ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ඉඩකඩ කෙසේද යන්න නියෝජ්‍ය පොලිස්පති බිම්ශානිගේ කතාවත් සමඟ කරළියට ආවේය. නිදහස් දිනයේ පටන් සෑම රාජ්‍ය සැමරුමකම පොලිස් නිලධාරිනියන් තම ගිනි අවියත් අත දරන් රටට දකින්න අභිමානයෙන් ගියත් ඇත්තටම ඔවුන්ට ඔවුන්ගේ සේවය ගැන අභිමානයක් ඇතිද යන්න කවුරුත් සොයා බැලුවේ නැත.
මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා අභිමානය ගැනය.
ඉස්සෙල්ලම කරන්න ඕන ඔය අපේ තනතුරු ඉස්සරහෙන් තියෙන W කියන ඉංග්‍රීසි අකුර අයින් කරලා දාන්න ඕන. ඇයි පිරිමි අයට භාවිතා කරන්න පුළුවන් රූන්ක් කිසිම අකුරක් නැතුව අපිව ඇයි විශේෂ කරලා සලකලා එක එක අකුරු දාන්නේ. මම නම් ඒක පාවිච්චි කරන්නේ නෑ.
මේ සංවේදී අදහස පළකළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් විසිනි. ඇයගේ අදහස සාධාරණය. එනම් තනතුර ඉදිරියෙන් W යනුවෙන් සඳහන් කිරීම වෙනස් කර සැලකීමකි. Women නැතහොත් සිංහල අර්ථයෙන් %කාන්තා^ ලෙස ආමන්ත්‍රණය කිරීමට සැබවින් අවශ්‍යද? එය බෙදීමක් නොවේද?
පොලිසීයට අනුව PC පොලිස් කොස්තාපල් ඒ පුරුෂ නාමය වන අතර W/PC වූ පසුව එය සත්‍රී ලිංග නාමය බවට පත්වේ. ඒ කාන්තා පොලිස් කොස්තාපල් ලෙසය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් වෙනම විශේෂ කොට සැලකීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ කලකිරීමක් බව එම නිලධාරිනියෝ පවසති. ඔවුන් විමසන්නේ කොස්තාපල්වරිය, පොලිස් පරීක්ෂකවරිය, ලෙස අවශ්‍ය නම් සිංහලෙන් හැඳින්වීමට බැරි ඇයිද කියාය.
කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12-(2,3,4) යන වගන්ති පුරාවටම ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලෙස සලකා විශේෂයෙන් හෝ වෙනස්ව සැලකීමක් නොකළ යුතු බව දන්වාය. එසේ නම් නීතිය ක්‍රියාත්මක කරන රටේ පිළිගත් ආයතනයක පවා මේ මූලික නීතිය කඩකරනවා නම් තව වෙන මොන කතාදැයි අපිට විමසන්නට ඇත.
එසේම ශ්‍රී ලංකා පොලීසියේ ආයතන පටිපාටිය තුළ නියෝජ්‍ය පොලිස්පතිවරියක් වීමේ සිහිනයක් තබා ගැනීම පලක් නොවන තැනට පත්ව ඇත. එයට හේතුව කාන්තාවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පසුව ඉහළට යාමේ ඉඩකඩක් නැති නිසාය. ඔවුන් නියත වශයෙන්ම විශ්‍රාම ගන්නා තැනකට පත්කිරීමේ පරිසරය පොලීසිය තුළින්ම සැකසී ඇත.
එකපාරක් අපේ යෝජනාවක් ආවා කාන්තාවන්‍ට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා ඉහළට යන්න හදන්න. ඒ වෙලාවේ හිටිය පොලිස්පතිවරයට මේක අපි කිව්වම ඔහු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉල්ලීම. හිතන්න ඔක්කොම පිරිමි අයගෙන් අහනවා අපිව ගන්නද එපාද කියලා. කොච්චර අසාධාරණද? අන්තිමේ ආපු නිර්දේශය මොකක්ද? අපිට SSP තනතුරෙන් උඩට දෙන්න අවශ්‍ය නෑ. පුළුවන් නම් කාන්තාවෝ අවුරුදු 45න් විශ්‍රාම යවන්න කියලා. බලන්න අපිට කොහොම සැලකිල්ලක්ද තියෙන්නේ.
