2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පාසල් දරුවන්ට නොමිලේ ක්ලාස් කරන ගුරු දෙවියා

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

නිදහස් අධ්‍යාපනයට පිං සිදුවන්නට පාසල් අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට අවතිර්ණ වූ නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුවරයෙක් විය. ඔහු සාමාන්‍ය ගුරුවරයකු නොවේ. පාසලේදී නියමිත පැය ගණනේ නියමිත පාඩම් මාලාව අවසන් කොට වසර අවසානයේදී දරුවන් ඉහළ පන්තිවලට යොමුකරන සාමාන්‍ය රටාවට ඔබ්බෙන් ඔහු මේ පාසල් දරුවන් තම නිවස වෙත ගෙන්වා අමතර ඉගැන්වීම සිදුකරන්නේය. නමුත් ඔහු ටියුෂන් ගුරුවයකු වන්නේ නම් නැත. තම නිවසට එන කිසිදු දරුවකුගෙන් ඔහු මුදලක් හෝ වෙනත් කිසිම වරප්‍රසාදයක් ලබාගන්නේ නැත. එහෙයින් නලින්ද සැබැවින්ම ආදර්ශමත් ගුරු උතුමෙකි.

නලින්දගේ වැඩිමහල් පුතණුවන් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දී පියකු ලෙසින් සවස් කාලයේදී ඔහු තම පුතුට ඉගැන්වීම කළේය. දින කිහිපයක් සවස් කාලයේ නිවසේ පුතුට ඉගැන්වීම් සිදුකරද්දී පුතණුවන්නේ මිතුරන් දෙදෙනෙක්ද මේ ඉගැන්වීම්වලට සම්බන්ධ වූහ. දරුවෝ ශිෂ්‍යත්වය සමත් වූහ.

දෙවැනි අවුරුද්දේ මගේ දුව ශිෂ්‍යත්වයට සූදානම් වුණා. මම දුවත් යහළුවන් කිහිප දෙනෙකුත් ඒ දරුවන්ගේ දෙමාපියන්නේ ඉල්ලීමට මේ ඉගැන්වීමට එකතු කර ගත්තා. මේ ආරංචිය ගමේ අම්මලා තාත්තලා දැනගත්තට පස්සේ තව තවත් දරුවන් මගේ පන්තියට එන්න කැමැති වුණා. ඒ නිසා මම ඒ දරුවනුත් මේකට සම්බන්ධ කරගත්තා. හැබැයි කිසිම මුදලක් ගත්තේ නැහැ.

නලින්ද ගුරුතුමා දේශයට අදහස් දක්වමින් පැවසීය.

එවකට ඔහු වීරපාන ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙකි. නලින්ද ඉගැන්වූ පන්තියේ දරුවන්ගෙන් කිහිප දෙනෙක්ම ඉගැන්වීම්වලට දුර්වලකමක් පෙන්නුම් කළහ. පන්තියේ අනිකුත් දරුවන් සේ විෂය ඉක්මනින් අවධාරණය කරගන්නට ඒ දරුවන්ට හැකියාවක් තිබුණේ නැත. මේ නිසාම මේ දරුවන්ව තම නිවෙසට සවස් කාලයේදී ගෙන්වා, නලින්ද ඔවුන්ට වැඩිදුර ඉගැන්වූයේය. නිවාඩු කාලයේදීත්, ඉඩ ලැබෙන හැම මොහොතකමත් නලින්ද මේ දරුවන්ව නිවෙසට ගෙන්වා ඉගැන්වූයේය.


මේ පුංචි උන් දවසේ ගොඩාක් වෙලාවක් එකතැන ඉන්න එක පව්නේ. අපි මේ දරුවන්ට තේ ටිකක් දෙමු නලින්දගේ බිරිද මාලා තම සැමියාට අපූරු යෝජනාවක් කළේය. එතැන් සිට ඉගෙන ගන්නට තම නිවෙසට එන පුංචි දරුවන්ට තේ එකකින් සංග්‍රහ කරන්නට නලින්ද අමතක කළේ නැත. මේ නිසාම තව තවත් මේ අමතර පන්තියට එන්නට පුංචි දරුවෝ ආස කළහ.

මේ අතරේ පාසලේ සිටි අනිත් දරුවන්ගේ දෙමාපියෝද තම දරුවන්වත් මේ නොමිලේ පවත්වන පන්තියට එවීමට උත්සාහ ගත්හ.

