2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ගොඩයාමක් නැති හාල්මෝල් අපලය

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

සහල් වෙළෙඳපොළ මේ වනවිට ජනතාව අතර සාකච්ඡාවට බඳුන්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ පසුගිය දිනවල වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීමය. එයට හේතුව වූයේ සිල්ලර වෙළෙඳුන්ට රජයේ පාලන මිලට අලෙවි කිරීම සඳහා තොග වෙළෙඳුන්ගෙන් සහල් නොලැබීමය. එසේ වැඩි මිලට ලැබෙන සහල් අතේ පාඩුවට අලෙවි කිරීමට සිහිමොළේ ඇති කිසිදු වෙළෙන්දකු ඉදිරිපත් වේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා කොළඹ පිටකොටුවේ හතරවැනි හරස් වීදියෙන් පටන්ගෙන ගමේ සිල්ලර කඩයේ මුදලාලි දක්වා වෙළෙඳුන් සහල් අලෙවියෙන් ඉවත් වී සිටි බවක් දැකගත හැකි විය.

කෙසේ වුවද සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තම කඩවල සෙසු ආහාර ද්‍රව්‍යයද අලෙවි වන්නේ සහල් තිබුණහොත් පමණක් බවය. මිලට ගන්නට සහල් නොමැති නම් පරිප්පු, අල හෝ හාල්මැස්සන් මිලට ගැනීමට පාරිභෝගිකයෝ ඉදිරිපත් නොවෙති. ඒ නිසා සෙසු ආහාර ද්‍රව්‍ය වෙළෙඳාමටද සෙනසුරු අපලය පල දී ඇත. නුදුරේදි එන උත්සව සමයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයෝද පවසති.

ඉදිරි වසර තුනක කාලයකට වී මිලට ගැනීම සහ සහල් අලෙවි කිරීමට නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම් පිළිබඳ ඇමැති අනුකාර සභාව පසුගිය සතියේ තීරණය කළේය. එම උපරිම මිල අමාත්‍ය මණ්ඩලය මගින්ද අනුමත කරගනු ලැබිණ. ඒ අනුව නාඩු සහ සම්බා වී මිලට ගැනීමට පිළිවෙළින් රුපියල් 50 හා 52ක මිලක් නියම කළේය. එසේම මෙහිදී සහල්වලටද උපරිම සිල්ලර මිලක් නියම කළ අතර නාඩු කිලෝව රුපියල් 97කට සහ සම්බා කිලෝවට රුපියල් 99කට අලෙවි කළ යුතු යැයි තීරණය කෙරුණි. මෙය තවදුරටත් ඉදිරියට ගොස් රජයේ භාණ්ඩ 27ක් සහන මිලට දීමේ ව්‍යාපෘතියට සහල්ද ඇතුළත් කර සහල් සඳහා පනවා තිබූ පාලන මිල සඳහන් ගැසට් පහක්ද අවලංගු කළ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

පෞද්ගලික සහල් මෝල්කරුවන් ඉහළ මිල ගණන්වලට වී මිලදී ගන්නේ නම්, පොහොර සහනාධාරය මත රුඳී නොසිට තරගකාරී මිල ගණන්වලට යාමට කෘෂිකර්ම අමාත්‍යංශයට කැබිනට් මණ්ඩලය අවසර දී ඇති බවද ප්‍රකාශයට පත්විය. එහිදී කවර මිලකට වී මිලදී ගතයුතුද යන්න තීරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයට බලය ලබාදීමටද කැබිනට් මණ්ඩලය ඉඩදී තිබේ. අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී සාකච්ඡා කර ඇත්තේ ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසීමට රජය ගන්නා පියවරට එරෙහිව වී මාෆියාව ක්‍රියාත්මක වී ඇති බවය. එහිදී රටේ වී පිළිබඳ මාෆියාවක් ක්‍රියාත්මක බව රජය නිල වශයෙන් පිළිගෙන ඇති බවද ගම්‍ය වෙයි. කෙසේ වුවද කෘෂිකර්ම ඇමැතිවරයා තදින්ම අවධාරණය කරනුයේ කවුරු කීයට වී මිලට ගත්තද නාඩු සහල් කිලෝව රුපියල් 97ට හා සම්බා කිලෝව 99ට වැඩි නොවිය යුතු බවට රජය ගෙන ඇති තීරණය කිසිවිටෙකත් වෙනස් නොකරන බවයි. එසේ වුවද රජය අද ගන්නා තීරණය හෙට වෙනස් කිරීමේ දියාරු ප්‍රතිපත්තිය අනුව උපරිම මිල නියම කර ඇති සහල්වල මිල වෙනස්වීමට වැඩිකල් නොයනු ඇති බව ජනතාවගේ පොදු මතය වෙයි.

