පසුගිය සතිය අපේ රටට පැති ගණනාවකින්ම උණුසුම් සතියක් විය. එක් පැත්තකින් කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළට ගිය සතියක් ලෙස රට උණුසුම් විය. අනිත් පැත්තෙන් දේශපාලනමය සංසිද්ධීන් ගණනාවක් නිසා රටේ දේශපාලන කරළිය උණුසුම් විය. මේ හේතුවෙන් පසුගිය සතිය අප කාටත් කතා කරන්නට බොහෝ දේ තිබුණු උණුසුම් සතියක් ලෙස කාගෙ කාගේත් සැලකිල්ලට ලක් විය.
ඇමැති විමල් වීරවංශ මහතා පසුගිය 7 වැනිදා ඉරිදා ලංකාදීපයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක සඳහන් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා වීරවංශ මහතා අතර දේශපාලන ආරවුලක් මේ වන විට ඇතිව තිබේ. හුඟාක් ප‍්‍රශ්නවලට මුල ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ නොසිටීම බව පෙන්වා දුන් විමල් පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයට පමණක් සීමා නොකොට පොදුජන පෙරමුණේ නායකත්වය දක්වා ගෙන ආ යුතු බවය.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් මෙය වටහා ගත්තේ විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ මහතා අත තිබෙන නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නට යෝජනා කරමින් අභ්‍යන්තරයේ අනවශ්‍ය අරගලයක් නිර්මාණය කරන්නට දරන ලද උත්සාහයක් ලෙසටය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදීද විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් අදහස් ප්‍රකාශ කර තිබිණි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද මාධ්‍ය හමුවක් කැඳවා වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව ද ප්‍රකාශ කළේය.
ලාංකික ජාතික දේශපාලන ඉතිහාසයේ ශක්තිමත් ජනතාවාදී ආණ්ඩු හැමවිටම බිහි වූයේ පෙරමුණු හා සන්ධාන තුළය. තනි හුදෙකලා දේශපාලන පක්ෂයකට වඩා එවැනි සන්ධානයක් වැදගත් වන්නේ වත්මන් ලාංකික සමාජ ප්‍රවාහයේ විවිධ ස්ථරයන් හා කුලකයන් ඒ තුළින් ඒකාබද්ධ වීමෙන් ආණ්ඩු පක්ෂයට නව ජවයක් හා ශක්තියක් ලබාදෙන නිසාය.
වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 12කට අයත් නායකයන් පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවෙසට රැස්වී සාකච්ඡාවක නිරත වූ අතර එය මේ දිනවල මෙරට ජාතික දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාත්‍රන්තවාදී වාමාශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස්, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ, අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි සහ යුතුකම හා සංවාද කවයේ ගෙවිඳු කුමාරතුංග, ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා එම පක්ෂයේ නායකයෝ අතර වූහ.
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර
ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කර දැන්විය යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත්, රට අද මුහුණ දී ඇති තත්ත්වයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාදැයි සාකච්ඡාවට බඳුන් වූ බවත් සඳහන්ය.