සර්... අපි කීයක් හරි දෙන්නම්.... අනේ අපේ දරුවන්වන් පන්තියට ගන්න මුදල් දී පන්තියට එවීමට දෙමව්පියන් කැමැති වුවද නලින්ද කිසිම දවසක කිසිම දරුවකුගෙන් කිසිම මුදලක් ගත්තේ නම් නැත. නමුත් ආසාවෙන් ඉගෙන ගන්නට එන්නට හදන පුංචි එවුන්ට නලින්ද සර්ගේ නිවෙසේ දොර හැරුණි.

එතැන් සිට සවස් කාලයේ පාසලේ පුංචි පැටවුන්ගෙන් නලින්දගේ නිවෙස පිරුණි. ඉඩ පහසුකම් නොතිබුණද මේ දරුවෝ ඉතා කැමැත්තෙන් නලින්ද සර්ගේ පන්තියට ආහ. එකවර මේ දරුවන්ට තේ එකක් දෙන්නට තරම් පීරිසි කෝප්ප නැතිවෙන තරමට සිසු දරුවෝ සිටියහ. දරුවෝ ඉතා කැමැත්තෙන් මෙන්ම ඉතා ඕනෑකමින් පන්තියේ වැඩ කළහ. එහි ප්‍රගතියත් සෑම වසර අවසානයේදීම නලින්දට ලැබුණි. සෑම දරුවෙක්ම ඉතා ඉහළ ලකුණු ලබා සිටියහ.

නලින්ද ශිෂ්‍යත්ව කඩඉම විභාගය වෙනුවෙන් තුන වසර පන්තියේ සිට දරුවන්ට ඉගැන්වූවේය. නලින්දට හොඳ මිතුරු ඇසුරක් තිබුණේය. විශ්වවිද්‍යාලයේ සිට මිතුරු මිතුරියන් එක්ක අපූරු බැඳීමක් අදටත් නලින්දට ඇත. ඒ එක් මිතුරෙක් නලින්දගේ සත්ක්‍රියාවට අතදීමක් ලෙස ඩෙක්ස් බංකු ටිකක් සාදා දුන්නේය. එතැන් සිට ඉඩකඩ ඇතිව නලින්ද දරුවන්ට නොමිලේ අකුරු කියා දුන්නේය. කාලයකට පසුව ඩෙක්ස් බංකු ටිකද ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසාම දරුවන්ගේ දෙමව්පියෝ එක්ව තවත් ඩෙස්ක් බංකු ටිකක් මේ අපූරු පන්තියට සාදා දුන්හ. ඒ තරමටම මේ අපූරු පන්තියට තව තවත් දරු පිරිසක් එකතු වූහ. මේ සියලු දරුවන්ට එකසේ නලින්ද සර් නොමිලේ ඉගැන්වූවේය.

නලින්දට ගුරු පත්වීම ලැබුණදා සිට මේ දක්වා පාසල් දරුවන්ට පොදු වැඩසටහන් දිගින් දිගටම කරගෙන ආවේය. ඔහු පත්වීම ලැබුණදා සිට අද දක්වා හැම වසරකම පාසල් දරුවන් කිහිප දෙනෙකුටම පාසලට අවශ්‍ය කරන දෑ අඩංගු තෑගි පාර්සල් ලබා දුන්නේය. ඒ ඇතැම් දේ වෙනුවෙන් නලින්දට ඔහුගේ මිතුරෝ උදව් කළහ.

ගමේ දරුවන්ට විද්‍යා විෂ්‍ය සම්බන්ධව අවබෝධයක් ලබන්නට නිසි පහසුකම් නැත. ඒ නිසාම ඔහු තම නිවසේ අමතර පන්තිවලට සහභාගි වන දරුවන් එකතු කරගෙන තාරකා විද්‍යා සංගමයක් ආරම්භ කළේය. නයනා ප්‍රියංගනී කථිකාචාර්යවරියද නලින්දගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන මිතුරියකි. ඇය නලින්දගේ තාරකා විද්‍යා සංගමයට දුරේක්ෂයක් (Telescope) තෑගි කළාය. නලින්ද තම පන්තියේ දරුවන්ට තාරකා විද්‍යාව සම්බන්ධ වැඩසටහන් පැවැත්වූවේය. ඔහු මාසයකට වරක් සාහිත්‍ය සමිතියක්ද තම නිවසේ මේ දරුවන් හා එක්ව කරගෙන ගියේය. එමගින් දරුවන් තුළ සෞන්දර්යාත්මක සිතුවිලි ඇති කරලන්නට උත්සාහ ගත්තේය.