තෝරු මෝරු හැප්පෙනකොට හාල්මැස්සො මැරෙනවා

මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ සමස්ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමයේ උප සභාපති බී.කේ. රංජිත් පවසන්නේ සහල් සහ වී පිළිබඳ රජය ගෙන ඇති තීරණ ප්‍රායෝගික නොවන බවය. රජයේ සහ මහා පරිමාණ මෝල් හිමියන්ගේ මේ සටන නිසා තමන් වැනි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් අමාරුවේ වැටී ඇති බව ඔහු කියයි.

&බොහෝ අපහසුතා මැද අපි මහා පරිමාණ හාල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් එකතු කරලා තීරණයක් ගත්තා රජයේ සහතික මිලෙන් එහාට වී මිලට නොගන්නා බවට. රජයේ සහතික මිල වන තෙත වී කිලෝව රුපියල් 44-46 අතර සහ වියලි වී කිලෝව රුපියල් 50ට මිලට ගන්න. එහෙත් දැන් රජය සහ මහා මෝල් හිමියන් තරගකාරී ලෙස වැඩි මිලට වී ගන්නයි යන්නේ. එවිට අපි අමාරුවේ වැටෙනවා. වැඩි මිලට වී අරගෙන අපි කොහොමද පාලන මිලට සහල් දෙන්නේ? රජයට හා මහ මෝල්හිමියන්ට කුමන ක්‍රමයකට හෝ එය කළ හැකි යැයි කීවත් අපට එය කරන්න බැහැ.

කැකුළු හාල් කිලෝවක් නිෂ්පාදනය කරන්න වී කිලෝ 1.7ක් අවශ්‍යයි. නාඩු හාල් කිලෝවකට වී කිලෝ 1.6ක් හා සම්බා කිලෝවකට වී කිලෝ 1.5ක් පමණ වැයවෙනවා. තව රුපියල් 10ක් කිලෝවකට නිෂ්පාදන වැය එකතු වෙනවා. බෑග්වලට මිල, ඇසුරුම් කුලී ආදී වශයෙන් තවත් වැයවීම් තිබෙනවා. ඒ නිසා මෙය කළහැකි දෙයක් නෙවෙයි. තෝරු මෝරු හැප්පෙන කොට හාල්මැස්සො තමා විනාශ වෙන්නේ. ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ අපිව ගලවාගන්න. අපි නිසා තමා අද මේ මිලට හෝ හාල් දෙන්න පුළුවන් වෙලා ඇත්තේ. අපි වෙළෙඳපොළෙන් ඉවත් වුණොත් හාල් කිලෝව රුපියල් 125ට 150ට නගීවි. බොහෝ අයට එය කරගන්න වුවමනා වී තිබෙනවා.

අපි රජයේ සාකච්ඡාවලට සහභාගී වෙන්න උදේ සවස කොළඹ ගියත් අපේ ඉල්ලීම් නොසලකා තමා ඒ අය තීරණ ගන්නේ. සහතික මිල තීරණය කරන්න තිබුණෙ 2020 නොවැම්බර් - දෙසැම්බර් වනවිටයි. ඒත් අත්තනෝමතික ලෙස මිල තීරණය කරන්නේ අන්තිම මොහොතේදීයි. අද රුපියල් 50-52 ගන්න වී කිලෝව හාල් කරන්නේ තව මාස 2-3කට පසුවයි. ඒ වනවිට බර අඩුවෙලා. ගබඩා ගාස්තු, කම්කරු ගාස්තු වැඩිවෙලා. ඒ නිසා රජය කියන රුපියල් 96-98 මිලට සහල් දෙන්න බැහැ. මිල තීරණය කිරීම ප්‍රායෝගික නැහැ.

