2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

කටින් උත්තර දී උපාධියක් ගත් ලංකාවේ මුල්ම උපාධිධාරිණිය

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

ඇය ජීවිතයේ කිසිමදාක අකුරු ලියා නැත. ඇයට ජීවිතයේ කිසිමදාක දෙපයින් නැගිට ඇවිදින්නට බැරිය. නමුත් ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ උපාධිධාරිණියකි. තිළිණි නිමේෂා ජයතිලක නම් වූ ඇය දෙපයින් නැගිට ජීවිතය ජයගත් තරුණියකට වඩා ජීවිතයේ එකම තැනක හිඳ, වාචිකව පිළිතුරු සපයා පේරාදණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගත් දිරිය තරුණියක් වූවාය.

ධම්මිකාගේත් ජයතිලකගේත් කැදැල්ලට එකතු වූ මුල්ම දරුවා වූයේ තිළිණි නිමේෂා ජයතිලකය. ගුරු වෘත්තියේ යෙදුණු ධම්මිකාගේත් ජයතිලකගේත් හිත්වල දරුවා පිළිබඳ අසීමිත බලාපොරොත්තු පොදි බැඳී තිබුණි. දරුවකු කුස තුළ පිළිසිඳගත් බව දැනගත් දා සිට ධම්මික නූපන් දරුවා වෙනුවෙන් අසීමිතව පරිස්සම් වූවාය. වතාවක් ඇයගේ රුධිර පීඩන තත්ත්වය යම් මට්ටමකට වැඩි විය. වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් පසුව එය යථා තත්ත්වය පත් විය

දින, සති, මාස ගෙවුණි. දරුවා ලැබීමට වෛද්‍යවරුන් ලබාදුන් දින ළංවෙමින් තිබුණි. හරියටම නියම කළ දිනයට මාසයකට පමණ පෙර ධම්මිකාට අමාරු විය. ජයතිලක ඉක්මනින් ඇයව රෝහල්ගත කළේය. ධම්මිකාට එන්න එන්නම අමාරු විය. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ ඉක්මනින්ම සැත්කමක් කොට දරුවා කුසින් පිටතට ගැනීමය. ඒ වන විටත් ධම්මිකාගේ අධි රුධිර පීඩනය ඉතා ඉහළ ගොස් තිබුණි.

වෛද්‍යවරුන්ගේ තීරණයත් සමඟ සීසර් සැත්කමකින් කුඩා දියණියක් මෙලොව එළිය දුටුවාය. දින කිහිපයකට පසුව මවත් ළදැරියත් නිවසට ආහ. නමුත් දිනෙන් දින කුඩා බිළිඳියගේ යම් වෙනසක් දෙමාපියෝ නිරීක්ෂණය කළහ. වෙනත් දරුවන් සේ බිළිඳිය එතරම් දැඟලුවේ නැත. පැත්තට පෙරළෙන්නට උත්සාහ කළේද නැත.

1992 ජූනි මස 25 වැනිදා තම බිළිඳියගේ උපතත් සමඟ දෙමාපියන් බවට පත්වුණු ධම්මිකාගේත් ජයතිලකගේත් හිත්වලට පුංචි බයක් දැනිණි. තිළිණි උපන්නේ ධම්මිකාත් ජයතිලකත් රඹුක්කන ප්‍රදේශයේ ජීවත්ව සිටි අවදියේය. ඒ වන විටත් ඔවුහු ඒ ප්‍රදේශයේ පාසලක ගුරුවරු වූහ. දරුවන් එක්කම වසර ගණනාවක්ම ගුරු වෘත්තියේ නියැලුණු ධම්මිකාට තම කුඩා බිළිඳියගේ එම වෙනස්කම හොඳින් දැනිණි. ඇය එතරම් අතපය චලනය කළේ නැත. මේ නිසාම ජයතිලකත්, ධම්මිකාත් තිළිණිව වෛද්‍යවරුන්ට පෙන්වූහ.

කුඩා බිළිඳිය හොඳින් පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු ඇය Cerebral Palsy නම් රෝගය ඇති බිළිඳියක බව තීරණය කළහ. මෙම රෝගය නම් ගර්භාෂයේ වැඩෙන අතරතුර ළදරුවකුගේ මොළයේ වර්ධනය සම්බන්ධ ගැටලුවකි. රුධිරයේ හෝ ඔක්සිජන් සැපයුම අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස මොළයේ කොටසකට වන හානිය මෙයට හේතුවයි. මෙය සුව කළ නොහැකි රෝගී තත්ත්වයකි. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ ධම්මිකාට දරුවා බිහිවීමේදී සිදුවූ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් මේ රෝගය ඇතිවූ බවය.

