2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

චණ්ඩින් මැරයන් රජ කරවන ලීසිං කෙරුවාව

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

ලීසිං වාරිකය නොගෙවූ තැන මඟ තොටේ දී සීසර්ලා වාහන උස්සාගෙන යෑම නිසා ඇතිවෙන කලකෝලාහල ලක්වාසීන්ට අමුතු දෙයක් නොවේ. එහෙත් මෑතකාලීන සීසර්ලා සහ රථවාහන හිමියන් අතර ඇතිවූ ආරවුල් පිළිබඳ නොයෙකුත් පුවත් නිර්මාණය විය. එනිසාම යම් සමාජ සංවාදයක් ද නිර්මාණය වෙමින් තිබුණි. ඒ අතර පසුගිය වසරේ ලීසිං ආරවුලක් හේතුවෙන් ප්‍රකට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ  සුනිල් ජයවර්ධන ඝාතනය විය. ඒ සමඟම බොහෝ දෙනා ලීසිං සහ සීසර්ලා පිළිබඳ නීතියේ යම් වෙනසක් අපේක්ෂා කළහ. ඒ අනුව  පසුගියදා ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අලුත් අර්ථ නිරූපණයක් එළි දුටුවේය.

මෙහිදී සිදුවූයේ පොලිස්පතිවරයා ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය වගකීම්සහගත තත්ත්වයකට ඔසවා තැබීමය. පොලිස්පතිවරයා විසින් සම්පාදිත ලිපියක් මගින් නව කාර්යභාරය පිළිබඳ උසස් පොලිස් නිලධාරීන් මේ වන විටත් දැනුවත් කරනු ලැබ තිබේ. එම ලිපියට අනුව කල්බදු මූල්‍යකරණ පනත යටතේ උපකරණ නැවත ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත පෙර දැනුම්දීමක් සිදු කළ යුතුය.

පෙර සේ ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම්වලට අවැසි පරිදි අත්පත් කර ගැනීමට ඇති අවකාශය මේ හරහා සීමා වෙයි. ඒ අනුව ලීසිං වාරික නොගෙවා හැරි පුද්ගලයන්ගේ රථවාහන පොලීසියට නොදන්වා අත්පත් කර ගැනීමට තවදුරටත් නොහැකිය. මේ හරහා සීසර්ලාගේ ක්‍රියාකාරීත්වය තවදුරටත්  සංකීර්ණ කිරීමටත් වගකීම්සහගත කිරීමටත්  පොලීසිය පියවර ගෙන ඇති බව පෙනී යයි. පොලිස්පතිවරයාට අනුව බදු දීමනාකරු හෝ බලය පැවරුණු නියෝජිතයා විසින් පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් සිදුකිරීමේදී තොරතුරු සටහන් පොතෙහි එම ප්‍රකාශය සටහන් කිරීම හෝ ලිඛිත ප්‍රකාශයක් තොරතුරු පොතේ ඇලවීමට පියවර ගත යුතුය.

කෙසේවෙතත් මෙහිදී සිදුව ඇති සුවිශේෂීම වෙනස නම් අදාළ අත්පත් කරගැනීම් සඳහා ඉඩකඩ ලැබෙන්නේ ඊට ප්‍රතිරෝධයක් නොමැති අවස්ථාවක දී පමණක් වීමය. මෙය වඩාත් සරලව කියතොත් වාහනයක් සීස් කරන විට යම් ආරවුලක් ගැටුමක් නිර්මාණය වුවහොත් පොලීසියට දැනුම් දී තිබුණ ද සීසර්වරුන්ට බලහත්කාරයෙන් එය අත්පත් කර ගැනීමට සිදු කිරීමට නොහැකිය. එලෙස උපකරණයේ සන්තකය ලබාගැනීමකදී ප්‍රතිරෝධය පෑමක් එල්ලවන විට බදු දීමනාකරු විසින් සිදු කළ යුත්තේ පනතේ ප්‍රතිපාදනවලට අනුව දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීමය. පොලිස්පතිවරයා  සිය ලිපිය මගින් එය අවධාරණය කරයි. එසේ නම් තවදුරටත් බලහත්කාරයෙන් විරෝධතා මැද වාහන උස්සාගෙන යාමට ලීසිං සමාගම්වල තැරව්කරුවන්ට නොහැකිය.