රජය සහතික මිල වැඩි කළාට වැඩක් නැහැ

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සහ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි පවසන්නේ මහා පරිමාණ මෝල් හිමියන් රජයේ සහතික මිලට වැඩි මිලකට වී මිලට ගැනීම විශාල වශයෙන් මේ වනවිට රාජාංගණ ප්‍රදේශයේ සිදුවන බවය. ඔහු විමසන්නේ පෞද්ගලික වෙළෙඳුන් කිලෝව රුපියල් 55-60ට වී මිලදී ගනිද්දී සිහිබුද්ධිය තිබෙන ගොවියෙක් කිසිවිටෙක අඩුවට වී රජයට දීමට ඉදිරිපත් නොවන බවය. එවැනි ජාතික කැක්කුමක් තිබෙන අය අද නොමැති බවද ඔහු කියයි.

අපි වී වලට සහන මිලක් ඉල්ලූ කාලේ නොදී දැන් මේ අන්තිම මොහොතේ දීම ගැටලුකාරියි. වී නිෂ්පාදනයට විශාල වියදමක් යනවා. රජය සහන මිලට පොහොරදීමත් මොන අන්දමින් හෝ නවත්වනවා. මේ කන්නයේ වී නිෂ්පාදනය අඩුයි. ජනවාරිවල පූදින කාලයට වැස්ස වැටීම අස්වැන්න අඩුවීමට බලපෑවා. සියයට 30ක පමණ අස්වැන්න අඩුවීමක් වෙලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ ආසන්නයේ කුඹුරුවලට අස්වැන්න අඩුවුණා.
කොහොම වුණත් නිෂ්පාදනයද අඩුවීම නිසා නුදුරේදී සහල් මිල 110-120 අතරේ වෙයි. කවදත් වැඩි ලාභයක් ගන්නේ අතරමැදියා. රජය වී මිලට ගන්න සූදානම් වනවිට තවත් අය අරගෙන ඉවරයි. වී මිලට ගන්න රජයට කොහොමත් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ගොවියන් සමග සාකච්ඡා කරන්නේ නැහැ. තනි තීරණවලට යනවා. තව මාස කිහිපයකින් ගොවියාගේ වී මුදලාලිලා මිලට ගෙන අවසන් වේවි. ආණ්ඩුව අද කියපු දේ නෙමෙයි හෙට කියන්නේ. පහුගිය ආණ්ඩුව වගේ තමා. සියල්ල අනාගන්නවා.

ඔය කියන ගාණට විකුණන්න බෑ

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න අවධාරණය කරන්නේ ආණ්ඩුව මොනවා පැවසුවද පාලන මිලට සහල් තමුන්ට නොලැබෙන බවයි. නිෂ්පාදකයන්ගෙන් තොග මිලට සහල් නොලැබෙන විට තම වෙළෙඳුන් පාලන මිලට සහල් විකුණන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

දැන් අපේ සිල්ලර වෙළෙඳුන්ට විශාල අසාධාරණයක් සිදුවෙමින් පවතිනවා. බොහෝ කඩවල සහල් විකුණන්න බැහැ. වැඩි මිලට විකිණුවොත් අත්අඩංගුවට ගෙන නඩු පවරනවා. දඩ ගහනවා. ඒත් අපට වැඩි මිලට හාල් දෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් අල්ලන්නේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳසල්වල වුණත් හාල් නැතිනම් අනිත් දේවල් විකුණන්න බැහැ. ඉතින් කඩ වහලා දාන්නයි වෙන්නේ. රෝග නිධානයට බෙහෙත් නොකර අතුරු ආබාධවලට ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. දැනුත් සතොසට හාල් දෙන්නේ මහා පරිමාණ වෙළෙන්දෝයි.

