බෞද්ධ සාහිත්‍යයෙහි එන සීවලී මහරහතන් වහන්සේගේ චරිතයේ නතර නොවී ලැබුණු දන්වැට සිතුවම් කිරීමට මහා චිත්‍ර ශිල්පී සාර්ලිස් මාස්ටර් උපයෝගී කර ගත්තේ පාත්‍රය තුළට අත දමා වළඳන ආකාරය දැක්වීමට බව කවියකු හා උප ඇමතිවරයකු සිටි සෝමවීර චන්ද්‍රසිරි කියා තිබුණි. මේ චිත්‍රය කොතරම් අලෙවි වූයේද යත් 1903දී ජේ.ඩී. ප්‍රනාන්දු ප්‍රකාශක මහතා විසින් එය ජර්මනියට යවා මුද්‍රණය කරන ලද අතර එය බහුතර සංඛ්‍යාවක් පුරා පැතිර ගිය, හැම බොදු ගෙදරකටම එතෙක් තිබූ ඉංග්‍රීසි රජ්ජුරුවන්ගේ හා වික්ටෝරියා බිසවුන්ගේ ඡායාරූප කුස්සියට යවමින් බිත්ති සැරසීමට යොදාගන්නා ලදී. ඉන්පසු දේවාරාධනය, මහාභිනිෂ්ක්‍රමණය, කේශ ධාතු කැපීම, සිද්ධාර්ථ කුමරෝත්පත්තිය, සූවිසි විවරණය ආදී සාර්ලිස් මාස්ටර්ගේ බෞද්ධ සිතුවම් සිංහල බෞද්ධ ගෙවල් සැරසුවේය.
සාර්ලිස් මාස්ටර් සිත්තරකු පමණක් නොව මූර්ති ශිල්පියකු, කවියකු, ගීත රචකයකු ලෙසද ප්‍රකට බව කියන සෝමවීර චන්ද්‍රසිරි කවියා, තුට්ටු දෙකක මූඩි කැවුමක් තරම් වූ මඳක් උඩුකුරු කොට බැඳුණු කුඩා කොණ්ඩය හා ඔහු හැඳ සිටි සුදු රෙද්දත්, ටුවිඩ් කෝට් එකත් දුටුවන්ට මතක බවද සඳහන් කර තිබුණි.
කුඩා කල ඔහු ඉගෙනීමට ගොස් ඇත්තේ වැලිතර ඤාණතිලක නායක හිමියන් නායකත්වය දැරෑ පන්සලටත් පිරිවෙනටත්ය. සිංහල, පාලි, සංස්කෘත පිරිවෙනින් ඉගෙනගත් ඔහුගේ සිත ගියේ පන්සලේ විහාර කර්මාන්තය දෙසටය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට බැඳී ඉගෙන ගන්නා කාලේ ඔහු මරදානේ ටවර් රඟහල අසලින් යනවිට එහි වේදිකා සැරසිලි භාර දක්‍ෂ චිත්‍ර ශිල්පී රිචඩ් හෙන්රිකස් නාට්‍යවලට අවශ්‍ය රජමාලිගා, උද්‍යාන, රාජසභා දර්ශන අඳින හැටි දැක ඒ දෙස නොතිත් ආසාවෙන් බලා සිටියේය. දෙතුන් දවසක් ඔහු මෙසේ බලා සිටියේය.
ළමයා චිත්‍ර අඳින්න ආසද? දැන් දෙතුන් දොහක් ආව ගියා නේද? දිනක් හෙන්රිකස් ඇසීය.
ඔව් මාස්ටර්, මම චිත්‍ර කර්මාන්තයට ආසයි.
හෙන්රිකස් මාස්ටර්ගේ වැඩවලට අත්උදවු දුන් සාර්ලිස් තරුණයා නොබෝ දිනකින් ඔහුගේ අතවැසියා විය. තම ගෝලයා ලෙස තෝරාගත් මේ තරුණයා, මාස්ටර් විසින් කොළඹ කොස්ගස් හන්දියේ ස්වර්ණ චෛත්‍ය පාරේ (එදා පොල්වත්ත) ජයතිලකාරාම පන්සලට කැඳවා ගෙන ගියේය. ජයතිලකාරාම පන්සලේ චිත්‍ර ඇන්ඳ මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා සාර්ලිස් විය. මාස්ටර් තම දරුවකුට මෙන් තමා සතු දැනුම නිර්ලෝභීව සාර්ලිස්ට ලබාදුන්නේය. ඉන්පසු සාර්ලිස් තනිවම කිරිබත්ගොඩ ඊරියවැටියේ සුනන්ද්‍රාරාමය, තිඹිරිගස්යායේ අසෝකාරාමය, ඉසිපතනාරාමය, ඉඳුරුව කයිකාවල යාලේගම විහාරය, තම්මිට බෝමළුව විහාරය, මහනුවර කටුකැලේ විහාරය, පොතුපිටියේ පූජාරාමය, තිස්සමහාරාමය, මතුගම පාන්තියේ ශ්‍රී මංගල විහාරය, වරකාගොඩ විහාරය, බෝමිරියේ ගණේවත්ත විහාරවල චිත්‍ර කර්මාන්ත කළේය.
