හෙරොයින් ජාවාරම මූලික කොටගත් නරුම පාතාල කල්ලි ගණනාවකි. මේ අතුරින් ප්‍රධාන පෙළේ කල්ලි දුසිම් දෙකක් පමණය. තවත් අනු කල්ලි පනහක් පමණ සිටින බව කියැවේ. මෙම පාතාල කල්ලි අතුරින් රැසක්ම කොළඹ හා අවට නගර ආශ්‍රිතව ක්‍රියාත්මකය. කොළඹින් පිට දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රබල කල්ලි දෙක තුනකි. කොතැනක කෙසේ ක්‍රියාත්මක වුවද අනු කල්ලි සියල්ල පාහේ ප්‍රබලතම පාතාල නායකයන්ගේ අණසකට ක්‍රියාත්මකය.
කොළඹ හා අවට ගැවසෙන පාතාල කණ්ඩායම් මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, කොලොන්නාව, අංගොඩ, කඩුවෙල, නවගමුව, රණාල, හංවැල්ල යන කැලණි ගඟ මිටියාවත ආශ්‍රිතව ක්‍රියාත්මකය. මීට අමතරව රත්මලාන හා මොරටුව ආශ්‍රිතවද ක්‍රියාත්මක පාතාල කල්ලි පවතී. මෙම කල්ලි කණ්ඩායම් සියල්ල පාහේ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කොටගෙන නීති විරෝධී ක්‍රම ඔස්සේ මුදල් උපයමින් නැවත නැවතත් එම ක්‍රියාවලම නිරත වන්නෝ වෙති.
මේ ආකාරයේ නම් දැරෑ පාතාලයේ කල්ලි කණ්ඩායම් ගණනාවක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතී. මාලිගාවත්ත, ආමර්වීදිය, කොටහේන, වැල්ලම්පිටිය, පෑලියගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට මායිම්ව පිහිටි ප්‍රදේශය තුළ අපරාධ රුසකට සම්බන්ධ කල්ලි ගණනාවක් හඳුනාගෙන තිබේ. එම සියල්ල මහජන සාමයට හා නීතියට තර්ජනයක් වෙමින් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධය. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ආශ්‍රිතව ක්‍රියාත්මක ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දස දෙනකු ස්ථීර ලෙස හඳුනා ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සමත්ව සිටියි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුළ පදිංචිව සිට පාතාල ක්‍රියාකාරකම්වල නිරත වන තෝල්ක මුදියන්සේලාගේ චාමර සම්පත් රොද්‍රිගෝ නොහොත් මහවත්තේ චාමර ඇන්ඩ_ගේ වත්තේ චාමර ජයසිංහ ආරච්චිගේ ශාන්ත කුමාර නොහොත් ගොනා ශාන්ත ඇන්ටනී ටිරෝන් විල්ලවරායර්, පරණවිතාන සමරනායකම් සුජීව, රන්තොම්බුගේ සමිත් චාමර නොහොත් ආමි සම්පත්, රණසිංහ ආරච්චිලාගේ සංඛ ශීරන්ත නොහොත් &බ්ලූමැන්ඩල් සංඛ* උඩුවර ආරච්චිගේ ප්‍රභාත් සුදර්ශන හෙවත් පොඩි උණා සෙල්වරාජ් ධනේෂන්, බමුණුආරච්චිගේ දුමින්ද නොහොත් මොහොමඩ් ෂල්මාන් මොහොමඩ් රිල්වාන්* බමුණු ආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්චාන් යන පිරිස මෙසේ නිවැරදිව හඳුනාගෙන සිටිති.
මෙරට සමාජයට රටේ නීතියට සහ මහජන සාමයට තර්ජනයක් ඇති කරමින් හෙරොයින් ජාවාරම සමග සංවිධානාත්මක අපරාධ සිදුකරන මෙම පාතාල නායකයන් දසදෙනා සතු වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. ඒ අනුව අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කොට ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ජනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා පවසයි.
කොළඹ උතුර ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය මූලික කොටගෙන ක්‍රියාත්මක වන මෙම පාතාල කල්ලි සාමාජිකයන් සියලුදෙනා පසුගියදා මරණයට පත්වූ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වූ මාකඳුරේ මධූෂ් මෙන්ම දැනට බන්ධනාගාරගතව සිටින ඛංජිපානි ඉම්රාන් හා දෙමටගොඩ චමින්ද පාතාල නායකයන්ගේ අනුගාමිකයෝ වෙති. මොවුන් විරුද්ධ පාතාල කල්ලිවලට එරෙහිව අවි අමෝරමින් තැන නොතැන නොබලා මිනිස් ඝාතන සිදුකරමින් කුඩු ජාවාරම සිදුකිරීම සඳහා පාතාල බලය යොදවමින් සිටිති. මේ සියල්ල ලංකාවේ නමගිය ප්‍රධාන පෙළේ පාතාල නායකයන්ගේ අණසකට යටත්වය.
හඳුනාගෙන සිටින සැකකාර පාතාලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක, බැංකු ගිණුම් අංක හා ඥාතීන්ගේ තොරතුරු අනුව අවශ්‍ය තොරතුරු සෙවීම ආරම්භ කොට ඇත. මේ අනුව 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (සංශෝධිත) 2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම පාතාලයන්ගේ වත්කම් සෙවීම සිදුවේ.
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශය හෙරොයින් ජාවාරමේ තෝතැන්නකි. එහි ඉතිහාසය වසර ගණනාවක් ඈතට පවතී. දැනට මහවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන්නේ චාමරගේ වුවමනාවටය. ඔහු හෙරොයින් හා කේරල ගංජා ජාවාරමෙන් හොඳහැටි ආදායම් උපයයි. මොහු යටතේ ක්‍රියාත්මක ගෝලබාලයන් රැසකි. ඔවුන් හරහා චාමර ජාවාරම ජයටම මෙහෙයවයි. ගොනා ශාන්ත නැමැත්තා 31 හැවිරිදිය. මොහු ගිය වසරේ දිනක මහවත්ත සුසාන භූමියේ සිටියදී පොලීසියට කොටුවී තිබුණේ ජීව අත්බෝම්බයක්ද සමඟය. මොහු පුද්ගලයන් තිදෙනකුට මන්නාවලින් කොටා පොලුවලින් පහරදීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය සැකකරුවෙකි.
කොළඹ අධිකරණ සංකීර්ණයෙන් පිටත්වූ බන්ධනාගාර බස් රථයකට මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලකොට තිබුණේ වසර කිහිපයකට ඉහතදීය. ඒ දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයා හා භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුවන් රැගත් බස් රථය ඉලක්ක කොටගෙනය. විමර්ශනවලදී අනාවරණය වූයේ ප්‍රහාරය ආමි සම්පත් විසින් මෙහෙයවා ඇති බවය.
බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා පාතාලයේ ගනුදෙනු කරමින් දේශපාලන සබඳතා පවත්වන අයෙකි. සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින ඔහු කළුබෝලේ නැමැති පාතාල සාමාජිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.
මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ඝාතන හා අපරාධවලට සම්බන්ධ පාතාලයන් සිය ගණනකි. බරපතළ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් ගණන 214ක්ද මත්ද්‍රව්‍ය හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් ගණන 40ක් ලෙසද වාර්තාවේ. මේ ආකාරයේ පාතාලයන් 129 දෙනකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත්කර ඇත. ඔවුන් සියලුදෙනා හොරොයින් ජාවාරම, මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුකර රටින් පලාගිය පිරිස්ය.
සමන්ත ප්‍රදීප් විල්තෙර