2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙරෙන වැඩක්ද?

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

මේ මොහොතේ ශ්‍රී ලාංකික සමාජ දේශපාලනිකව දරා සිටින බලාපොරොත්තු අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තු සුවිශේෂීය. ඊට හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සම්බන්ධව නිල ක්‍රියාවලියක්ද මේ මොහොතේ සිදුවෙමින් පැවතීමයි. කෙසේ නමුත් අතීත අත්දැකීම් පෙරදැරිව කල්පනා කරන බොහෝ දෙනෙක් මෙම ක්‍රියාවලියේ සැබෑ ප්‍රතිඵල සම්බන්ධව යම් අවිනිශ්චිත බවකින්ද පසුවෙන බව කිවයුතුමය. එවන් පසුබිමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පූර්ව විද්වත් සංවාදයක් ඇතිකර ගැනීමට අපි උත්සාහ දැරුවෙමු.

විසඳා ගතයුතු ගැටලු තිබෙනවා

මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය සම්බන්ධව මෙරට සිටින ප්‍රාමාණික බුද්ධිමතෙකි. එම නිසාම ඔහු සමඟ මෙම සංවාදය අපි ඇරඹුවෙමු.
වර්තමාන දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වූයේ හයෙන් පහක බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හරහා. රට ඒ අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ගැලපෙන බව හිතලා තමයි වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එදා නිර්මාණය වුණේ. සංශෝධන විස්සක් එක්ක මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ සංශෝධන අධිකරණ තලයේදී ව්‍යවස්ථාවේ දුර්වලතා පැන නගිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමබරතාවය සම්බන්ධ ගැටලු තමා ඊට හේතු වුණේ.

ප්‍රතිභා මහානාම මහතාගේ පැහැදිලි කිරීමට අනුව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට නොගැලපීමට කරුණු කිහිපයක් හේතු වී තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය සහ ඊට අනුකූලව ඇති කරුණු කිසිසේත්ම වර්තමානයට නොගැලපෙන බව ඔහු පෙන්වා දෙයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සමානුපාතික මැතිවරණ ක්‍රමයද කිසිසේත්ම රටට නොගැලපෙයි. ඊට අමතරව අධිකරණයේ ස්වාධීන බව සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අදට ගැලපෙන ලෙස සවිබල ගැන්වීමේ අවශ්‍යතාවක් පවතී. පනත් සමාලෝචනය කිරීම සම්බන්ධවද ඇත්තේ ගැටලු සහගත තත්ත්වයකි. තවත් පසකින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව විසඳාගත යුතු ප්‍රමුඛ ගැටලු රට හමුවේ තිබේ. මෙම සියලු කරුණු හේතුකොට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැන නගින බව ප්‍රතිභා මහනාම මහතා පෙන්වා දෙයි.

ව්‍යවස්ථාව වෙනස් කළ පමණින් ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නෑ

මේ සම්බන්ධව සාකච්ඡාවට ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතාවද අපි සම්බන්ධ කර ගතිමු. මෙරටට අවශ්‍ය වන්නේ කවරාකරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳ ඔහු සිය අදහස් එකතු කරයි.
නීතියේ ආධිපත්‍යයට ගරුකරන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන පුරවැසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට ගැලපෙනවා. මෙතැනදී වඩා සාක්ෂාත් විය යුත්තේ පුරවැසි අයිතිවාසිකම් වීම කියන කරුණ. එසේම බලය තනි ආයතනයක් මත කේන්ද්‍රගත නොවුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට වැදගත් වෙනවා.

මෙහිදී සාලිය පීරිස් මහතා මතුකරන සුවිශේෂී කරුණක් වෙයි. රටේ සියලුම ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතම පමණක් පදනම් නොවන බව ඔහු පෙන්වා දෙයි. පුරවැසියන්ගේ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නන්ගේද ආකල්ප ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. එම නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පමණක් රටක සියලු ප්‍රශ්න විසඳේයැයි බලාපොරොත්තු නොවිය යුතු බව ඔහු පැහැදිලි කරයි.
මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ඇති සංවාද පිළිබඳවද මෙහිදී අදහස් මතුකරයි. 

මේක එක දවසකින් එක රුයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා පුළුල් සංවාදයක් ඇතිකර ගත යුතුයි. තවමත් මෙම ක්‍රියාවලියට යෝජනා ලබා දෙන්නේ ඉතා සුළු පිරිසක්. මහජන නියෝජිතයන් මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙම සිදු නොවුණහොත් 1978 වගේම තත්ත්වයක් ඇතිවෙනවා. 1997දී 2000දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට දරපු උත්සාහයන් ව්‍යර්ථ වුණා. සමහර ඒවා ජනතා පුත්‍රයෝ ගිනි තියලා විනාශ කළා.
එම නිසාවෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශාල පුරවැසි සහභාගීත්වය සහිත බුද්ධිමය සංවාදයක් ඔස්සේ සිදුවිය යුතු බව මහානාම මහතා පෙන්වා දෙයි. මේ අතර සාලිය පීරිස් මහතාද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වඩාත් පුළුල් කළයුතු බව අවධාරණය කරයි. එසේම ප්‍රතිවිරුද්ධ මත එක තැනකට ගෙන එමින් එකඟතා ගොඩනැගිය යුතු බවද ඔහු පෙන්වා පෙන්වා දෙයි.
මේ අතර ආණ්ඩුක්‍රම ආකෘතිය සම්බන්ධව නිශ්චිත අදහසක් දැක්විය නොහැකි බව සාලිය පිරිස් මහතා පවසයි. ඒ අනුව පවසන්නේ එය පුළුල් සංවාදයකින් අනතුරුව ජාතික මට්ටමෙන් යෝජනා විය යුතු බවයි. කෙසේ නමුත් ප්‍රතිභා මහානාම මහතා මේ සම්බන්ධව දීර්ඝව පැහැදිලි කරයි.

ආකෘතිය සම්බන්ධව විශ්ලේෂණාත්මක බැලුවොත් මත කිහිපයක් තිබෙනවා. දැන් සුළු පක්ෂත් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ වන බවක් පේන්න තිබෙනවා. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනකොට පාර්ලිමේන්තුවේ හිටපු සුළු පක්ෂ සැලකිය යුතු ප්‍රමාණයක් ඊට පක්ෂ වීම හරහා අපිට එය පේනවා. ඒ අනුව පාර්ලිමේන්තුව හරහා අපිට පෙන්නනවා විධායකය ප්‍රමුඛ කරගත් ආණ්ඩුක්‍රමයකට තමා යන්නේ. කෙසේ වුණත් මම දකින දෙයක් තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධව සෘජු තීන්දු ගැනීමේ හැකියාවත් මෙතැනදී වැදගත්.

ඔහු පෙන්වා දෙන ආකාරයට මේ සම්බන්ධවද විශාල සංවාදයක් අවැසිය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවද ශක්තිමත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරටට වඩාත් සුදුසු බව ප්‍රතිභා මහානාම මහතා පෙන්වා දෙයි.

 චමිඳු