ඒ අතරම සාර්ලිස් නමට මාස්ටර් නාමයද එකතු විය. එකල සිටි ග්‍රන්ථ කර්තෘවරුන් වූ පැවිදි ගිහි මහා ලේඛකයන්ගේ ග්‍රන්ථවල පිටකවර හා ඇතුළත බෞද්ධ චිත්‍ර සම්පාදනයට සාර්ලිස් මාස්ටර් නැතිව බැරි විය. ඔහුගේ බෞද්ධ චිත්‍ර ජර්මනියට යවා ලිතෝ තාක්‍ෂණයෙන් මුද්‍රණය කොට වෙසක් සමයේ ඒවා විකිණීමෙන් විලියම් පේද්‍රිස් සමාගමද විශාල ආදායමක් ලබා ඇති බව පැවසේ.
මාලිගාවගේ සාර්ලිස් නම් මේ මහා චිත්‍ර ශිල්පියා 1880 ජුනි මස 25 වැනිදා අම්බලන්ගොඩ ආඳාදොළ දුප්පත් නිවසක උපත ලබා ඇත. ඔහුගේ පියා නන්දිරිස් නක්ෂත්‍රාචාර්යවරයා ගමේ ප්‍රකට චරිතයක් විය. මූර්ති කලාවේ ප්‍රවීණයකු වූ සාර්ලිස් මාස්ටර් බුදු පිළිම නෙලීමේ විශේෂඥයෙක් විය. සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය ගැන චිත්‍ර ශාස්ත්‍රඥ ඇම්. සාර්ලිස් විසින් 1940 ගණන්වල වෙසක් කලාපයකට වටිනා ලිපියක් ලියා තිබුණි.
ඉතා පුරාණයෙහි පටන් අද දක්වා (1940) ලක්දිව චිත්‍ර ශිල්පීන් අතර භාවිතයට පැමිණ තිබෙන සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ගුරු උපදේශත් දැක්වෙන එකම පොත වූ කලී ශාරිපුත්‍රය නමැති ග්‍රන්ථය බව සාර්ලිස් මාස්ටර් කියා තිබුණි. තවදුරටත් ඔහු එය මෙසේ විස්තර කර තිබුණි.
එහි දැක්වෙන පරිදි සමාධි බුද්ධ ප්‍රතිමාවක් සෑදීමෙහිදී පළමුකොට එය වර්ග කර ගන්නා ක්‍රමය සැලැස්මකට අනුව සලකා ගත යුතුය. බුදු පිළිමයක් නියම උස අඟල් 124කි. මුහුණ අඟල් 13 1/2කි. නළල දිග අඟල් 4 1/2කි. නාසිකාවද එපමණකි. නාසිකාවේ සිට නිකට අගටත් එපමණකි. කේශාන්තය අඟල් 3 1/2කි. කර්ණයේ සිට උෂ්නීශයට අඟල් 11කි. උෂ්නීශයේ සිට නළලට අඟල් 10කි. ඇස දිග අඟල් 3කි. බැම අඟල් 5කි. පළල යට 6කි. උඩු ඇසිපිය පළල අඟල් 1කි. මුඛය ගැඹුර යව 4කි. කන්කොටු දිග අඟල් 4කි. පළල 2කි. කන්වැල් දිග අඟල් 6කි. ග්‍රීවයේ මහත මුල අඟල් 9යි හෝ අඟල් 8කි. දිග අඟල් 4කි. උර බාහුවේ සිට වැලමිටට අඟල් 27කි. වැලමිටේ සිට මැණික් කටුවට දිග අඟල් 21කි. අත්නාල පළල අඟල් 6කි. දිග අඟල් 7කි. මැදඟිල්ල දිග අඟල් 6කි. යව 4කි. වෙදැඟිල්ල අඟල් 5 1/2කි. මහපටැඟිල්ල දිග අඟල් 3 1/2කි. පහපටැඟිල්ල දිග අඟල් 3 1/2කි. සුලැඟිල්ල අඟල් 4යි. යව 2කි. ‘යව’ යනුවෙන් දැක්වූයේ අඟලෙන් අටෙන් පංගුවය. දබරුඟිල්ල අඟල් 5 1/2කි. බාහු මූලය පළල අඟල් 9කි. අග අඟල් 7කි. මැණික්කටුව අඟල් 3 1/2කි. දකුණු උරමඬලේ සිට වම් උරමඬලට මුහුණ මෙන් 3කි. දකුණු දණ මඬලේ සිට වම් දණ මඬලේ මුහුණින් 4 1/2කි. පපුවේ සිට පෙකණියට අඟල් 13 1/2කි. පෙකණියේ සිට වස්තියටද එපමණකි. ශ්‍රී පතුල දිග අඟල් 17කි. පළල අඟල් 6කි යන මෙකී ගණන් මිනුම් යනාදිය ගැන නොදැන හෝ නොසලකා හිතූමතයට සම්බුද්ධ ප්‍රතිමා කිරීමෙන් අපේ චිත්‍රකලාව දැන් දැන් බොහෝවිට බහින කලාවට වැටීගෙන එන බැවින් ශාස්ත්‍රානුකූලව ඉතා පරීක්‍ෂාවෙන් කළ යුතු බව ශාසනාලයෙන් මතක් කරමි.