ගොවියාගෙන් වී කිලෝ 1000ක් නොව 2000ක් ගත්තත් මදි. රජය කළයුත්තේ මේ වී සහල් කර වරාය, හමුදා මූලස්ථාන, රෝහල් ආදී රජයේ ආයතනවලට සැපයීමයි. අද විශාල තොග ගන්නේ පිටතින්. මේවාට රජයම සහල් සපයනවා නම් රජය ගන්න වී තොග පරණ වුණා යැයි සත්ව ආහාරවලට විකුණන්න වෙන්නේ නැහැ. පොහොර, වතුර, බෙහෙත් ආදිය ගොවියාට නොමිලේ සහ සහන මිලට දෙනවා නම් ඇයි රජයේ සහතික මිලට වී දෙන්න බැරි?

මේ හාල් හිඟය මවාපෑමක

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

2005 වසරේ අනුර දිසානායක යුගයෙන් පසු අපේ රටේ වාර්තාගත වී අස්වැන්නක් ලැබුණේ පසුගිය 2020 වර්ෂයේදීයි. එය මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්හත් දහසක්. (50,37,000) 2019 වසරේදී අස්වැන්න වූයේ වී මෙට්‍රික් ටොන් හතළිස් පන් ලක්ෂ අනූ දෙදහසක් (45,92,000) පමණයි. 2019 වසරට වැඩිය 2020 දී සියයට 7.9ක වැඩිවීමක් පෙන්නුම් කළා. රටේ අවශ්‍යතාව වන්නේ වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් පමණයි. ඒ නිසා පසුගිය වසරවල අපේ රටේ දිගටම වී නිෂ්පාදනයේ අතිරික්තයක් පැවතුණා.

2021 වසර පටන් ගන්නේ 2020 වසරේ ලක්ෂ 14 ½ පමණ වැනි අතිරික්ත අස්වැන්නද සමගයි. මේ වනවිට මහ කන්නයේ සියයට 30ක් පමණ අස්වැන්න නෙලා අවසන්. තවත් අස්වැන්න පැමිණෙමින් පවතිනවා. හාල් හිඟයක් එන්න නම් වී හිඟයක් තියෙන්න ඕනෑ. එහෙත් වී අතිරික්තයක් තබාගෙන රටේ සහල් හිඟයක් තියෙන්නේ කොහොමද? කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කර ඇති බව කාටත් පැහැදිලියි.

අපේ රටේ විශාල හාල් මාෆියාවක් තිබෙනවා. එහි වගකීම රජය බාරගත යුතුයි. මෙම මාෆියාව වෙනත් රජයන් යටතේද දිගටම පැවැති අතර, එයට අභියෝග කිරීමට කිසිදු රජයක් සමත් වී නැහැ. දැන් ගොවියාගේ වී මිල කිලෝව රුපියල් 40ක් වුවත් දැනට මාස දෙක තුනකට කලින් නාඩු වී කිලෝව රුපියල් 65ට, සම්බා 75ට කීරි සම්බා රුපියල් 80 දක්වා වී මිල ඉහළ ගියා. ඒ දිනවල ඒ වී මිලට ගැලපෙන අන්දමට තමා සහල් මිල නියම කළේ. නමුත් ඒ තත්ත්වය දැන් වෙනස්. වී මිල අඩු නිසා දැන් සහල් මිල අනිවාර්යයෙන් අඩුවිය යුතුයි.

මේ පාර මාෆියාකාරයන් දණගස්සනවා

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමග

චෝදනා කරන්නේ රටේ සහල් මාෆියාවක් නිර්මාණය කර ඇති බවටය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් හතර දෙනෙක් මෙයට සම්බන්ධ අතර ඔවුන් ගොවියාගෙන් අඩු මිල අස්වනු මිලට ගෙන එක කන්නයකදී පමණක් රුපියල් මිලියන 500-1000 අතර මුදලක් අසාධාරණ ලෙස උපයන්නේ යැයි ඔහු කියයි. වී මෝල් වසා දැමීමට සිදුවුවත් මේ වසරේදී කිසිදු ලෙසකින් සහල් මිල වැඩිකිරීමට ඉඩ නොදෙන බවට ඔහු සහතික වෙයි.

&කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීමට හැදුවොත් රජයේ වී සංචිතවලින් සහල් නිෂ්පාදනය කර සතොස හා සමුපකාර සමිති මගින් උපරිම මිලට අඩුවෙන් බෙදාහරිනවා. ස.තො.ස. හා සමුපකාර වෙළෙඳසල්වලින් නාඩු කිලෝව රුපියල් 94කට හා සම්බා කිලෝව රුපියල් 99කට අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙවර මහ කන්නයේ හෙක්ටයාර හත් ලක්ෂ හැට හතර දහස (7,64,000)ක වී වගාකර තිබෙනවා. ඒ අනුව මේ වසරේ සහල් අපනයනය කිරීමටද අපිට පුළුවන්.

රජය සහල් සංචිතයක් තියාගන්නට යාම ගැන සහල් මාෆියාවේ පිරිස බියවෙලා. අපි රුපියල් 50ට වී ගන්න විට ඒ අය රුපියල් 54ට ගන්නවා. මේ මාෆියාවේ නිරත පිරිස කරන්නේ වී නිෂ්පාදනයෙන් සියයට 75-80ක් මිලදී ගන්න එකයි. අන්තිමට සියයට 5-10 විතර කිලෝව රුපියල් 80 ගණනේ ගන්නවා. ඊටපස්සේ ආණ්ඩුවට කියන්නේ සහල් නිෂ්පාදනයට වැඩි මිලක් යන නිසා කිලෝව රුපියල් 125ට දෙන්න ඕනෑ කියලයි. එහෙම කරලා තමා මිලියන ගණන් හොයන්නේ. ඔවුන් මාධ්‍ය ඉදිරියට ගිහින් සුදනො වගේ කතා කරනවා. ඒත් මෙවර නම් අහිංසක ගොවියාගේ බඩට තට්ටු කිරීමට නොහැකි බව මහා මෝල් හිමියන් වැඩිදෙනාට දැනිලා තියෙනවා.

අපි රුපියල් 50ට වී ගන්න නිසා අපිට රුපියල් 93ට සහල් දෙන්න පුළුවන්. රුපියල් 55ට වී ගත්තොත් සහල් කිලෝව රුපියල් 101ක් වෙනවා. 60ට ගත්තොත් රුපියල් 111ක් වෙනවා. අපි ගොවියාට වී කිලෝව සඳහා ගෙවන්නේ ඉතාම සාධාරණ මිලක්. ගොවියාට වී කිලෝවක් හදන්න දැනට වැයවන්නේ රුපියල් 25-30ක මිලක්. රජය වී මිලට ගැනීමට 2021 වසරේදී රුපියල් මිලියන විසිතුන් දහසක් වැයකරලා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයට මිලියන 16,000ක් දිසාපතිවරුන්ට 2000 හා සමුපකාර සමිතිවලට 5000ක් වශයෙන්. එසේම ගබඩා 323ක් මුළුමනින්ම අලුත්වැඩියා කර මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ විසිපන් දහසක් (3,25,000) ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තියෙනවා. එය කර ඇත්තේ හමුදාව මැදිහත් කරගෙනයි. වී සංචිත ලබාගැනීමේ මූලික අරමුණ ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම සහල් මාෆියාවෙන් ගලවා ගැනීමයි.

ඉතිහාසයේ වී මිලට ගැනීමට වැඩිම මුදලක් වැයකර ඇත්තේ මේ වසරේයි. මෙයට පෙර වී මිලදී ගැනීමට වෙන්කර ඇති මුදල් සමඟ සැසඳීමේදී එය විශාල අගයක් ගන්නවා.

 යසවර්ධන රුද්රිගු