2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

මුහුණු පොතේ කොවිඩ් විහිලු

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

කොවිඩ් වෛරසයේ වර්ධනයත් සමඟ මේ දිනවල වෛරසය සම්බන්ධයෙන්  ජනමනස තුළ ඇති වී ඇති ව්‍යාකූලතා බොහෝය. ඇතැම් අය සිය මතය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ කරති. සමහර අය ආණ්ඩුව අගය කරති. තවත් අය ආණ්ඩුව විවේචනය හෝ අගයා දෙයක් කීමට අකමැත්තෙන් සිටිති. ඔවුන් ස්වාධීන යැයි කීමට උත්සාහ කළත් සැබවින්ම ඔවුන් එවැනි ස්වාධීනකමක් නැත. මීටත් අමතර ජනතාව දැනුවත් කරමින් වෛරසයට වෛද්‍ය උපදෙස් ලබාදෙන්නෝද එමටය. මේ සියල්ල අප සමාජයේ ජීවත් වන අය අතර ඒ සියලු දෙනා එක මිටට එක තැනින් බලාගත හැකි එකම තැන මුහුණු පොත (Face book) බව අමුතුවෙන් කිවයුතු නැත. ඉහත කී සියල්ලෝම එහි ඉන්නා අතර සැබවින්ම ජනමනස කියවා ගත හැකි හොඳම තැනක් ලෙස මුහුණු පොත නම් කළ හැක.

කෙසේ වෙතත් මේ දිනවල වැඩියෙන්ම මුහුණු පොතේ ජීවත් වන්නේ, අදහස් දක්වන්නේ, ආණ්ඩුවට විවේචනය කරන පිරිස්ය. එහි විශේෂත්වයක් වන්නේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අදාළ විවේචන සිදුවන නිසාය. හේතුව නම් කොවිඩ් වසංගතය මෙතරම් දුරක් යනු ඇතැයි කවුරුත් නොසිතීමය. ඒ නිසාම මේ දිනවල මුහුණු පොතේ බහුතරයකගේ සටන් පාඨය වන්නේ වෙඩින් එකට මිනිස්සු 50 යි. බස් එකේ මිනිස්සු 60 යි යන්නය. එනම් මිනිස්සු සංසන්දනය කරමින් පෙන්වන්නේ සැබැවින්ම හැමතැනකටම නීතිය එකදැයි ප්‍රශ්න කිරීමේ අරමුණ ඇතිවය.

කෙසේ වෙතත් මුහුණු පොත හරහා මේ කොවිඩ් වසංගතයේ යම් යම් දත්ත අනුව මිනිස්සුන්ගේ ප්‍රතිචාර වෙනස්වන ආකාරය එහි වෙසෙන ඕනෑම කෙනෙකුට දැක ගැනීමට හැක. විශේෂයෙන් මේ දිනවල බොහෝ ෆේස්බුක් ක්‍රියාකරුවන් කතා කරන්නේ නිරෝධායනය නීතිය, බලය ඇති අයටත් නැති අයටත් ක්‍රියාත්මක වන ආකාරය ගැනය. බොහෝ අයට මේ සම්බන්ධයෙන් ඇත්තේ ඊට එරෙහි මතවාදයකි. එනම් ඇතැම් ස්ථාන වල ඡායාරෑප, වීඩියෝ පළකරමින් ඔවුහු නීතියේ සාධාරණත්වය තරාදියේ දමා ප්‍රශ්න කරති. විශේෂයෙන් ඇති බලය ඇති අයට වෙනම නීතියකුත් නැති අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම ගැන බොහෝ අයට ඇත්තේ මැසිවිල්ලෙකි. චෝදනාවකි.

මීට අමතර පසුගියදා ලොකුම මාතෘකාව වූයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩබැලීම මහාචාර්ය චන්න ජයසුමන මහතාට ලබාදීම ගැනය. එනම් වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිටියදී ඔහුට ලබාදීම ගැන හැමදෙනාගේම ඇත්තේ විවේචනයකි. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ මහාචාර්යවරයා විසින් සුදර්ශනී පැණිය වැනි දෑ ජනතාවට පානය කරන්න යැයි කී බවය. එහෙත් සුදර්ශනී මහත්මිය මුලසිටම කිසිවක් පානය කරන්න එපා යැයි කීම ගැන ඇය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් ගොඩනැගී තිබේ. මේ නිසා ඒ පත්වීම ගැන විවේචන බොහෝය.

විශේෂයෙන් පසුගිය දිනෙක ලංකාවේ දිනක කොවිඩ් මරණ ගණන 13 දක්වා ඉහළ යෑම ගැන බොහෝදෙනා සිටියේ තිගැස්සීය. එනම් බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදයත් සමඟ මෙකී මරණවල ඉහළ යෑමක් දකින්නට හැකි වී ඇති බව බොහෝදෙනා සිතූහ. ඒ ගැන අදහස් පළ කළෝය. අතීතය මතක් කළේය. එහිදී සඳහන් කළ ෆේස්බුක් පෝස්ටුවක් මෙසේ සඳහන් කරන්නෙමි.

උඹලට මතකද මේ රටේ පළවෙනි ලෙඩා හම්බවුණ වෙලාවේ බ්‍රේකින් නිව්ස් ගියා, දෙක තුන වගේ යද්දීත් එහෙම වුණා. පළවෙනි මරණයට අපි බයවුණා. ගෙදර ගෙනාපු කෑම බීම හෝදලා ගත්තේ. අද ලෙඩ්ඩු 70,000කට එහා, අද මරණ 400කට එහා. අද දවසේ මරණ දහතුනයි. කෝ අද බ්‍රේකින් නිව්ස් කෝ අද ඒ බය. නෑ නේද?

