අප මේ සිටින්නේ විද්‍යා ප්‍රබන්ධ අපේ ඇස් පනාපිට සැබෑවන යුගයකය. මිනිසා සඳ වෙත ගිය බව තවමත් නොපිළිගන්නා පිරිසක් වෙසෙන ලොවක් තුළ එකවර මහපොළොවේ ජාතීන් 3ක් නියෝජනය කරමින් පර් යේෂණ චන්ද්‍රිකාව දෙකක් සහ රෝවර් යානයක් අපේ රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත ළඟා වූ අපූරු යුගයකය. මේ ගමන් මිනිස් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනා අනාගත අභ්‍යවකාශ ජනාවාස සහිත විශ්මිත ලෝකය වෙත දොරටුව හැර දෙන අසිරිමත් ගමන්ය. මේ අතරින්ද අඟහරු ජීවය ගැන හෝඩුවාවන් සොයා ගිය මිනිස් අතින් නිපැයූ 05 වැනි රෝවර් යානය වන පර්සිවරන්ස්ගේ අඟහරු ගමන අපටද මහා වැදගත්කමක් දරණ මෙහෙයුමකි. ඒ අඟහරු තරණ ඉතිහාසයේ මේ අද්වීතීය යානා තැනීම සඳහා ශ්‍රී ලාංකීය විද්වතුන් රැසකගේම සහාය ද එක්වී ඇති නිසාය. විශේෂයෙන්ම එයින් දෙදෙනකු ප්‍රධානය. ලංකාවෙන් ගොස් අමෙරිකාවේ නාසා ආයතනයට එක්ව කටයුතු කරනා පුරෝගාමී අඟහරු මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙන මේ දෙදෙනා අපට රටට මහත් කීර්තියක් අත්කර දී හමාරය.
සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩබස්වන ලද 5 වැනි රෝවරය වන පර්සිවිරන්ස් අඟහරු මත ඉදිරියේදී ක්‍රියාත්මකව පවතින සෑම දිනයක් දිනයක් පාසා අපේ රටටද මහත් කීර්තියක් අත්කර දෙන්නේ එය බලගැන්වීමට සහ දිගටම ක්‍රියාත්මකව තබාගන්නට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දුන් ප්‍රමුඛයන් අතරට අපේ විද්වතුන් දෙදෙනකුද එක්ව සිටින නිසාය. ඉන් එක් අයෙක් නම් මීට පෙර අඟහරු රෝවර සඳහාද දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ආචාර්ය සරත් ගුණපාලය. අනෙක් තැනැත්තිය මේ අලුත්ම ප්‍රබල අඟහරු රෝවරයේ ඉලෙක්ට්‍රොනික පරිපථ පිළිබඳ සැලසුම සකස් කළ ආචාර්ය මෙලනි නිලන්ති මහාරච්චිය.
මෙ වන විටද අඟහරු මතට ගොස් ඇති සෝජෝර්නර්, ස්පිරිට්, ඔපර්චුනිටි, ක්යූරියෝසිටි සහ අලුතෙන්ම එහි ගිය පර්සිවිරන්ස් කියන රෝවර දැනට අඟහරු මතට ගොඩබැස, අඟහරු ග්‍රහයා මත සංචරණය කර, සක්‍රීය ගවේෂණයන්හි නිරත වී ඇති සාර්ථක මෙහෙයුම්ය.
සමස්තයක් ලෙස අඟහරු ග්‍රහයා මතට ගොඩබසින්නට සහ ඒ වටා කක්ෂගතව තොරතුරු එවන්නට ලෝකයේ විවිධ රටවලින් මෙහෙයුම් 49ක් මේ වන විට ක්‍රියාත්මක වී හමාරය. ඒවා අතරින් ද අසාර්ථක වූ ක්‍රියාන්විත ගණන 3 කි. පර්සිවිරන්ස් නාසා ආයතනය මගින් එතෙක් මෙතෙක් මෙහෙයවූ අති සාර්ථකම වූ මෙහෙයුම ලෙස සැලකිය හැකිය.
සෝවියට් සමූහාණ්ඩුව හෙවත් රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය, මහජන චීන සමූහාණ්ඩුව, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වන විට අඟහරු මෙහෙයුම්වලට කෙළින්ම සම්බන්ධ රටවල්ය. මේ මහා රටවල් දැක්වූ දායකත්වය හා සමාන දායකත්වයක් අපේ රටෙන් නාසා වෙත ගිය විද්‍යාඥයන් දෙදෙනා පමණක් තිළිණ කර හමාරය.