ආණ්ඩු පක්ෂයේ සිටින වෙනත් පක්ෂ දොළහක කණ්ඩායමක් නිතර නිතර හමුවෙමින් සාකච්ඡා කරමින් වෙනම එකතු වී කතාබහ කරමින් ඇතිකරගෙන තිබූ එකමුතුව ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු ඔහුගේ දේශපාලන හිතවතුන් එතරම් ප‍්‍රසාදයක් දැක්වූයේ නැත. පක්ෂ දහයක් දොළහක් මෙසේ වෙනම එක්වී කටයුතු කරන්නට පටන් ගැනීමත් මේ එකමුතුවේ වැඩ කටයුතු ආණ්ඩු පක්ෂය බලය පිහිටවූ දා සිටම යම් යම් මාතෘකාවලදී වෙනම කැපී පෙනෙන්නට පටන් ගැනීමත් කෙරෙහි ඔහු වැඩිපුර අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. තීරණාත්මක තැන්වලදී ඔවුන්ගේ මැදිහත් වීම නිසා ආණ්ඩුවේ යම් යම් යෝජනා පරාජයට පත්වීම ලොකු මදිපුංචිකමක් බවට ඔවුහු සැලකූහ. විසිවැනි සංශෝධනය ගෙන ආ වේලාවේදී රජයට වෙනසක් කිරීමට අවශ්‍යව තිබූ ක්ෂේත‍්‍ර ගණනාවක් පිළිබඳ යෝජනා රැසක්ම ආපස්සට අකුලා ගන්නට සිදු වූයේ විමල්ලාගේ අභ්‍යන්තර විපක්ෂය නිසා බව බැසිල් දැන සිටියේය. නෙළුම් මාවත කාර්යාලයේ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරී මණ්ඩලයේ හා එහි මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රබලම ඉල්ලීමක් වූයේ විමල්ලාගේ මේ අභ්‍යන්තර විපක්ෂය පාලනය කිරීමට කුමක් හෝ විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.
විපක්ෂයට වාසිවෙන්න අපි වැඩ කරන්නෙ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර
මේ වන විට ආණ්ඩුවට මුහුණදීමට ඇති අභියෝග සහ ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳවත් ජනතා ප‍්‍රශ්නවලට මූලිකත්වය දී කටයුතු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවෙලා සාකච්ඡා කරන එක තමයි අපේ හමුවීමේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ වගේම ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න මුල්කරගෙන විපක්‍ෂයට එහි වාසිය ලැබෙන අයුරින් කටයුතු නොකිරීමටත්, ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම පිළිබඳව සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවටත් සාකච්ඡාවට එක්වූ පක්‍ෂ නායකයන් තීරණය කළා.
අපි කතා කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳවයි
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ
ජනාධිපතිවරණයට පෙර හා මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් නිරතුරුව මුණගැසී රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඒ නිසා තමයි අපිට මේ වගේ විශාල ජයග්‍රහණයක් කරා යන්න හැකියාව ලැබුණේ. නමුත් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ කටයුතු නතර වුණා. අපි පසුගිය දිනක එකතුවෙලා නැවත වරක් සාකච්ඡා කළේ මේ රටේ තියෙන ප්‍රශ්න සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීම ගැනයි. එහි වෙනත් කිසිදු අරමුණක් නෑ. අපි පක්ෂ කිහිපයක් පොදුජන පෙරමුණ සමඟ එකතුවෙලා තියෙනවා ආණ්ඩුවට තිබෙන ඉදිරි අර්බුද ගැන තමයි අපි සාකච්ඡා කළේ.
ආණ්ඩුවේ අභියෝග ගැන අපට කතා කරන්න පුළුවන්
ප්‍රජාත්‍රන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර
වත්මන් ආණ්ඩුවට ඉදිරියේ තිබෙන ගැටලු පිළිබඳව තමයි අපි හමුවී සාකච්ඡා කළේ. කොහොමත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලෙස රටේ ආණ්ඩුවට තියෙන ඉදිරි අභියෝග ගැන කතා කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි මේ මැතිවරණවලට කලින් සතිපතා පක්ෂ නායකයන් එකට එක්වෙලා මේ හමුවීම් පැවැත්වූවා. මේ කොවිඩ් ප්‍රශ්නයෙන් පස්සේ අපි නැවත රටේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න තමයි මේ විදියට එකතු වුණේ. විවිධ තැන්වල අපේ පක්ෂ නායකයන්ගේ හමුවීම් පිළිබඳ විවිධ මත පළ කරලා තිබුණා. නමුත් අපි මැතිවරණයට පෙරත් මේ විදියට රැස් වුණා. ඒකේ අරුමයක් නෑ.
සටහන: හසිත් අංජන