පළවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී අපි දැක්කා පාසල් ගණනාවක් ඉදිරිපිට දෙමව්පියන් උද්ඝෝෂණවල නිරත වෙනවා. අපි මෙය සෑම වසරකම දකින කාරණයක්. ඇයි තවම මෙයට නිසි වැඩපිළිවෙළක් සකසා නැත්තේ?
අපි පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී නියමිත චක්‍රලේඛ අනුව තමයි කටයුතු කරන්නේ. නමුත් මෙහිදී එක ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ස්ථිර පදිංචිය කියන කාරණය ඔවුන් කියන්නේ අපිට තියෙන්නේ ස්ථිර පදිංචි වුණාට බදු ඔප්පු කියන එක. ඒ වගේම ඒක පිළිගන්න බැහැ කියන කාරණාව පිළිබඳව තමයි ඔවුන් නිරතුරුව මැසිවිලි නගන්නේ. ස්ථානීය පරීක්ෂණයේදී තමයි මේ ගැටලුව මතුවෙන්නේ. ඔය වගේ අර්බුදකාරී තත්ත්වය නිසා තමයි මේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී ඒ විදියට ගැටලු මතුවෙන්නේ. එහෙම නැතුව ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි.
2020 වසරේ අනුලා විද්‍යාලයට ආදි ශිෂ්‍ය පදනම මත කූඨ ලේඛන මත ඇතුළත් කෙරුණු දරුවන් 6 දෙනෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඔබ දන්වා තිබුණා. මේ කාරණය නිසා එම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නේ නැද්ද?
මීට ඉස්සර වෙලා කොළඹ කාන්තා විද්‍යාලයක සිසුවියන් දෙදෙනකු කූඨ ලේඛන හදලා ඇතුළත් කරලා එම සිසුවියන් දෙදෙනාට ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම එම දරුවන්ට නියමිත පටිපාටිය අනුව ක්‍රියාමාර්ග ගනු ලැබුවා. මේ විදියට එම ප්‍රශ්නයට ක්‍රියාමාර්ග නොගත්තා නම් මාධ්‍යය මගින් කියනවා අධ්‍යාපන ලේකම් මේක යටගහන්න හදනවා කියලා. ඒ වගේම දරුවන් පාසලට ඇතුළත් කරන ලිපි ලේඛන බාරදෙන විට එම දෙමව්පියන් බැඳිලා ඉන්නවා. එම ලිපි ලේඛනවල යම් අසත්‍යතාවයක් තිබෙනවා නම් එහි ප්‍රතිඵලය මේක කියලා අත්සන් කරනවා. මෙලෙස කූඨ ලේඛන සකසා දරුවන් ඇතුළත් කිරීම නරක පූර්වාදර්ශයක් ඒ නිසා තමයි මම මේ නියෝගය ක්‍රියාත්මක කළේ.
පහේ ශිෂ්‍යත්වයේ පරමාර්ථය වෙන්නේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දක්ෂ දරුවන්ට පහසුකම් සහිත පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාවක් ලබාදෙන්න. නමුත් මෙවර පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ප්‍රමාණය ඉතා ඉහළයි. ඇත්තටම එය සිසුන්ට අසාධාරණයක් නේද?
ශිෂ්‍යත්වය කියන එකේ මුඛ්‍ය පරමාර්ථය තමයි රටේ ඉන්න දක්ෂතම දරුවන්ට පහසුකම් සහිත පාසලක් ලබාදීම. ඒ කියන්නේ යම් සිසුවෙකු තමන් ඉගෙන ගන්න පාසලේ පහසුකම් මදිනම් තමන්ගේ දක්ෂතා තව ටිකක් ඔපමට්ටම් කරන්න පහසුකම් සහිත පාසලක් ලබාදීම. මෙතැනදී අපි දක්ෂතාව මනින ඒකකය තමයි තමා ලබාගත් ලකුණු ප්‍රමාණය. ඒ වගේම මෙම කඩඉම් ලකුණු ප්‍රමාණය එක ලකුණකින් අඩු කළොත් උදාහරණයක් ලෙස කඩඉම් ලකුණු 193 බැලුවම ඉන්න සිසුන් ප්‍රමාණය එක කඩඉම් ලකුණක් අඩු කරොත් තව විශාල සිසුන් සංඛාවක් එකතුවෙනවා. ඒ කඩඉම් ලකුණු සඳහා එතකොට එක් එක් වසරවල සිසුන් ගත්තොත් ඒක වෙනස් වෙනවා. එතැනදී යම් සිසුන් පිරිසකට අසාධාරණයක් වෙනවා. දැන් කඩඉම් ලකුණු 194ක් තිබෙන පාසලේ ශිෂ්‍යත්වධාරීන් විශාඛාවට ගන්න පුළුවන් 135යි ඒක සෑම වසරදීම ඒ විදියට තියලා තියෙනවා. එතකොට මේ වසරේ ඒ 194 කඩඉම් ලකුණ ලබාගත් දරුවන් 123ක් විශාකා විද්‍යාලයට ඇතුළත් කළා. එතකොට ඉතුරු ළමුන් ප්‍රමාණය තෝරගන්න බැහැ. මොකද ඒ සිසුන් ප්‍රමාණය ඊට වඩා වැඩියි. එහෙම කඩඉම් ලකුණු අඩු කළොත් සිසුන් පිරිස වැඩිවෙනවා. දැන් මම විශාකා විද්‍යාලයට කඩඉම් ලකුණු 194 ලබාගත් 123 දෙනා දාලා නැවැත්තුවා. තවත් 12 දෙනෙකු පුරප්පාඩු වෙද්දි. මම ඒ පුරප්පාඩු 12ට කඩඉම් ලකුණු අඩුකරලා ගත්තනම් ඒ කියන්නේ තව එක කඩඉම් ලකුණක් අඩු උනානම් තවත් දරුවන් පිරිසක් සුදුසුකම් ලබනවා. එහෙම වුණානම් තව පන්තියක් දාන්න වෙනවා. ඒ පන්තිය 11 ශ්‍රේණියකට යනකම් ක්‍රියාත්මක කරනවා නම් ඉඩ ප්‍රමාණය ප්‍රශ්නයක් ඇතිවෙනවා.
