2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරයේ කැක්කුම

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවිධ ක්ෂේත‍්‍ර සඳහා බලවත් යාන්ත‍්‍රණ ස්ථාපිත කර තිබේ. මානව හිමිකම් සභාව එයින් එකකි. 2006 වසර තෙක් එය කොමිසමක් වශයෙන් ක‍්‍රියාත්මක විය. එම වසරේ මාර්තු මාසයේදී සභාවක් බවට හැරවිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් වලින් හතළිස් දෙකක නියෝජනයක් මානව හිමිකම් සභාවට පත්කර ගැනේ. තෝරාගන්නා ආකාරය හා කලාප නියෝජනය ගැන වෙනම අධ්‍යයනය කළ යුතුය. එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් අතරින් කිසිම රටකට පිටපිටම දෙවතාවකට වඩා මානව හිමිකම් සභාව නියෝජනය කරන්නට හැකියාවක් නැත. සාමාන්‍යයෙන් වසරකට තෙවතාවක් සාමාජිකයන් හමුවී සාකච්ඡා කරන අතර අවශ්‍ය නම් සාමාජිකයන්ගෙන් තුනෙන් එකක බලය මත හදිසියේ නැවත රැස්වීමක් කැඳවිය හැකිය.

මාර්තු, ජූනි සහ සැප්තැම්බර් මාසවල පවත්වන සැසිවාර අතර මෙවර පැවැත්වෙන 46 වැනි සැසිය විශේෂිතය. කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් එය අන්තර්ජාල පහසුකම් භාවිත කරමින් සංවිධානය කර තිබේ. ලෝකයේ කොතැනක හෝ සිදුවන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවක් පාදක කරගනිමින් විමර්ශනය කළ හැක. පෙබරවාරි 22 ඇරඹුණ සැසිය ලබන මාර්තු 22 තෙක් පැවැත්වීමට නියමිතය. 

මානව හිමිකම් සභාව ශ‍්‍රී ලංකාවට වැදගත් වන පසුබිම

ශ‍්‍රී ලංකාව යුද ගැටුම් සහිත කාලවකවානුවක් අවසන් කර සාමකාමී පැවැත්මකට අවතීර්ණ වී තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කර වසර දහයකි. තිස් වසරක කාලයක් තිස්සේ රට ආර්ථික හා සමාජයීය වශයෙන් පරිහානියකට පත්කළ ත‍්‍රස්තවාදයේ මුහුණුවර ගැන අලුතින් යමක් සඳහන් කිරීම අවශ්‍ය නැත. දකුණේ ජන ජීවිතය තිගැස්මකට ලක්විය. කොතැන කොයි මොහොතක බෝම්බ පුපුරා යනු ඇත්දැයි අවිනිශ්චිත විය. කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් ගම්මාන පිටින් විනාශ කිරීම හෝ කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය අමතක නැත. පල්ලි විනාශ කළේය. මුස්ලිම් දේවස්ථාන කඩා බිඳ දැමීය. අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධිය අසල සිල්ගත් පිරිස කපාකොටා ඝාතනය කළ අතර දළදා මාලිගාවට ඇතුළුවන ස්ථානයෙහි බෝම්බ ලොරියක් හප්පා මහා විනාශයක් කළේය. ගුවන් තොටුපොළ, මහ බැංකුව, ඒකබද්ධ මෙහෙයුම් මූලස්ථානය වැනි තැන්වලට කරන ලද ප‍්‍රහාර ආර්ථිකය බෙලහීන කළේය. ජන නායකයන් ඝාතනය කරන ලද අතර ඉන්දියාවට පවා තර්ජනයක් විය. මුළු ලෝකයම බිම් බෝම්බ පිටුදැකිය යුතු බව එකහෙළා කියා සිටියදී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීහු බිම් බෝම්බ පමණක් නොව පැති බෝම්බද අටවා හමුදාව, සාමාන්‍ය ජනතාව අනතුරටක පත් කළහ. ත‍්‍රස්තවාදය පරාජය කළ මොහොත මෙරට කිසිවෙකුට කිසි දින අමතක කළ නොහැකිය. යාපනය ප‍්‍රදේශයේ කොටු වී සිටි දෙමළ සාමාන්‍ය ජනතාව මුදවාගත් මානුෂික ආකාරය ඉතා සංවේදී අවස්ථාවකි. 

