමුණු සඳහා මුදලට හෝ නොමැතිව හෝ පෞද්ගලිකව හෝ ප‍්‍රසිද්ධියේ පවත්වාගෙන යන කුකුළු පොර, යම් කිසි අඩි පාරක, වීදියක, පාරක හෝ පොදු ජනතාව ගැවසෙන පොදු ස්ථානයක අයිතියක් ඇතිව හෝ නොමැතිව මුදලට ඔට්ටු ඇල්ලීම හෝ සූදු ක‍්‍රීඩා කරන, අරක්කු, රම් හෝ රා හෝ වෙනත් මත්වන මත්ද්‍රව්‍ය පෙරීමට, නිෂ්පාදනය කිරීමට, විකිණීමට හෝ සන්තකයේ තබා ගැනීමට බලපත‍්‍ර ලැබී ඇති ස්ථානයක, මුදලට ඔට්ටු ඇල්ලීම හෝ සූදු කිරීමේ දී, ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් යොදා ගනිමින් මුදලට හෝ මුදලට නොවන වාසනාව උරගා බැලීමේ හෝ වාසනාව සහ දක්‍ෂකම් මිශ‍්‍ර උරගා බලන සූදු ක‍්‍රීඩාවන්ය.
පොදු සූදු ක‍්‍රීඩා කරන ස්ථානයක් යනු, ගෙයක්, කාර්යාලයක් හෝ ගොඩනැගිල්ලකි. විවෘත හෝ වසා ඇති ස්ථානයක් හෝ යම් කිසි නැවක්, බෝට්ටුවක් හෝ වෙනත් පදින හෝ නොපදින ඔරුවක් සහ ඕනෑම වාහනයක් මින් අදහස් වේ. 
ප‍්‍රසිද්ධ සූදු ක‍්‍රීඩා කරන ස්ථානයක් යනු, මුදලක් ගෙවා හෝ නැතිව පොදු ජනතාවට ඇතුළු විය හැකි ඔට්ටු හෝ මුදලට පවත්වාගෙන යන සූදු පොළක්, ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම් කරන ලද උපකරණයක් හෝ මෙවලමක් යොදා ගනිමින් මුදලට හෝ නොවන, වාසනාව උරගා බැලීමේ හෝ වාසනාව සහ දක්‍ෂකම් මිශ‍්‍ර වාසනාව සඳහා එක්වරක් පමණක් හෝ සූදු ක‍්‍රීඩාවට යොදා ගත් ස්ථානයක් මින් අදහස් වේ.
සූදු ක‍්‍රීඩා කරන උපකරණ හෝ මෙවලම් යනු, කඩදාසි කූට්ටම (බූරු), දාදු සෙල්ලම්, කවුන්ටර්ස්, ටේබල්ස්, බෝඩ්ස් වාසනාව උරගා බලන හෝ වාසනාව සහ දක්‍ෂකම් මිශ‍්‍ර වාසනාව උරගා බලන ඔට්ටු සඳහා සූදු ක‍්‍රීඩා කිරීමට පාවිච්චි කරන වෙනත් උපකරණ වේ. 

කෙසේ වෙතත්, මෙම ආඥා පනත යටතේ ඔට්ටු ඇල්ලීම හා සූදු ක‍්‍රීඩාව නීතියෙන් වරදක් වුව ද, ශ‍්‍රී ලංකාවේ බුකීකරුවන්ගේ ව්‍යාපාරය සහ සූදු ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා 1988 අංක 40 දරන පනත මගින් බදු මුදලක් අයකර ගැනීම සඳහා නීති පනවා ඇත.

මෙම පනත ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත යනුවෙන් හැඳින්වේ. 
මෙම පනත මගින් කැසිනෝ ව්‍යාපාර නීතිගත කර ඇත. කෙසේ වෙතත්, නීතියෙන් තහනම් කළ ව්‍යාපාර මෙම පනත යටතේ පවත්වාගෙන යාම වරදකි. මෙම පනත 2001 අංක 07, 2002 අංක 12, 2003 අංක 23, 2005 අංක 09, 2005 අංක 12, 2006 අංක 14 , 2013 අංක 19 හා අවසාන වශයෙන් 2015 අංක 14 යන පනත් මගින් සංශෝධනය කර ඇත. 
මෙම පනත මගින් වර්ෂයක් පාසා බදු මුදල ප‍්‍රමාණය වැඩි කර ඇති අතර, එම මුදල නොගෙවීම වරදකට වරදකරුවකු වන අතර, රුපියල් මිලියන 10කට වැඩි දඩ මුදලක් හෝ මාස 06කට නොවැඩි කාලයක් සඳහා දෙආකාරයෙන් හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුය. 

එමෙන්ම, කැසිනෝ ව්‍යාපාරයක් පවත්නා සමාජ ශාලාවකට ඇතුළු වීමේ දී ඩොලර් 100ක් හෝ ඊට සමාන මුදලක් ශ‍්‍රී ලංකාවේ මුදලින් ගෙවිය යුතුය. 
මෙම පනතේ සූදු ව්‍යාපාරය වශයෙන් සඳහන් කර ඇත්තේ බකාරා, පුන්ටෝ, බැංකෝ, බියෝසිකස්, බ්ලැක් ජැක්, බුවලේ, ඩෙමින්ඩිපර්, එක්අලක්, ක‍්‍රවුන් ඇන්ඩ් ඇන්කර්, පාරෝ, පාරෝ බැන්ක්, හඩාඩ් ජෝකර් ඩයිස්, පොන්ටුන්, අමෙරිකානු හෝ ප‍්‍රංශ රැලේ, ටෙ‍්‍රන්ටේ එඩ් ක්වොරන්ට්, විගේ එච් උම, විල්ඔෆ් ෆෝචූන් වේ.