සාර්ලිස් මාස්ටර්ගේ අතින් නිමැවූ බුදු පිළිමයක් සිය නිවසෙහි තබාගත් සිංහල ගෘහපතියෝ එකල ධනවතුන් අතර වූහ. ඔහුට සිංහල බෞද්ධ චිත්‍ර කලාවේ ස්වරෑපය අමුතු මඟකට යොමු කිරීමට මඟ පෑදුණේ හික්කඩුවේ සිරි සුමංගල මහ නා හිමියන්ගේ මෙහෙයවීමෙන් විද්‍යෝදය පිරිවෙණේ විහාර මන්දිරයෙහි නව කර්මාන්ත සඳහා දායක වූ පසු බව පණ්ඩිත ගුණපාල සේනාධීරයන් පවසා තිබුණි.
බුදු පිළිම නෙළීම සහ ප්‍රතිමා නෙළීම සඳහා සාර්ලිස් තරුණයාට උපදෙස් ලැබී ඇත්තේ දොස්තර ගේබ්‍රියල් ගුණවර්ධන මහතාගෙනි. එවකට ජීවත් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල, දොස්තර සී.ඒ. හේවාවිතාරණද, සජීවීව නුදුටු කර්නල් ඕල්කට්තුමා, මියුසිස් හිඟින්ස්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිමාද මාස්ටර් අතින් නිර්මාණය වී තිබේ.
ලංකාවේ නළුවන් යොදා 1925 වර්ෂයේ නිෂ්පාදනය කළ ලංකාවේ ප්‍රථම චිත්‍රපට වූ රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා හි ප්‍රථම කලා අධ්‍යක්‍ෂවරයා වූයේද සාර්ලිස් මාස්ටර්ය. මේ අනුව ලංකාවේ ප්‍රථම චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයා වීමේ ගෞරවය හිමිවන්නේ සාර්ලිස් මාස්ටර්ටය. රජ කතාවක් පසුබිම් කොට තැනූ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ රාජකුමාරයා ලෙස රඟපෑවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටි පසුව දේශපාලනඥයකු වූ ඇන්.ඇම්. පෙරේරා තරුණයාය. මේ චිත්‍රපටයට බම්බලපිටියේ වෙළඳපොළ සහ රේස් පිට්ටනිය අතර විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලක් තුළ සාර්ලිස් මාස්ටර් විසින් වීදි, කැලෑ, ගෙවල්, රාජ මාලිගා ආදිය සහිත පසුතල නිර්මාණ කර ඇත.
මාස්ටර්ගේ සහාය කලා අධ්‍යක්‍ෂවරයා වූයේ පසුකලෙක මහා චිත්‍ර ශිල්පියකු වූ ජී.ඇස් ප්‍රනාන්දුය. එපමණක් නොව ජී.එස්., සාර්ලිස් මාස්ටර්ගේ ප්‍රධානම ගෝලයා විය. මේ නිහඬ චිත්‍රපටය බොම්බායේ ප්‍රදර්ශනය කොට ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබියදී හදිසි අනතුරකින් විනාශ විය. මේ අනුව ලංකාවේ පළමුවන නිහඬ වෘතාන්ත චිත්‍රපටය අපට දැකගැනීමේ අවස්ථාව අහිමි වී ඇත.
සාර්ලිස් මාස්ටර් හාස්‍යයට, විනෝදයට කැමති චරිතයක් බව කියා ඇති සෝමවීර චන්ද්‍රසිරි කවියා එයට නිදසුනක් සපයා ඇත. (උපුටනය 1960 නොවැම්බර් 20 සිළුමිණ)
සාර්ලිස් මාස්ටර්ගේ සීවලී පින්තූරය සමච්චලයට භාජනය කළ එක හාමුදුරුනමක් ඔහු විහාරයේ චිත්‍ර අඳිමින් සිටියදී මෙසේ ඇසූහ.