සාකච්ඡාවෙන් හෝ සම්මුතියකින් අර්බුදය බේරා ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව වසර තිහක් තිස්සේ බලවත් පරිශ‍්‍රමයක් දැරීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සාකච්ඡා මේසයට කැඳවීය. මෙරට නායකයන් කවර හෝ උපායකින් සාමය තහවුරු කරන්නට ගත් අප‍්‍රමාණ වෙහෙස සමහර අවස්ථාවලදී දකුණේ දේශපාලන විවේචනයට පවා හේතුවක් විය. තිම්පු සාකච්ඡාවලින් ආරම්භ කරන ලද ගමන ලෝකයේ රටවල් හා නගර ගණනක මැදහත් මුණගැසීම් කරන ලද නමුත් ත‍්‍රස්තවාදීහු ඒවා මායිම් නොකළහ. නෝර්වේ රාජ්‍ය මැදිහත්කරුවන් සේ සෑහෙන කාර්යභාරයක් කරන ලද අතර ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ ජපානය ඇතුළු පාර්ශවකරුවන් ප‍්‍රතිඵලයක් උදෙසා කැපවීමෙකින් පියවර ගත්හ. අවසානයේ කිසිම සුගතියක් අත්වූයේ නැත. සටන් විරාමය තුළ බංකර් ඉදි කෙරිණි. ළමා සොල්දාදුවන් බඳවා ගත්හ. මෙම සෑම අවාසනාවන්ත තත්ත්වයක්ම අවසානයේ එක්තරා කෙම්බිමකට ජනතාව කැටුව එන්නට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සමත් වූ බව සිහිපත් කළ යුතුය. ත‍්‍රස්තවාදීන් හා ගැටුණු යුද කාලය තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කඩකර තිබේ. එය එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සභාවට ඉදිරිපත් වූ පැමිණිල්ලකි. විවිධධ චෝදනා ඇත. දීර්ඝ කාලයක් තිස්සේ අවනඩුව ගැන කතාන්දර ගොතමින් සිටී. මෙවර සැසිවාරයද එයින් එකකි.

රටට සිදුවූ විපත විස්තරාත්මකව කියා ගැනීම

ත‍්‍රස්තවාදයෙන් බැට කෑවේ මෙරට පොදු ජනතාවය. එතැන සිංහල දෙමළ බේදයක් තිබුණේ නැත. ආගම් ප‍්‍රශ්න නොතිබුණි. දේශපාලනයක් නොවීය. එකම ඉලක්කය විශාල විනාශයක් තුළින් වෙනම රටක් සඳහා සීමාවෙන් කරගැනීමය. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් කරන ලද්දේ ත‍්‍රස්තවාදයට විරුද්ධව අසරණ ජනතාව ආරක්ෂා කරගැනීමේ අදහස ඇතිව බව කෙළින්ම කියා ගන්නට අප සමත් වී නැත. ත‍්‍රස්තවාදීන්ට මිතුරු පාර්ශ්ව හා ඩයස්පෝරාව නගා ඇති අභූත චෝදනා කිසිම වගවිභාගයක් රහිතව කඩදාසිවලට ගෙන තිබේ. මානව හිමිකම් විශේෂඥයන් යැයි කියා ගන්නා පිරිස් මෙරට පැමිණ නොයෙක් විමර්ශනවල නිරත විය. නොයෙක් වාර්තා එළි දක්වා තිබේ. ඒවාට වැයකරන ලද කාලය හා ධනය අති මහත්ය. එම ප‍්‍රයත්නය ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැයකරන ලද්දේ නම් ශ‍්‍රී ලංකාව අද ඉහළ තැනකය. නමුත් අවාසනාවක තරම අතුරුදහන් වූවන්, වන්දි ගෙවීම් හා සමාව ගැනීම් සම්බන්ධ රාමුවක් සකස් කර තිබේ. ත‍්‍රිවිධ හමුදාවේ හෝ දකුණේ ජනයා ගැන අවධානය අඩුය. මෙම විපත ඉතා සවිස්තරාත්මකව බටහිර එක්තරා කොටසකට සංවේදීව කියාගන්නට මෙරට නියෝජිතයන්ට පුළුවන්කමක් ලැබී නැත. ඉකුත් ආණ්ඩුව අවසානයේදී මානව හිමිකම් සභාව ගෙන එන ලද දරුණු යෝජනාවලට සම අනුග‍්‍රාහකයන් වශයෙන් එකතු වී තමන්ටම අවදානමක් ගැනීම දක්වා පසුබැසීමක් තෝරා ගත් බව සඳහන් කරන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන ලද රටක් බව දක්වා යෝජනාවක් ඉදිරිපත් කළේ කැනඩාව, බ්‍රිතාන්‍ය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙගානෝ රාජ්‍ය හා ජර්මනිය යන රටවල් පහකින් සැදුම්ලත් මූලික කණ්ඩායමකි. 2002 සිට 2011 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ කටයුතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව එහි දැක්විණ. වට ගණනාවක වාද විවාද කළේය. ශ‍්‍රී ලංකාවට පක්ෂව හා විපක්ෂව පිල් බෙදුණි. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම සකස් කරන ලද 30/1 යෝජනා සම්මතය ඉදිරිපත් විය. පසුකාලයක එය පිළිගැනීමට පමණක් නොව බටහිර උවමනාව අනුව සකස් වූ යෝජනා සඳහා සම හවුල්කාරීත්වය දරන්නටද යහපාලන රජය තීරණය කළේය. මෑතක දී විශේෂ නිවේදයක් නිකුත් කළ පාත්ෆයින්ඩර් පදනම එය ඉතාම අඥාන පියවරක් බව ප‍්‍රකාශ කළේය. ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට තියුණු ලෙස බලපාන, ව්‍යවස්ථා විරෝධී හා ක‍්‍රියාත්මක කළ නොහැකි යෝජනාවක් වන අතර ස්වෛරී හා ස්වාධීන යයි පිළිගන්නා රටක්, තමන්ටම බලපෑමක් වන, යෝජනා මාලාවකට සම කර්තෘත්වයට පත්වීම එම මානව හිමිකම් සභා ඉතිහාසය තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය විය හැකි බව ඉඳුරා ප‍්‍රකාශ කර ඇත. 2017 වසරේදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 34 වැනි සැසිවාරය ආසන්නයේදීද, පාත්ෆයින්ඩර් පදනම, මෙම යෝජනා නැවතත් සාකච්ඡාවට භාජනය කරන්නැයි එවකට පැවැති රජයෙන් ඉල්ලා සිටි බව දැක්වෙයි. රට තුළ පවතින යථාර්ථය සලකා බලා ඉදිරිපත්වී ඇති කාරණා යළිත් සාකච්ඡා කළ යුතු බව අවධාරණය කරන ලද නමුත් එවකට පැවැති පාලනයට එයට ධෛර්යයක් නොවූ බව ද දැක්වෙයි.