වෛද්‍යවරුන්ගේ තීරණයත් සමඟ ධම්මිකාත් ජයතිලකත් අප්‍රමාණ දුක් වූහ. ජීවිතේ හීන දුටු සිහින හැබෑ වී, ඒ හැබෑ වූ සිහින නැවත කඩාගෙන වැටෙද්දී ඔවුහු හඬා වැළපුණාහ. නමුත් ගුරු වෘත්තියත් සමඟ දරුවන් සමඟ ජීවිතේ වැඩි කාලයක් ගත කළ දෙදෙනා තම ලෙයින් තම කුසේ උපන් බිළිඳියත් සමඟ ජීවිතයත් සමඟ ඔට්ටු අල්ලන්නට දැඩිව අදිටන් කර ගත්හ.

බිළිඳියගේ ක්‍රියාකාරකම් අඩු විය. වෙනත් කුඩා දරුවන් සේ ඇය අතපය චලනය කරමින් දැඟලුවේ නැත. ඇයට තනිවම වාඩි වී සිටින්නටවත් බැරිය. කුඩා කාලයේදී ඇය ඇඳේ නිසොල්මන්ව සිටියා පමණි. දිනෙන් දින ගතවත්ම ධම්මිකාගේත් ජයතිලකගේත් උත්සාහය වූයේ කෙසේ හෝ දරුවාගේ කොන්ද කෙළින් කර තබන්නටය. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. වෛද්‍යවරුන්ගේ උපදෙස් හා විවිධ පරීක්ෂණ සමඟ ධම්මිකා තිළිණිට වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම් ලබා දුන්නාය. දෙමාපියන්ගේ උත්සාහය හා වෛද්‍යවරුන් ලබාදුන් ව්‍යායාම් ක්‍රමවේදයන් හමුවේ පසුකාලීනව තිළිණිට පුටුවක වාඩි වී සිටීමට හැකියාව ලැබුණි. නමුත් අදටත් ඇයව කෙළින් කොට පුටුවේ වාඩි කළ යුතු වන්නේ තවත් කෙනකු විසිනි. තවමත් ඇයට තනිවම කොන්ද කෙළින් කොට අසුනක වාඩිවීමේ හැකියාවක් නැත. ඇයට අදටත් ඇවිදීමේ හැකියාවක් නැත. ලිවීමේ හැකියාවක් ද නැත. 

තිළිණිට අවුරුදු පහ සම්පූර්ණ වෙද්දී ධම්මිකාත් ජයතිලකත් ඇයට අධ්‍යාපනය ලබාදීමට ධම්මිකා ඉගැන්වීම් කළ පාසලටම දරුවා ඇතුළත් කළහ. ඒ රඹුක්කන උදම්විට මහ විදුහලටය. දිනපතා ධම්මිකා තම දියණියව ඔසවාගෙන ගොස් රෝදපුටුවේ ඉන්දවා පන්ති කාමරයේ තියන්නීය. එතැන් සිට ඇය හොඳින් ඉගෙන ගත්තාය. ඒ වෙනුවෙන් පාසලේ සියලුම ගුරු මණ්ඩලයත් පාසල් දරුවනුත් තිළිණිට උදව් කළහ. අතපසු වෙන යම් පාඩම් විෂයන් ඇත්නම් නැවතත් එය කියා දෙන්නට තරම් ඇතැම් ගුරුවරු නිහතමානී වූහ.

තිළිණි නිමේෂා ඉපදී අවුරුදු දෙකකට පසුව තවත් දරුවෙක් ධම්මිකාගේත් ජයතිලකගේත් කැදැල්ලට එකතු විය. ඒ පිරිමි දරුවෙකි. තිළිණි තම බාල සහෝදරයාට අසීමිතව ආදරය කළාය. තම කුඩා සහෝදරයා මිදුලේ සෙල්ලම් කරන හැටි තිළිණි රෝදපුටුවට හෝ ඇඳට වී බලා සිටියාය. නමුත් කරන්නට දෙයක් නැත. මල්ලි හා එක්ව හරි හරියට සෙල්ලම් කරන්නට, සෙල්ලම් බත් උයන්නට පුංචි කෙල්ලට අනන්තවත් හිතුණා වන්නට ඇත. වැලි කෝම්පිට්ටු හදන්නට හිතෙන්නට ඇත. නමුත් ඒ කිසිම දෙයකට තිළිණිගේ අතපය වාරු වූයේ නැත. ඇය පාසලේදී කියාදෙන දේ සාවධානව අසාගෙන සිටියාය. පන්තියේ පැවරුම් සහිත පොත් ගුරුවරු ඇයට ලබා දුන්හ. ඇතැම් යාළුවෝද ඔවුන්ගේ පොත් පිටපත් සටහන් කර ගන්නට තිළිණිට ලබා දුන්හ. ඒ සියලු දෙයින් ඇය නිවෙසට පැමිණ ඉගෙන ගත්තාය. තිළිණි ඉගෙන ගන්නට දක්ෂය. නමුත් ශිෂ්‍යත්ව විභාගයට ඇය පෙනී සිටියේ නැත.

