2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

එක ගහක් ආරක්ෂා කරගැනීම විසඳුමක් නොවේ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 28

ගහක් දෙකක් සිටුවා පරිසරය ආරක්ෂා කරන්නට නොහැකි බව අලුතින්ම ප‍්‍රකාශ වන කරුණකි. වනාන්තරයක් කපා කොටා වැනසීම පමණක් නොව අලුතින්ම වනාන්තරයක් වැවීමත් උත්තරයක් නොවේ. එක තැනක සිදුරු වහන විට වෙනත් සිදුරු දහස් ගණනකින් පරිසරයට හානිවෙමින් තිබේ. ප‍්‍රකට ප‍්‍රකෝටිපතියකු හා නවෝත්පාදන අදහස් සහිත බිල් ගේට්ස් ඔහුගේ අලුත් වෑයම පරිසරය ගැන අවධානය යොමු කිරීමය. කාලගුණ විපත්තියකින් ගැලවෙන්නේ කෙසේද යන්න ගැන කෘතියක් ද අලුතින්ම ලියා තිබේ. අද වන විට ජගත් ප‍්‍රජාව මුහුණ දී ඇති කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සුළු දෙයකි. එහෙත් කාලගුණ විපත්වලින් ගැලවෙන්නට නම් පුළුල් දර්ශනයක් අවශ්‍ය බව ඔහු කියා ඇත. එය විශාල අවධානයකට ලක්ව ඇති කරුණකි.  

බිලියන පනස් එකක් බිංදුවකට හරවා ගැනීම බිල් ගේට්ස් පෙන්වා දෙන තර්කයකි. විශාල ඉලක්කමක් බිංදුවට හැරවීම පහසු නැත. මෙටි‍්‍රක් ටොන් බිලියන පනස් එකක් යනු මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා එක වසරකට වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප‍්‍රමාණයයි. ඒවා කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වාතය බව දැක්වෙයි. මනුෂ්‍යයා ආහාර නිපදවා ගැනීමට අලුත් ක‍්‍රම භාවිත කරයි. සත්ත්ව නිෂ්පාදන විශේෂිතය. හරිතාගාර තත්ත්ව යටතේ කරන ක‍්‍රියාකාරකම්වලින් අහිතකර වායු නිපදවෙයි. ඒවා වායුගෝලයට එකතුවන අතර අවසානයේ දී ඕසෝන ස්ථරයට හානියකි. ස්ථරයට හානිවන විට පාරජම්බුල කිරණ පොළොවට පතිත වන අතර සෑම වසරක් පාසා ගෝලීය උණුසුම වැඩිවෙයි. හරිතාගාර විමෝචනය ඔස්සේ අවුරුද්දකට නිපදවන බවට දැනට ගණන් බලා ඇති අහිතකර වායු ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන පනස් එකක් නම් හොඳ පරිසර තත්ත්ව සඳහා මෙම ඉලක්කම බිංදුවක් කරගත යුතුය. ගහක් සිටුවීමෙන් හෝ පොලිතීන් භාවිත කිරීම වැළැක්වීමෙන් පමණක් උත්තරය සොයාගත නොහැකිය. 

දැනට සිදුවී ඇති පරිසර හානිය වළක්වා ගැනීමට වසර තිහක් එක දිගට වෙහෙසෙන්නට සිදුවෙයි. එහෙත් ඒ අතරතුර මිනිසාගේ ක‍්‍රියාකාරකම් නතර නොවේ. ජල විදුලිය, සූර්ය විදුලිය හෝ සුළං විදුලිය බලාගාරවලින් ශක්තිය නිපදවාගෙන තෙල් පිළිස්සීම අවම කිරීමෙන් යහපතක් සිදුවනු ඇතැයි තර්කයක් ගොඩනැගීමට බැරිකමක් නැත. එහෙත් අවාසනාවකට මෙකී පරිසර හිතකාමී බලශක්ති උත්පාදනයෙන් පවා වළකාගත හැක්කේ සම්පූර්ණ හානියෙන් සියයට තිහකට ආසන්න ප‍්‍රමාණයක් පමණකි. ඉතිරි සියයට හැත්තෑව නොනවත්වා අනාගතය අවහිර කරන බව සනාථ කර තිබේ. ලෝකයේ නොයෙක් රටවල් විදුලිය වාහන භාවිත කිරීමට පියවර ගෙන තිබේ. සමහර රටවල් වසර 2030-40 ඇතුළත ඉන්ධන භාවිත කරන සැහැල්ලු වාහන නගරවලට ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන පියවර ගෙන ඇත. විදුලිය වාහන පරිසර හිතකාමී බව පිළිගත යුතු නමුත් එම වාහනවලට අවශ්‍ය විදුලිය නිපදවන ක‍්‍රමය පරිසරයට හිතකර නැත. ගල් අඟුරු හෝ දැවිතෙල් බලාගාරවලින් ඇතිකරන හානිය ප‍්‍රබලය. වාහන විදුලියට හරවා බලශක්තියට තෙල් පුළුස්සන විට පරිසරයට විශාල වාසියක් නැත.   