ගෙවීම් පැහැර හරින විට කල්බදු ආඥා පනත අනුව නැවත අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය පියවර කිහිපයක් ඔස්සේ සිදුවෙයි. ගෙවීම සම්බන්ධව දැනුම්දීම ආදී කටයුතු රැසක් වන අතර අවසාන විකල්පය ලෙස කල්බදු ගිවිසුම අවලංගු කිරීමට සිදුවෙයි. ගෙවීම් සම්බන්ධව යම් යම් විකල්පයන්ට යෑමට සේවාලාභියාට අවස්ථා කිහිපයක්ම තිබේ. මෙරට බහුතරයක් දෙනා එම ක්‍රමවේදය අනුගමනය කරයි. බොහෝවිට නැවත අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය අසුවන්නේ එම ක්‍රමවේදය අනුගමනය නොකළ පිරිසටය. එවන් තත්ත්වයක් මත පොලිස්පතිවරයා හඳුන්වා දෙන ක්‍රමවේදය අප  සාපේක්ෂව කියවාගැනීම වටී. නීතියෙන් පැන යන්නට මේ ඔස්සේ වාසි අත්පත්වීමේ හැකියාවක් ද තිබේ. එසේ වුවහොත් නීතිගරුක අයට පවා සිදුවන්නේ අසාධාරණයකි. සැබවින්ම වංචනික අදහස් ඇති අතළොස්සක් වූ පිරිසට නව ක්‍රමය තුළ යම් වාසියක් අත්වෙයි.

ඒ කෙසේ නමුත් මෙරට ඇතැම් ලීසිං සමාගම් සීසර්වරුන් ලෙස භාවිත කරන පුද්ගලයන් සම්බන්ධව දැඩි ගැටලු පවතියි. මැරයන්, චණ්ඩින් මෙම ක්ෂේත්‍රය මුළුමනින්ම ආක්‍රමණය කර ඇත. ඒ අනුව බොහෝ ගැටුම්වලට ද හේතු වී ඇත්තේ ක්ෂේත්‍රයේ  වෘත්තීයමයභාවයක් නොමැති වීමය. සැබවින්ම සිදුවිය යුත්තේ මෙහි වෘත්තීයමයභාවය ගොඩනැගීමය. උදාහරණයක් ලෙස ලීසිං ක්ෂේත්‍රයේ සිටින ලියාපදිංචි තක්සේරුවන් සඳහන් කළ හැකිය. සීසර්ලා ද ලියාපදිංචි කොට නිසි නියාමනයකට යටත් කරන්නේ නම් බොහෝ ගැටලු විසඳෙනු ඇත. විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් මෙම කටයුත්ත සඳහා භාවිත කිරීම වඩාත් උචිතය.

සුනිල් ජයවර්ධන  වියෝවත් සමඟ රටේම අවධානය මේ සඳහා යොමුවූ බව සැබෑය. සීසර්ලාගේ ගැටලුවට එහා ගිය ගැටලු රැසක් මේ ක්ෂේත්‍රයේ තිබේ. නමුත් ගොඩ ෆිනෑන්ස් ආයතන ඉන් ප්‍රමුඛය.  මෙරට මහ බැංකුවේ ලියාපදිංචි කල්බදු සහ මූල්‍ය සමාගම්  සම්බන්ධව ද නිසි නියාමනයක් නොවීම තවත් ගැටලුවකි. මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතන කිහිපයක් පසුගිය සමයේ අප ඇස් පනාපිට කඩා වැටුණි. ඒ සියල්ල තිබුණේ මහ බැංකු නියාමනය යටතේය. තවත් පසෙකින් මෙම සමාගම් පාරිභෝගිකයන්  සමඟ එළඹෙන ගිවිසුම්වල ද ගැටලු රැසක් තිබේ. ඒවා බොහෝවිට සකස් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉතා දීර්ඝ මෙම ගිවිසුම් කියවීමට පාරිභෝගිකයන්ගෙන් අති බහුතර සමාගම්  කටයුතු කරන්නේ ද නැත. ඒ අනුව ලීසිං ක්ෂේත්‍ර පිළිබඳ මීට පුළුල් දැක්මක් යටතේ වැඩ කිරීමට මෙරට මහ බැංකුව ඇතුළු වගකිවයුතු බලධාරීන් කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතුය. 

අවසාන වශයෙන්  සඳහන් කළ යුත්තේ සීසර්ලාගේ සේවය ලබා නොගන්නා වැදගත් ලීසිං සමාගම් කිහිපයක්ද මෙරට තුළ වන බවය. නමුත් අවාසනාවකට පාරිභෝගිකයන් ඒ පිළිබඳ දැනුම්වත් නැත.  ලීසිං මෙරට දියුණුව ජනතාවට අත්‍යවශ්‍ය දෙයකි. පවතින ආර්ථික අර්බුදයක් හමුවේ සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට ඇති සාධනීයම ක්‍රමවේදය එයයි. රථවාහන පමණක් නොව කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වාහන යන්ත්‍ර සූත්‍ර, ගොවිතැන සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් ඇතුළු උපකරණ රැසක් මෙම ක්‍රමය යටතේ ජනතාව මිලදී ගනිති. එම නිසාම මෙම ක්ෂේත්‍ර නීතියේ ආධිපත්‍යයට යටත් කොට තැබීම අතිශය වැදගත් වේ. වංචනිකයන්ට වැට බැඳීම මෙන්ම සේවාදායකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම ද එක හා සමානව සිදුවිය යුතුමය.

නීතිමය කරුණු පැහැදිලි කිරීම :  ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා

සටහන : චමිඳු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03