යනුවෙන් එහි සඳහන් වී තිබුණේය. එය ගැන සිතන විට ඇත්තය. අපිට දැන් බයක් නැත. බරපතළ කමක් නැත. අඩුම තරමේ ඒ ගැන වගේ වගක් නැත. ඒ නිසා මේ සියල්ල අතීතය නැවත ආවර්ජනය කරන්නට එක් පැත්තකින් මුහුණු පොතද මරු තැනක් බව කිව යුතුය.

මේ අතර ඇතැම් අය කොවිඩ් වෛරසය වෙනුවෙන් රජය ගෙනයන වැඩකටයුතු ගැන ස්තූති පූර්වක කතා ලියති. එනම් මේ සියලු බාධක මැද රජය ජනතාවටත් කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කිරීම ගැන විශාල ලිපි දකින්නට ඇත. ඒ අය පවසන්නේ පැණිය අහක දමා මෙසේ හෝ වැක්සින් ලබාදීමට රජය කටයුතු කිරීම ඉතා වටිනා වැඩක් ලෙසය. මේ හරහා ජීවිත ගණනාවක් බේරා ගැනීමේ හැකියාව ගැන ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව දේශපාලකයන්ගේ දේශපාලන කතා අල්ලා ගනිමින් දෙපැත්ත බෙදී මඩ ගසාගන්නෝද සිටිති. වෛද්‍ය විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා සමහරු මේ වැක්සිනය හොඳ නෑ බව පවසමින් දේශපාලන කතා කියති. අඩුම තරමේ විදගෙන තබා ඇහැටවත් දැකලා නැති වැක්සිනයක් ගැන මෙලෙස අදහස් ලියන්නේ ආණ්ඩු විරෝධී, පදනමක් නැති අයය. කාගේ හෝ දේශපාලන කතා අසාය. මෙයට හොඳම පහරක් ලෙස මුහුණු පොතේ විඩීයෝ පටයක්ද තිබුණේය. එනම් අතුරලියේ රතන හිමියන් වැක්සීනය ලබා නොගන්නා බවත් තමන් වෛරසයට බිය නැති බවත් පවසන වීඩියෝ පටයකුත් ඊටපසුව පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට වැක්සීන් විදින අවස්ථාවේ ඒ හිමියන්ද ගොස් එන්නත ලබාගත් බවත් සඳහන් කරමින් සංසරණය වන වීඩියෝ පවසයි. එය දුටු බොහෝදෙනා ඒ ගැන දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඇතැම් ඒවා ලියන්නට බැරි තරම්ය.

මේ අතර තවත් පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැක්සිනය ලබා ගැනීම ගැන විවේචන ඉදිරිපත් කර ඇත. එනම් ජනතාවට ලබානොදී ජනතාව සමඟ නැති පිරිසකට ලබාදුන්නේ ඇයිද යන්න ප්‍රශ්න කරති. එසේම ඊටත් වඩා විවේචනය වන්නේ වැක්සීනය ලබාගැනීමට අකමැති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඊට එරෙහිව සඳහන් වූ පෝස්ට් දෙකක් මෙලෙස පහත සඳහන් කරමි.

මිනිස්සුන්ට විදිනකල් බලාගෙන ඉඳලා වැඩේ අවුලක් නැත්නම් විදගන්න තමයි උන්දැලා බලාගෙන ඉන්නේ.

වැක්සින් එක එපා කියන අයට ඇයි බැරි වාහන පර්මිට් එකත් එපා කියන්න.

වැනි චෝදනා එල්ලකර ඇත. ඒවා දකින විට සිනහා යන අතර ඇතැම් ඒවා නිර්මාණාත්මකය. එනම් ෆොටෝෂොප් හරහා නිර්මාණය කරන ලද ධමිමික වෙද මහතාගේ ඡායාරෑපයක්ද දැක ගැනීමට තිබුණි. ඒ වැක්සීනය විදගන්නා එකකි. එයට වැටී තිබූ බැණුම් කෝටියකි. කෙසේ වෙතත් එය ව්‍යාජව නිර්මාණය කළ එකක් බව පසුව දැනගන්නට හැකි විය.

ඒ නිසා මේ මුහුණු පොත යනු ජනතා අදහස් මතවාද දැකීමට හැකි හොඳම තැනකි. අවදානම, වෛද්‍ය උපදෙස් පවා ලබාදෙන්නෝ සිටිති. මේ සියල්ල සිදුකරන්නේ නොමිලේය. එහෙත් ඒ සියල්ල හොඳ යැයි අප කියන්නේ නැත. ඒවා හොඳ යැයි සිතන බවත් කියන්නේද නැත. එහෙත් එවැනි අවකාශයක එවැනි දේ බෙදාගැනීමට තරම් ඇතැම් වෛද්‍යවරුන් කාරුණිකය. ඒ නිසා අමතක වී යන කොවිඩ් ගොඩක් අයට මතක් වෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහාය. එහෙත් එයද තත්ත්පරෙන් අමතකය. ඒ නිසා අපට කියන්නට ඇත්තේ 75,000 ඉක්මවූ ලෙඩුන් සිටින මරණ 430කට එහා ඇති මේ කොවිඩ් වෛරසය ගැන පොඩි හෝ මතකයක් නැවත ඉස්මතු කරන එකම තැන මුහුණු පොත පමණි. සංවාද මතවාද සියල්ල සිදුකරන්නේ මේ සියල්ල ඔබට මතක් කරදීම සඳහාය.

I ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03