2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

මරාගෙන මැරෙන ෂහීඩවරගෙන් සහරාන් අන්තවාදයේ සැඟවුණු තොරතුරු එළියට!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් සැලකෙන්නේ සහරාන් හෂීම් නැමැත්තාය. අන්තවාදී අදහස් පතුරමින් ඊට යටත් අනුගාමිකයන් රැලක් බිහිකිරීමට මූලිකත්වය ගත් සහරාන් මරාගෙන මැරෙන කල්ලියක්ද නිර්මාණය කොටගෙන තිබිණි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු කල්ලි සාමාජිකයන්ට අමතරව අවි පුහුණුව ලබා මරාගෙන මැරීමට පුහුණුව ලැබූ තරුණියන් 15 දෙනකු පිළිබඳවත් කරුණු අනාවරණය වී තිබේ.

සහරාන් ඇතුළු කල්ලියේ අන්තවාදී පුහුණු සැසි සියල්ල අවසානයේ මරාගෙන මැරීමට සූදානම් වූ සාමාජිකයන් අරාබි බසින් “බයියත්” ලෙස හඳුන්වන දිවුරුම්දීම සහරාන් හෂීම් ඉදිරියේදී ලබා දී එම කල්ලියේ අරමුණ ස්ථිර බව ප්‍රකාශ කර ඇතැයිද හෙළි වී ඇත. ඒ බව සනාථ කෙරෙන එක් ඡායාරූපයක් මේ වන විටත් ප්‍රසිද්ධ වී පවතී. 

මෙකී කරුණු සියල්ල අනාවරණය කරමින් පාපොච්චාරණය කර තිබෙන්නේ ඉකුත් 20 වැනිදා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටු වූ ඊබ්‍රාහිම් ෂහීඩා නැමැති තරුණිය විසිනි. ඇය සහරාන් යටතේ අන්තවාදී දේශනවලට හා අවි සහ මරාගෙන මැරෙන පුහුණුව ලබා අත්අඩංගුවට පත්වන මොහොත තෙක්ම නිදහසේ සිටි තැනැත්තියකි.

ඇය විසින් සිදුකර ඇති පාපොච්චාරණය අනුව සැකකාරිය සහරාන් හෂීම් යටතේ අන්තවාදී දේශනවලට සහභාගී වී ඇතැයි පැවසේ. එහිදී වැඩිදුරටත් අවි පුහුණුව සමඟ මරාගෙන මැරෙන පුහුණුවද ලබා තිබිණ. ඒ අනුව ඇය පෙර කී තරුණියන් 15 අතරට අයත් සාමාජිකාවක බවද ප්‍රකාශ කර තිබේ.

මරාගෙන මැරීම සඳහා දිවුරුම් ලබාදුන් බව කියන තරුණියන් 15 දෙනා අතුරින් පස් දෙනකු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු කළ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. ඒ 2019 අප්‍රේල් මස 25 වැනිදාය. සෙසු දස දෙනාගෙන් හත් දෙනකු රැඳවුම් නියෝග යටතේ තබා වැඩිදුර ප්‍රශ්න කරමින් විමර්ශන සිදු කරති. ඒ අතර ඉතිරි තිදෙනා රිමාන්ඩ් භාරයේ පසුවෙති. රැඳවුම් නියෝග යටතේ තබාගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන ප්‍රශ්න කිරීම අතරතුර හෙළි කළ කරුණක් අනුව ඊබ්‍රාහිම් ෂහීඩා (24) නැමැති තරුණිය අත්අඩංගුවට ගෙන තිබුණේ කඩුගන්නාව හා මාවනැල්ල අතර පිහිටි හිඟුල ප්‍රදේශයේ ඇය පදිංචි නිවසේ සිටියදීය.

අත්අඩංගුවට පත් සැකකාරිය සහරාන්ගේ දේශන ගණනාවකට සහභාගි වූ තැනැත්තියකි. ඇය මීට පෙර අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදු නොකළ තැනැත්තියක වුවද ඇයගේ ඥාතීන් සහරාන් හෂීම් ඇතුළු කල්ලිය සමඟ සමීප සබඳතා පවත්වා තිබෙන බව පැහැදිලිය. මෙම තරුණියගේ පියා රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තෙකි. 50 හැවිරිදි ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගතව සිටී. මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම හා සම්බන්ධ සිදුවීමට එම ප්‍රදේශයේ පදිංචි ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සමඟ ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් නැමැති සොහොයුරන් දෙදෙනාද මේ වන විට බන්ධනාගානර ගත කර සිටිති.‍

රෂීඩ් මොහොමඩ් නැමැති සැකකාර තරුණියගේ පියා සහරාන්ගේ දැනුම්දීම මත අන්තවාදී දේශන සිදුකර ඇති බවද හෙළි වී තිබේ. මොහුට අයත් බව කියන හිඟුල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක තිබී වායු රයිෆල් එකක් පුපුරණ ද්‍රව්‍ය හා පණිවුඩ හුවමාරු යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගැනීමත් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගැනිණ. ඒ 2019 වර්ෂයේදීය.

ඊබ්‍රාහිම් ෂහීඩ් නැමැති සැකකාර තරුණියගේ පාපොච්චාරණය අනුව ඇයට සහෝදරයන් දෙදෙනෙක් සිටිති. එක් අයකු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන අතර අනෙක් පුද්ගලයා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ලැබූවෙකි. එමෙන්ම ගම්පොළ ප්‍රදේශයේ විද්‍යාලයක ස්වේච්ඡා ගුරුවරයෙක් ලෙස සේවය කළ අයෙකි.

මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින කාන්තාවන් හත්දෙනා අතර සහරාන්ගේ රියැදුරුගේ බිරිය වන ෆරිසානා, සහරාන්ගේ ඥාතියකුගේ බිරිය හනීෆා නුස්රා, මොහොමඩ් මිල්හාන් යන අයගේ බිරිය වන ජුෆයිඩියා, කාත්තන්කුඩි පල්ලියේ සභාපතිවරයාගේ දියණිය ෆාතිමා හා ඇගේ මව අස්මියා සමඟ ඊබ්‍රාහිම් ෂහිඩා සිටිති.

මේ අතර සහරාන්ගේ සහෝදරිය වන හිදායා මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සැකකරුවකුගේ බිරිඳ වන පලීල් ෆාතිමා සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ ෆාතිමා පුස්තා යන අය දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

මේ අතර සහරාන්ගේ අන්තවාදී අදහස්වලට නතුවෙමින් සිටි ඔහුගේ මව සහරාන්ගේ සොයුරියක වන හිදායා අන්තවාදයට සම්බන්ධ සෙයිනා යන අයගේ බිරිඳ හා සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන්ගේ බිරිඳ මෙන්ම අන්තවාදයට දායක වූ අසාද් නැමැත්තාගේ බිරිය පයින්දමරුදු පිපිරීමේදී ජීවිතක්ෂයට පත්වූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළිදක්වා තිබෙන මොහොතේ ප්‍රහාරය හා සම්බන්ධ සැකකාරියක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටී. එබැවින් මෙතෙක් එළිනොවුණු සහරාන් කල්ලියේ තවත් රහස් හෙළිවීම ඉදිරියේදී සිදුවිය හැක.

 සමන්ත විල්තෙර