කොවිඩ් මුළු රටටම වසංගතයක් වූයේ මේ කාලයේදීය. දරුවන්ට ඉගෙන ගන්නට තිබූ අවස්ථාව මගහැරී ගියේය. දරුවන් පිළිබඳ අපමණ දුකක් නලින්දගේ හිතේ ඇති විය. මේ නිසාම නලින්ද දරුවන්ගේ දෙමව්පියන්ට නිවසට ගෙන්වා දරුවන් ලවා කරවිය යුතු අධ්‍යාපන වැඩකොටස් පිළිබඳ දැනුවත් කළේය. මේ ඇතැම් දෙමව්පියන් පාසල් අධ්‍යාපනය ලබා තිබුණේ නැත. එවැනි අවස්ථාවලදී ඒ දරුවාගේ නිවසට ආසන්නයේ සිටින දෙමව්පියකුට ඒ වගකීම බාරදෙන්නට නලින්ද උත්සාහ ගත්තේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වූ සිතාරි තිලකරත්න නලින්දට සමීපම සහෝදරවරියකි. ඇය ඉතා වටිනා ලැප්ටොප් යන්ත්‍රයක් නලින්දට තෑගි කළේය. ඒ හරහා නලින්ද නිවසේ සිට මේ අහිංසක දරුවන්ට Online ක්‍රමයට නොකඩවා පාසල් අධ්‍යාපනය ලබා දුන්නේය. මේ අමතර ඉගැන්වීම්වලට කිසිදු මුදලක් ඔහු දරුවන්ගෙන් අය කළේ නැත. මේ බොහෝ කටයුතුවලදී ඔහුගේ විශ්වවිද්‍යාල සගයන්ගෙන් අපූරු සහයෝගයක් නලින්දට ලැබුණි.

නැවතත් පාසල් ආරම්භ කෙරුණි. නමුත් මේ ඇතැම් දරුවන්ට නිසි ප්‍රමිතියකින් යුත් මුඛ ආවරණ (Mask) තිබුණේ නැත. එහිදී විශ්වවිද්‍යාලයේ තවත් සහෝදරයෙක් සෑම දරුවකුට නිසි ප්‍රමිතියකින් යුත් මුඛ ආවරණයක් මෙන්ම තෑගි පාර්සලයක්ද ලබා දුන්නේය. මීට අමතරව තවත් විශ්වවිද්‍යාල යහළුවන් කිහිපදෙනෙකු සමඟ නලින්ද මේ වසරේදී අවශ්‍ය කරන පොත්පත් අඩංගු පාර්සලයක් මේ සෑම දරුවකුටම ලබා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් නිවසට සීමා වී සිටි දරුවන්ට මේ තෑගි පාර්සල් විශාල සතුටක් ගෙන දුන්නේය.

මේ වනවිට නලින්ද ප්‍රගීත් දයාරත්න ගාල්ල මිල්ලව ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙකි. පාසලේ වත්මන් විදුහල්පති හර්ෂ ප්‍රදීප් මහාතටද නලින්ද තම ස්තූතිය පළ කරන්නේය.

මම මේක කරගෙන යන්නේ ජනප්‍රිය වෙන්නවත්, තවත් කෙනෙකුගෙන් මුදලක්වත් ගන්න නෙමේ. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අයයි. අපි ඒකෙන් අද යම්කිසි තැනකට ඇවිත් තියෙනවා. මම මේ ලබාගත්තු දැනුම තවත් මේ රටේ පුංචි එවුන්ට දෙන්නයි ඕනේ. මම ඉගෙන ගත්තේ ඕපාත මහ විද්‍යාලයේ. මගේ තාත්තා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙක්. කන්න බොන්න හිඟයක් නොවුණාට අපිට ආර්ථික අපහසුතා තිබුණා. මට තාම මතකයි එක් අවුරුද්දක ක්‍රීඩා උත්සවයකට ඇඳගෙන යන්න මට ටී ෂර්ට් එකක් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ පුංචි දරුවන්ගෙන් මම දකින්නේ මගේ ළමා කාලයයි... නලින්ද වැඩිදුරටත් කියන්නේය.

 දිශානි ජයමාලි කරුණාරත්න