සැබවින්ම ඒ කතාව ඇසූ පසුව ඔවුන්ට කෙතරම් අසාධාරණයක් සිදුවනවාද යන්න ගැන අමුතුවෙන් කිවයුතු නැත. උසස්වීම පවා පිරිමින් විසින් තීරණය කරනවා නම් එය පැහැදිලිවම කාන්තා හිංසනයක් බව කිවයුතුය.
මේ අතර 2008 වසරේදී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් වූ කාන්තාවන් අතරින් හත්දෙනෙකු අද වනවිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර තෙක් උසස්වීම් ලබා ඇත. ඔවුන් සියලුදෙනාම අදාළ උසස්වීම් ලබා ඇත්තේ එක්කෝ නඩු ගොසින්ය. නැත්නම් පොලිස් කොමිසමේ නිර්දේශය අනුවය. කිසිවකුට සුදුසු උසස්වීම් පොලිස් පටිපාටියට අනුව ලැබී නැත.
දැනට ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් නිලධාරිනියන් සඳහා ඉඩ ඇත්තේ 16 කට පමණි. ඉන් 10 දෙනෙකු 2008 පොලිස් පටිපාටියට අනුව උසස්වීම් ලද නිසාය. තවත් පස්දෙනෙක් අධිකරණ නඩු හරහාය. එක් අයකු නිර්දේශ හරහාය. එහෙත් දැනට SP තනතුර සඳහා ඇති ඉඩ දෙදෙනෙකුට පමණි. ශ්‍රී ලංකා පොලීසියේ තත්ත්වය එසේය. ASP 16, කින් කවදා හෝ පොලිස් පටිපාටිය හරහා SP තනතුර දක්වා උසස්වීම් ලැබෙන්නේ දෙදෙනකුට පමණි. යම් හෙයකින් ඉතිරි 14 දෙනා විශ්‍රාම නොගිහින් සිටියහොත් ඔවුන්ට සිදුවන්නේ උසස් වීම සඳහා එක්කෝ නඩු කීමටය. නැත්නම් පොලිස් කොමිසම වෙත යාමටය. එසේ නොමැතිව උසස්වීම් ලැබෙන්න ඔවුන්ටඉඩක් නැත. ඊටත් වඩා ගැටලුව වන්නේ එකට දෙදෙනකු SP වූ පසුව ඔවුන් දෙදෙනාගෙන් SSP තනතුර දක්වා උසස්වීම් ලැබීමේ ඉඩකඩ හිමිවන්නේ එක් අයකුට පමණක් වීමය. එය කෙතරම් ඛේදවාචකයක්ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත.
කෙසේ වෙතත් මෙකී අවුල නිසාම 2006 වසරේදී කාන්තාවන් සඳහා පොලිසීය තුළ 15%ක ඉඩක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව එදා යෝජනා වුණේ පොලිස් අධිකාරී උසස්වීමෙන් පසුව SSP තනතුරට කාන්තාවන් 25කටත්, නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා 7කටත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර වෙනුවෙන් දෙදෙනෙකුටත් උසස්වීම් ලබාදීමටය. එහෙත් එය කාලයත් සමඟ යටගිය අතර නැවත එය කරළියට එන්නේ 2019 වසරේ නව රජය පත්වීමත් සමඟය. එහිදී යෝජනාව කනපිට හැරී 15% නියෝජනයට අනුව SSP තනතුර සඳහා 12කටත්, DIG තනතුර සඳහා 4 කුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා එක් ඉඩකුත් ලබාදීමට යෝජනා වී ඇත. එයට හේතුව වී ඇත්තේ පොලිසීයේ ඇති පුරප්පාඩු ගැටලුව නිසාය.
මේ අතර පසුගිය දිනෙක පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් නීතිය හා සාමය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එහිදී අමාත්‍යවරයාද 15 ලබාදීමට එකඟ වී ඇත. එහෙත් මෙහි ප්‍රමාදය ඇත්තේ කළමනාකරණ සේවා ආයතනයෙන් මේ උසස්වීම් ඉඩකඩ ලබාදීමේ ප්‍රමාදයය. මේ නිසා සියලු නිලධාරිනියන්ට අධිකරණය හමුවේ තම අයිතිය වෙනුවෙන් සටන් කරන්නට සිදුවී තිබේ.