දැන් උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න ඉන්න දරුවන්ට සහ දෙවැනි වර විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේකට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න අමාත්‍යංශ මට්ටමෙන් පියවරක් ගන්නේ නැත්තේ?
ඇත්තටම ඒ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් සැකසිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. මේ නැවත ප්‍රතිඵල සමීක්ෂණය සඳහා ගතවෙන කාලය තමයි මෙයට හොඳම උදාහරණය. මේ සඳහා මාස හතරක කාලයක් ගතවෙනවා. මේ නැවත සමීක්ෂණය කියන කාරණය ලෝකයේ වෙන කොහෙවත් නැහැ. එතකොට වෙන්නෙත් දක්ෂතම දරුවන්ට ගෙදර ඉන්න වෙනවා අර නැවත සමික්ෂණය කරලා එහි ප්‍රතිඵල එනකම්. ඒ වගේම මම මෙහි වසර 10ක දත්ත සමීක්ෂණය කරලා බැලුවා කොතරම් දරුවන් පිරිසක් මේ නැවත සමීක්ෂණ ඉල්ලනවද ඉන්පසු කී දෙනෙක්ගේ ප්‍රතිඵල වෙනස් වෙනවද කියලා. එතකොට ලැබෙන ප්‍රතිශතය දශම එකයි, එකයි වගේ. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලන් ඉන්නවා ළමුන් අයදුම්පත් දානකම්. ගියවර 96000ක් දාලා තියනවා. මේ ප්‍රමාණයෙන් සමස්ත ලංකා කුසලතාවයට 40% අයින් කරනවා ඊටපස්සේ ඉතුරු අයව ගන්නේ දිස්ත්‍රික් පදනම මත මේ අය මොන දිස්ත්‍රික්කයටද අයත් කියලා අපි හොයනවා. දැන් මෙවර තුන්ලක්ෂ විසිදෙදහයි ඉදිරිපත් වුණේ. විභාගයට දැන් ඉඳන්ම මේ අයගේ පදනම් හෙව්ව නම් ඒ ක්‍රියා පටිපාටියට කාලයක් ගත වෙන්නේ නැහැ. ඊටපස්සේ අපි වෙබ් සයිට් එකේ පළකරනවා කඩයිම් ලකුණු එක්ක. එතකොට ප්‍රතිපල ආවම විශ්වවිද්‍යාලවලට යන්න තියෙන කාලය අඩු වෙනවා. ඒ වෙනස සිදු කළා නම් හොඳයි කියන යෝජනාව මට තිබෙනවා.
පාසල් විවෘත කිරිම පිළිබඳව වරින්වර කරන ප්‍රකාශවලට වඩා සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න පියවර ගන්නේ නැත්තේ ඇයි?
මේ පිළිබඳව අපි නිරතුරුවම සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා. ඒ වගේම කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ ප්‍රදේශීය ලේකම්වරුන් හරහා විමසුවා මොන පාසල්ද විවෘත මේ තිබෙන තත්ත්වය යටතේ. එහෙම ලබාගත් නිර්දේශ අපි සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළා කියලා. නමුත් තත්ත්වය එක්ක අපේ ප්‍රමුඛතාවය තියෙන්නේ බස්නාහිර පළාතේ පාසල් ටික අරින්නේ නැතුව අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න. විභාගය පැවැත්වූවාට පස්සේ රටේ තත්ත්වය හොඳ වුණොත් මේ පාසල් විවෘත කරන්න අවසරයක් ලබාදෙයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.
සටහන- හසිත් අංජන
ඡායාරූප- සුමුදු හේවාපතිරණ