බලහත්කාරයෙන් යමක් කරන්නට නොහැක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව අධිකරණයක් නොවේ. සාක්ෂි විමර්ශනය කර නිගමනයකට එන්නට පුළුවන් කමක් නැත. සැසිවාරවලදී කරන කියන දේ ලෝකය පුරා ප‍්‍රචාරය වෙයි. පවතින අන්තවාදී සමාජ මාධ්‍ය අවුලාගන්නේ හොඳ දේ නොවේ. අයහපත් කාරණාය. එය ශ‍්‍රී ලංකාවට අවාසිදායකය. ආණ්ඩුවක් හා බලවත් නියෝජිතයන් වගකීමකින් දක්වන කරුණු පැත්තකට වන අතර නොවැදගත් චෝදනා ගැන අදහස් ගණන් සමාජ මාධ්‍ය පණිවුඩ ඇවිලෙයි. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන්නේ එවැනි පැතිකඩකටය. වාර්තා පෙන්වන පරිදි වසරකට මානව හිමිකම් සැඩ වූ අවස්ථා 11,000-15,000 අතර ප‍්‍රමාණයක් පැමිණිලි වශයෙන් ලැබේ. මේවා ඉදිරිපත් කළ යුතු සම්මත විලාශයක් ඇත. 2010 වසරේ පැමිණිලි දහ අට දහසකට වඩා ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා වාර්තා දක්වයි. නමුත් තෝරා ගැනීමෙන් පසු යම් මුලික  විමර්ශනයකට තෝරාගෙන ඇත්තේ පැමිණිලි 1,451 ක් පමණකි. එය කොපමණ සංකීර්ණද යන්න පැහැදිලිය. මෙවැනි සිද්ධි විශාල ප‍්‍රමාණයක් තුළ එකක් දෙකක් හෝ සාර්ථික කරගන්නට අසමත් මානව හිමිකම් සභාව ශ‍්‍රී ලංකාව වැනි තෝරාගත් රටක් අල්ලේ තබා නටවන්නට සූදානම් බව රහසක් නොවේ.