අධිකරණ ක්‍රියාමාර්ගයට යාමත් සමඟ සිදුවන්නේ පොලිසීයේ කාන්තාවන් සියල්ල සම නිලතලවල සිටින පුරුෂයන්ගෙන් විවිධ ඇනුම් පද ඇසීමටය. එනම් නඩු හරහා උසස්වීම් ගෙන උඩට නොයන ලෙසත් තමන්ගේ අවස්ථාවන් අවහිර නොකරන ලෙසත් එම නිලධාරීන් ඇතැම් අවස්ථාවල බලපෑම් කරමින් ඇත.
බිම්ශානි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති වීම ගැටලුවක් වුවත්, ඇයට විරුද්ධව මේ නිලධාරීන් 32 තරග කරන්නේ තමන්ට නොමැතිව ඇයට නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබීම ගැනය. මේ නිසා ඔවුන්ට අසාධාරණයක් වූ බව පවසති. මෙතන ගැටලුව නම් පිරිමින් පමණක්මද නියෝජ්‍ය පොලිස්පති විය යුත්තේ? ගැහැණු පොලිසියේ ඉහළට යාම වැරදිද? මේ ආකාරයෙන් ශතවර්ෂ ගණනාවකට කාන්තාවකට මේ රටේ පොලිස්පති වීමට ඉඩක් නැත. අඩුම තරමේ ඒ තැනට යාමම හීනයක් වී ඇත.
ලෝකයේ පමණක් නොව රටේ පවා කාන්තාවන් ඉහළට යනවිට ඉහළ තනතුරු හොබවන විට ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කාන්තාවන් කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව ඇත. ඇති අය නඩු මගට ගියත්, නැති අයට නඩු මග වෙනුවට යොදාගන්නේ ඉතාම අඩුකාලයකින් ගෙදර යාමය. ඒ ඔවුන්ට ශක්තියක් නොමැති නිසාය. ඊටත් පිරිමින් සමඟ ගැටෙන්නට හයියක් නැති නිසාය. මේ නිසා පොලීසියට එන බොහෝ කාන්තාවන් අඩුම පොලිස් පරීක්ෂක තනතුරෙන් විශ්‍රාම යන්නේ මේ අසාධාරණයත් සමඟය.
බිම්ශානිගේ සිද්ධියත් සමඟ අපේ රටේ කාන්තාවන් ඇයට සිදුවන පුරුෂ පීඩනය, බලපෑම ගැන කතා කරන්න ගත්තේ එය ජනප්‍රිය දහරාවේ මාතෘකාවක් වන නිසාය. එහෙත් ඇය මෙන්ම තවත් කාන්තාවන් හතක් සුදුසුකම් සපුරා ඇත. ඔවුන්ට අදාළ උසස්වීම් නැත. එහෙත් ඒ ගැන කතා කරන්න කිසිවකු නැත. ඇතැම් අය ඒ ගැන දැනගෙනත් නැත. එපමණක් නොව පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ඇත. ඔවුන් කිසිවකු වෙනුවෙන් කිසිවෙකු කතාකරන්නේ නැත. ඒ ගැන හොයන්නේවත් නැත. ඒ නිසා මේ කාන්තාව විමුක්තිය, කාන්තා අයිතිය වෙනුවෙන් කතා කරන බොහෝ අය ඒ අවස්ථාව තුළ පමණක් තම සංවාද කළත් සැබෑ ප්‍රශ්නයට විසඳුම් හොයන්නේ නැත.
පොලීසියට සිදුවී ඇත්තේද එවැනිම ඛේදවාචකයකි. අද බිම්ශානි ගැන කතාකළාට ප්‍රශ්නය එය නොවේය. ප්‍රශ්නය, පොලිසියේ කාන්තාවට නැති ඉඩක් නැතිකම නිසාය. එයට තාවකාලික පැලැස්තර නොව ලැබිය යුත්තේ ස්ථිරසාර විසඳුම්ය. එය ලැබෙන තෙක් සටන් කරන පොලීසියේ ඕනෑම කාන්තාවක් සැබෑ පොලිස් වීරවරියන් බව අමුතුවෙන් කිවයුතු නැත.
I ගයාන් ගාල්ලගේ