විදුලිය උත්පාදනය සඳහා පරිසර හිතකාමී පැති පමණක් නොව දියුණු තාක්ෂණය භාවිත කළ යුතු බවට මතයක් ඉදිරිපත් වී තිබේ. එය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් සඳහන් කරන පරිදි න්‍යෂ්ටික බලය අවධානය යොමු කළ යුතු අංශයකි. ඉන්දියාවේ බෝපාල් නගරයේ සිද්ධිය සහ ජපානයේ පුකුෂිමා හි න්‍යෂ්ටික බලාගාරයේ අනතුර ලෝක ඉතිහාසයේ භයානක සිද්ධි වශයෙන් සිත් සසල කරවයි. එයින් පාඩම් ඉගෙනගත් සමහර රටවල් න්‍යෂ්ටික බලයට අත තබන්නට සූදානමක් නැත. 1984 දී සිදුවූ බෝපාල් සිද්ධිය සහ 2011 සිදුවූ පුකුෂිමා බලාගාරයේ අනතුර සිදුවන කාලසීමාවට වඩා විද්‍යාව හා තාක්ෂණය දියුණු වී තිබේ. විශාල පරිවර්තන යුගයකි. ඉතාම ආරක්ෂා සහිතව න්‍යෂ්ටික බලය හසුරුවන්නට හැකියාව තිබෙන බව ක්ෂේත‍්‍රයේ නියමුවෝ පෙන්වා දෙති. එවැනි අංශ බලශක්තිය වෙනුවෙන් මනා පිටිවහලක් වනු ඇත.

විද්‍යුත් තැපෑලෙන් ලැබෙන ලිපියක් මුද්‍රණය කිරීමෙන් වැළකෙන සේ පවා උපදෙස් දෙන පරිසර හිතකාමීහු කඩදාසි නිෂ්පාදනය සඳහා කරන වනාන්තර විනාශය වළකන අදහස ඇතිව සිටිති. එයින් විශාල පිටිවහලක් ලැබෙන්නේ නැත. එහෙත් සුළු උත්තේජනයක් පවා අලුතින් හිතන තැනකට යොමු කර තිබේ. සමහර පරිසර හිතකාමීන් කිරි නිෂ්පාදන හා මාංශ අනුභවය නතර කර ඇති අතර එයට හේතුව සත්ත්ව පාලනයෙන් සිදුවන වායු විමෝචනය අවම කිරීමට දායකවීම බව නොරහසකි. කුඩා පියවරවලින් පවා මහා ප‍්‍රයත්නයකට පදනම සකස් වෙයි. කෙසේ නමුත් දැනට කරන පර්යේෂණ අනුව වායුගෝලයට වාර්ෂිකව මුදාහැරෙන මෙට්‍රික් ටොන් බිලියන පනස් එක ඉතා වැදගත් සාධකයකි. ගහකොළ සතා සීපාවා පමණක් නොව සමස්ත මනුෂ්‍ය සංහතිකය ජීවත්වන ක‍්‍රමය වෙනස් කරන පියවරක් විය යුතුය. අප හිතන පතන, ආහාර ගන්නා පමණක් නොව අඳින පළඳින දේ වලින් පවා පරිසරයට කරන හානිය බරපතළය. 

පවතින අර්බුදය සලකා බලා සෑම පුද්ගලයකුටම පරිසර ගිණුමක් ආරම්භ කළ හැකිය. හානිය අවම වන සේ තීරණ ගත යුතු අතර හානිවන සෑම අවස්ථාවකම එයට පිළියම් වශයෙන් යමක් පරිසරයට දායක කරන්නට අවශ්‍යය. එය පහසු දෙයක් නොවේ. එපමණ අපහසු ද නැත. බිලියන 7.8ක් වන ලෝක ජනගහණය එකමුතුව එකට තීරණ ගතහොත් අනාගත පරපුර වෙනුවෙන් යහපත් ලෝකයක් ඉතිරි කළ හැකිය. විශාල සංකල්පයකි. ශ‍්‍රී ලංකාව සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සෑහෙන ක‍්‍රියාකාරකම් යෝජනා කරයි. අලුතින් යමක් සැලසුම් කරන සෑම අවස්ථාවකම මෙට්‍රික් ටොන් බිලියන පනස් එකක ඉලක්කම තුළ තීරණ ගත යුතුව තිබේ.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03