ඇය සාමාන්‍ය පෙළ විභාගය සඳහා කෑගල්ල අඹන්පිටිය විශේෂ මහ විදුහලට ඇතුළත් වූවාය. එහි විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ඇයට අත්වාරුවක් වූහ. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ගෙන වාචික ක්‍රමය යටතේ සහභාගි වූ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් ඇය ජය ගත්තාය. ලංකාවේ මුල්ම වතාවට වාචික ක්‍රමය යටතේ රජයේ විභාගවලට මුහුණදුන් ශිෂ්‍යාව වූයේද තිළිණි නිමේෂා ජයතිලකය. ඇය සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ කලා අංශයෙන් අඹන්පිටිය විශේෂ මහ විදුහලේම ඉගෙනුම ලැබුවාය. දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය සහ සිංහල විෂයන් හදාරා උසස් පෙළ සමත් වූ ඇය 2015 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබුවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ ආබාධිත දරුවන් වෙනුවෙන් අංශයක්ද තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශන සඳහා තිළිණිව රෝදපුටුවෙන් ගෙන ගොස් වාඩි කරවීමෙන් පසුව ඇයට සියලුම දේ කර ගැනීමට උදව් කරනු ලැබුවේ ඇයගේ විශ්වවිද්‍යාලයේ යෙහෙළියන් විසිනි. ඇයට උදව් කරන අපූරු මිතුරු කැලක් විශ්වවිද්‍යාලයේ ද වූහ. ඇය ඉගෙනගත් සියලුම පාසල්වලින්ද ඇයට හොඳ මිතුරු කැලක් මුණගැසී තිබුණි. ඒ හැමදෙනාගේම උදව්වෙන් ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබුවේ වාචික ක්‍රමය යටතේ පිළිතුරු ලබා දෙමිනි. ලෝකයේ ප්‍රථම වතාවට වාචික ක්‍රමය යටතේ විශ්වවිද්‍යාලයක විභාගයකට මුහුණ දී උපාධිය ලබාගත් ප්‍රථම උපාධිධාරියා වන්නේ තිළිණි නිමේෂා ජයලතිලකය.

මෑත කාලයේදී තිළිණිගේ අප්පච්චි ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලබා සිටියි. නමුත් තවමත් තිළිණිගේ මව ගුරු වෘත්තියේ නියැලෙන්නීය. පාසල් යන කාලයේදී මව ධම්මිකා ඇය ළඟින්ම සිටියාය. විශ්විවිද්‍යාලයේදී සම්පූර්ණයෙන්ම ඇය ළඟ සිටියේ ඇයගේ විශ්වවිද්‍යාල මිතුරියන්ය. ඇයගේ ආහාර කැවීම පවා සිදු කළේ ඇයගේ මිතුරියන් විසිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මේ වන විට තිළිණි සිටින්නේ නිවෙසේය. අප්පච්චිත් නිවෙසේ සිටින හෙයින් ඇයට පාළුවක් නැත. නමුත් ඇගේ උදව්වට අම්මා කෙනකු සේ ආදරය ලබා දෙන උදව්කාරියක් ද ඇය ළඟටම වී සිටින්නීය. පාසල් ඉගෙනීම් කටයුතු අවසන් වූ පසුව ධම්මිකා ද තිළිණිගේ උදව්වට ළඟ සිටියි. තිළිණි රෑපවාහිනිය නරඹන්නීය. ඇය පොත් කියවන්නටද කැමතිය. ඇඳට වී ඇය පොත් කියවන්නීය. බාල සොහොයුරාද පාසල් අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනයට යොමු වී සිටී.

ඇය වරක් ගුරු විභාගයටද මුහුණ දුන්නාය. නමුත් විශ්වවිද්‍යාල උපාධිය ලබාගත්තද තිළිණිට රුකියාවක් කිරීමට බලාපොරොත්තුවක් නැත. ඇයට රජයේ රැකියාවක් කරන්නට ආසාවක් තිබුණද හැකියාවක් නැත. ඇය වෙනුවෙන් තවත් කෙනකු ළඟ සිටිය යුතුමය. ඒ ගැටලුව හේතුවෙන් ඇයට රුකියාවක් කළ නොහැක. දුක්ගැහැට විඳිමින්, උපාධියක් ලබාගත්තත් තිළිණිට අද සිදුව ඇත්තේ නිවෙසටම වී කාලය ගත කරන්නටය.

තිළිණි ජීවිතය ජය ගත්තාය. අතපය හතර නිරෝගි වුවත් අදටත් අම්මා තාත්තාට කරදර කරමින්, විවිධාකාර දූෂණ ක්‍රියා කරමින් රටට සමාජයට බරක් වුණු තරුණ තරුණියන් සිටින සමාජයක තිළිණි නිමේෂා ජයතිලක සැබැවින්ම ආදර්ශමත් තරුණියකි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03