මානව හිමිකම් උල්ලංඝනය හා එයට පියවරක් වශයෙන් ගත යුතු බව දක්වා ඇති යෝජනා මාලාවේ තිබුණු ඇතැම් විධි විධාන ලෝකයේ  වෙනත් රටවල දී අසාර්ථක වූ ඒවාය. දෙමුහුන් අධිකරණ ක‍්‍රමය මෙයට පෙර කාම්බෝජයේදී පලක් වූයේ නැත. සමාව ගැනීම වැනි සිද්ධි කරගත හැකි වූයේ දකුණු අප‍්‍රිකාවේ පමණකි. එයින් ලැබුණ වාසිය කුමක් දැයි තවමත් පැහැදිලි නැත.  විදේශ විනිශ්චයකාරවරුන් පත්කර නඩු විභාග කළ යුතුය යන අදහස්  ඕනෑම රටක ව්‍යවස්ථා විරෝධී එකකි. සමහර තීරණ අනුචිත පුද්ගල උපදෙස් මත කටයුතු කළ, මෙරට මානව හිමිකම් පිළිබඳ සලකා බැලූ බටහිරට නැඹුරු පිරිසක් බලහත්කාරයෙන් පටවා ඇත. මෙවැනි අත්තනෝමතික යෝජනා පිළිගතයුතු හොද ආකෘතියක් නොවන බව දෙස් විදෙස් නීති විශාරදයන් එකහෙළා කියා ඇත. ජනතාවට වග කියන, ජනතාවගේ වැඩි ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අයුක්ති සහගත යැයි ඔප්පු කිරීම බරපතළ තත්ත්වයකි. මානව හිමිකම් සභාවට ඇති බලතල අනුව මේවා ගැන කරුණු විමසිය හැකිය. චෝදනා ගොනුකරන්නට බැරි කමක් නැත. එහෙත් කිසිම දඬුවමක් කරන්නට අසමත්ය. 

සමහරවිට නිශේධ බලය තෙක් ගමන් කළහොත්

අසාධාරණයක් හෝ අයුක්තියක් සිදුවී තිබේදැයි ඇත්තටම සොයා බලන්නට රටට යුතුකමක් තිබේ. යුද්ධයක දී සෑම පැත්තකින් ම පහර වැදේ. ගොදුරුවූවෝ ගතු කියන විට අහන වැඩපිළිවෙළක් අවශ්‍යය. එම වගවීම මෙතෙක් කරගැනීමට සමත් වී නැත. උතුර හා දකුණ යා කර පාලම් තනන බව දක්වන නමුත් බිඳුණු හිත් යා කරන හැබෑ සංහිඳියාවක් රට තුළ නැත. එය නීති වගන්ති වලින් ඇති කළ හැකි දෙයක් නොවේ. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඉක්මනින් විසඳුම් සැපයීමය. එය උතුරට පමණක් නොව දකුණට ද ප‍්‍රශ්නයකි. කිසිම තැනෙක වේගයෙන් රාජකාරි කරගත නොහැක. ඒවා පිළිවෙළක් වන අතර ආර්ථික දියුණුවක් සිදුවන්නේ නම් මෙම ප‍්‍රශ්න වියැකී යනු ඇත. නමුත් ගොදුරු වූ බව සිතන සුළු පිරිසක් ආණ්ඩුව හෝ තෝරාගත් පුද්ගලයෝ මට්ටු කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව කටයුතු කරනු ඇතැයි කල්පනා කරති. මෙම මානව හිමිකම් සභාව තුළ එයට පවතින අවකාශය ඉතා සීමිතය. 

ශ‍්‍රී ලංකාව් මානව හිමිකම් චෝදනාවලට අවසානයේ දී සිදුවිය හැකි කුමක්ද? මානව හිමිකම් සභාවේ අවසාන ලියැවිල්ල ගොනුකර ගැනීම ප‍්‍රශ්නයක් විය හැකිය. නොයෙක් රටවල් ශ‍්‍රී ලංකාවට එකතු වෙන්නට ඉඩ තිබේ. සමහර රටවල් චෝදනා ඉදිරිපත් කරන ලද රටවල් පහ සමඟ එකතු වනු ඇත. මෙම බෙදීමේදී ශ‍්‍රී ලංකාව බලවත් වුවහොත් අලුත් තත්ත්වයක් මතුවිය හැකිය. සමහරවිට මෙම චෝදනා සනාථ කරන තරමට රටවල් හැදී ලංකාවට විරැද්ධව බලවේගයක් නිර්මාණය වුවහොත් අවසානයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. එය සම්බාධක පැනවීමක් ද යන්න පැහැදිලි නැත. එම තීරණයද පහසු එකක් නොවේ. නිශේධ බලය ඇති රටවල් තිබේ. නිශේධ බලය ඇති රටවල් සියල්ල එකහෙළා අනුමත කළහොත් පමණක් රටකට විරුද්ධව ක‍්‍රියා මාර්ගයකට යා හැකිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කරන මිතුරකු නොමැති බව කල්පනා කිරීම නුසුදුසුය. එය විශාල ලිහිලකි. නමුත් එතැනට එන තෙක් ගමන් කළ යුතු දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ශ‍්‍රී ලංකාව නරක රටක්, මානව හිමිකම්වලට තැනක් නැති පිරිහී ගිය තැනක් වශයෙන් සලකුණුවීම බලවත් අවාසියකි.

 ගාමිණී සරත් ගොඩකන්ද