අඟහරු ග්‍රහයා මත හඳුනාගත් ගොඩබැසුම් ලක්ෂ්‍ය අතුරින් අසීරුතම ගොඩබැසුම් ලක්ෂ්‍ය වන ජසේරෝ ආගාධයට නව පර්සිවරන්ස් රෝවරය සහිත පද්ධතිය ඉතා සාර්ථකව ගොඩබස්වනු ලැබිණි.
ජසේරෝ ආගාධය ගැන වැදගත්ම තොරතුර වන්නේ, අතීතයේ යම් කාලයක එම ආගාධයේ ජලය සහිත විලක් තිබී ඇත යන අනුමානයයි. සැබැ තත්ත්වය ද එසේම නම්, එම විලෙහි ක්ෂුද්‍ර ජීවය පැවතී තිබෙන්නට ඉඩ ඇති අතර, එයින් යම් කොටසක් හෝ විල් ජලය සිඳී ගිය පසුවද පාෂාණිභූත වී හෝ ෆොසිලකරණය වී සුරැකී තිබෙන්නට ඉඩ ඇත. එම ජීවය පිළිබඳව තතු සොයා බැලීම පර්සිවෙරන්ස් හි ප්‍රධාන අරමුණුවලින් එකකි.
මෙම රෝවරය මෙතෙක් අඟහරු ගවේෂණ සඳහා යොදාගත් රෝවර අතර යෝධයෙකි. සාමාන්‍යයෙන් මින් පෙර ගිය රෝවර්වල තිබෙන උපකරණ පද්ධතිවලට අමතරව, මෙහි අඟහරු පෘෂ්ඨය මත ධ්වනි ග්‍රහණය කරගන්න අවශ්‍ය ප්‍රබල මයික්‍රෆෝන් දෙකක්ද ඇතුළුව ප්‍රධාන පද්ධති 8ක් සහිත විශේෂ උපකරණ රැසක්ම පිහිටුවා තිබේ.
මෙය මින් පෙර ගිය ප්‍රධානම රෝවරය වන ක්යූරියෝසිටි රෝවරයට වඩා කිලෝ 100 ක් බරින් වැඩිය. එසේ වූයේ මෙහි නව පද්ධති, වැඩිපුර කැමරා ආදිය සවිකර තිබෙන නිසාය. සමස්තයක් ලෙස රෝවරයට සහ ලෑන්ඩරයට කැමරා පමණක් 23ක් තිබේ. කියුරියෝසිටි රෝවරයේ රෝදවල සහ සැකිල්ලේ තිබුණු අර්බුද කිහිපයක්ම මේ රෝවරය නිපදවද්දී වෙනස් කර ඇත. අනෙක් රෝවර්වල තිබෙන ගවේෂක යානයක් වීමේ ගතියට වඩා, මෙම රෝවරය අංගසම්පූර්ණ විද්‍යාගාරයක් ලෙස ක්‍රියා කිරීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි.
Perseverance රෝවරයේ භාවිත කරන්නා වූ නව විද්‍යාත්මක උපකරණ හේතුවෙන් මෙම මෙහෙයුමෙහි දී අසීරු එල්ලයකට ගොඩබෑමේ මුළු අවදානම හා පරීක්ෂණ පිරිවැය අවම කොට තිබේ. ඒ සඳහා ප්‍රධාන දෘඩාංග පද්ධති හතක් Perseverance රෝවරයේ ස්ථාපිත කොට ඇත.
මෙම රෝවරය යවන්නේ අඟහරු භූ විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය, අතීතයේ අඟහරු මත වූ ජීවත්වීමට තිබූ යෝග්‍යතාව පිරික්සීම, පුරාණ ක්ෂුද්‍ර ජීවය පිළිබඳ සාක්ෂි සෙවීම මෙන්ම අනාගත රොබෝ හා මානව ගවේෂණ සඳහා මංපෙත් විවර කර දීම වැනි මූලික අරමුණු කිහිපයකින් යුතුවය. කෙසේ නමුත් Perseverance රෝවරයේ සැලසුම නාසාහි කලින් අඟහරු බලා ගිය Curiosity රෝවරයේ ආකෘතියට බොහෝ සෙයින් සමානය. අමෙරිකාවේ නාසා ආයතනය විසින් කලින් නිපදවනු ලැබූ Curiosity (කියුරියෝසිටි) රොබෝ රෝවරයේ විද්‍යාත්මක තොරතුරු හැදෑරීමට උපකරණ 8ක් ඇත. ඒ අතරින් මෙහි සෑම් යන උපකරණයේ පමණක් විද්‍යාත්මක තොරතුරු ගවේෂණයට උපකරණ 6ක් ඇත. මෙම සෑම් උපකරණය තුළ සකස් කර ඇති TLS (Tunable Laser Spectrometer) උපකරණයේ ලේසර් නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේ කීර්තිමත් ලාංකික විද්‍යාඥයෙක් වන ආචාර්ය සරත් ගුණපාල මහතාය.