මොකද මාස්ටර් තමුසෙගෙ සීවලී පින්තුරේ සීවලී හාමුදුරුවෝ නිතරම පාත්‍රයට අත දමාගෙන ඉන්නේ? ඒක මහා කෑදරකමක් නේද? විහිළුවට මෙන් ප්‍රශ්න කළහ.
ඒක නොවෙන්නම් හාමුදුරුවනේ, ඔබවහන්සේ වැඩවසන මේ විහාරෙ සැතපෙන බුදු හාමුදුරුවොත් කොච්චරවත් සැතපිලා ඉන්නේ නිදිමතේ වෙන්න ඇති. මාස්ටර් අහක බලාගෙනම පිළිතුරු දුන්නේය.
සාර්ලිස් මාස්ටර් කොතරම් මහා චිත්‍ර ශාස්ත්‍රඥයෙක් වූවද තම එකම පුතා වූ පසුව ‘ලංකාදීප’ පත්‍රයේ චිත්‍රකතා චිත්‍ර ශිල්පියකු ලෙස රටක් දිනූ චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නට චිත්‍ර ශිල්පය උගන්වා නැත. පුතා ගායකයකු වීමට දක්වන උනන්දුව දැක චිත්‍ර ශිල්පියකුට වඩා උඹ සිංදුකාරයෙක් වෙයන් යැයි පවසා ඇත. එහෙත් සුසිල් තාත්තා අඳින චිත්‍ර කර්මාන්තය ගැන උනන්දු වනු දුටු මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා වූ ජී.එස්. ප්‍රනාන්දු ඒ ගැන මාස්ටර් සමඟ කතා කළේය.
මාස්ටර්, සුසිල් චිත්‍ර කර්මාන්තයට ආසයි.
මම පුතාට ඒ ශාස්ත්‍රෙ උගන්වන්න කැමති නැහැ. උඹට පුළුවන් නම් පුතාට උගන්නපන්.
සුසිල්ට එදා සිට චිත්‍ර ගුරා වූයේ ජී.ඇස් ය.
සුසිල් විසින් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සයිගාල් නම් භාරතීය ගායකයාගේ ගීතයක් මුමුනමින් චිත්‍ර අඳිනු පියා දැක්කේය. පුතා විසින් ගැයූ ඒ ගීයට පියාගේ සිත යොමු විය.
පුතා.... ඒ ගීතයට ආසද? සුසිල් හිස සැලීය.
මම ඒ සින්දුවට සිංහල වචන දාල දෙන්නම් පියා කීවේය.
තම පුතා මිමිනූ සයිගාල්ගේ කූ මතවාරේ සතාරේ අම්බූර් ජුලුම කරේ ගීතයට ශ්‍රී රදනා මනහාරී ධාරී සුන්දර පෝය දිනේ යන සිංහල වචන යොදා මොහොමඩ් ගවුස් මාස්ටර් ලවා සංගීතවත් කොට තැටිගත කිරීමට පියා කටයුතු කළේය. ඒ සුසිල්ගේ ගායන දිවියේ ආරම්භය විය. තම පුතා විසින් ගයන ගුවන් විදුලි ගීත ඇසූ මාස්ටර් වඩාත් සතුටට පත්ව ඇත්තේ සුසිල්, රුක්මණී දේවිය සමඟ සැඟවුණු පිළිතුර චිත්‍රපටයේ ගැයූ ගීත ඇසීමෙන්ලු.
සාර්ලිස් මාස්ටර් ගීත ලිවීමට මෙන්ම කවි ලිවීමටද හිටවන කවි කීමටද හපනෙක්ද විය. සෝමවීර චන්ද්‍රසිරි කවියා හා සාර්ලිස් මාස්ටර් අතර ප්‍රසිද්ධ කවි සංවාදයක් පුවත්පතකින් පවත්වා ඇත. ඉරිදා පුවත්පතක් මගින් මෙයට වසර 95කට පෙර පැවැත්වූ මේ තරගයේදී සෝමවීරයන් කවීන් හොඳ බව ත් සාර්ලිස් මාස්ටර් සිත්තරුන් හොඳ බවත් කවියෙන් වාද කරගත්හ. මේ වාදය එකල පාඨකයන්ට මහත් ආස්වාදයක් ලබා දී ඇත.
ආගමික සිතිවිලිවලින් පණපෙවූ සාර්ලිස් මාස්ටර් සිංහල කලා රසිකයන් පමණක් නොවූ මුළුමහත් ජාතියම ශෝක තිමිර පටලයක දමා හරියටම මීට වසර 65කට පෙර එනම් 1955 නොවැම්බර් 21 වැනිදායින් පසුව (ඔහු විසින් විහාර චිත්‍රවල අඳින ලද) මාර දිව්‍ය පුත්‍රයාගෙන් ජීවත්වීමට නම් ඉඩක් ලැබී නැත.