ශ්‍රී ලංකා රන්ජන සම්මානිත ආචාර්ය සරත් ගුණපාල මහතා උපත ලැබුවේ කෑගල්ල, යටියන්තොට ප්රදේශයේය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් අධ්‍යාපනය පිළිවෙලින් කොළඹ සරසවිය සහ අමෙරිකාවේ Pittsburgh සරසවිය මගින් ලබාගෙන ඇත. ආචාර්ය ගුණපාල 1992 දී AT and T Bell Laboratories හි පර් යේෂණ නිලධාරියකු ලෙස සේවය කිරීමෙන් පසු නාසා ආයතනයට එක් විය. ඔහු ඝණ ප්‍රමාණික භෞතික විද්‍යාඥයකු, ජ්‍යෙෂ්ඨ පර් යේෂණ විද්‍යාඥයකු සහ අමෙරිකාවේ NASA ආයතනයේ Jet Propulsion විද්‍යාගාරයේ ජ්‍යෙෂ්ඨ පර් යේෂණ විද්‍යාඥයකු සහ කණ්ඩායම් අධීක්ෂකයෙකි. හෙතෙම එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්ද වෙයි. ඔහු අඟහරු ගවේෂණ ආරම්භයේ සිට අද දක්වා ලබා දී ඇති දායකත්වය අති මහත්ය.
1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවූ ටෙරස්ටයල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් යොදාගත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා, ආචාර්ය සරත් ගුණපාලය.
එසේම කලින් කී පරිදි 2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වනු ලැබූ ක්යූරියෝසිටි රොබෝ යානයට අවශ්‍ය සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ ආචාර්ය සරත් ගුණපාලගේ නායකත්වයෙනි. මේ අන්දමටම ඔහුගේ නිර්මාණ නව රෝවරයේද මෙහෙයුම සාර්ථක කර ගැනීමට භාවිතයට ගෙන තිබේ.
Perseverance රෝවරයට සම්බන්ධව කියැවෙන අනෙක් ශ්‍රී ලාංකීය නාමය වන්නේ මෙලනි නිලන්ති මහාරච්චිගේ නමය.
අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන මෙලනි මහාරච්චි යනු යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් පිළිබඳ ඉංජිනේරුවරියකි. ඇය සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු සමඟ වෙසෙන අතර, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ඉහළ උපාධිය ලබාගත්තාය. ඇය මෙරට දී ගල්කිස්ස උසස් බාලිකාවෙන් සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය.
ඇය මෙම නවතම Mars rover යානයේ විදුලි පරිපථය නිර්මාණය කළ ඉංජිනේරුවරියයි. සඳ තරණයෙන් පසු මිනිසා තැබූ යෝධ පිම්මක් වන මෙම පර්සිවරන්ස් මෙහෙයුමේ Mars rover යානයේ විදුලි පරිපථයේ තනි නිමැවුම්කාරිය අපගේ රටෙහි ඉංජිනේරු විද්යාවේදිනියක් වීම අපට මහත් ආඩම්බරයකි. මෙලනි ස්පේස්එක්ස්, බෝයිං සහ නාසා ජෙට් ප්රචාලන රසායනාගාරයේ (ජේපීඑල්) සේවය කළාය. ස්පේස්එක්ස් හිදී, මෙලනි ෆැල්කන් 9 රොකට්ටුව සඳහා මර්ලින් එන්ජින් සැලසුම් කණ්ඩායමේ දී සුප්‍රකට එලොන් මස්ක් සමඟ එක්ව වැඩ කර ඇති පළපුරැදු ඉංජිනේරුවරියකි.
සුගත් පී. කුලතුංගආරච්චි