2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

නව කොවිඩ් ප්‍රභේද ලොවපුරා දළුලයි!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

සීත හිම ප්‍රහාරයකින් බැටකමින් තිබූ අමෙරිකාවේ වොෂිංටනයේ පිහිටා ඇති ජාතික ළමා රෝහලෙන් පසුගියදාක ලැබුණු අමුතු වාර්තාවක් නිසා ළමා රෝග විශේෂඥයන් අතර මහත් කම්පනයක් හට ගත්තේය. මේ වනවිට තැන තැන ප්‍රතිකාර සඳහා යොමුව ඇති 2000ක් පමණ වූ දරුවන් අතරින් එක් දරුවෙකු ඉතා දැඩි ලෙස කොවිඩ් ආසාදනයට ලක්ව බරපතළ රෝග ලක්ෂණ සහිතව සිටින බව වාර්තාවීමත් සමගිනි. මේ වාර්තාව හෙළිදරව් කළ වඩාත් භයානක කාරණාව වූයේ මේ දරුවා තුළ අසාමාන්‍ය අන්දමේ වෛරස තොගයක් එක්රැස්ව ඇති බව  දක්නට ලැබීමය. සාමාන්‍යයෙන් දරුවන් අතර වාර්තාවන වෛරස ප්‍රමාණයේ මධ්‍යයන අගයටත් වඩා 51,418 ගුණයකින් වැඩි වෛරස තොගයක් මේ දරුවා තුළින් වාර්තා වී ඇත. පර් යේෂණ කළ විද්‍යාඥයන්ට තහවුරු වූයේ N679S ලෙස හැඳින්වෙන විපරීත ලක්ෂණය සහිත වේගයෙන් පැතිර යන නව වෛරස ප්‍රභේදයක් මේ දරුවා දැඩි ලෙස රෝගාතුර කිරීමට මුල්ව ඇති බවය. ලොවපුරා මේ අන්දමට ඉකුත් සති කිහිපය තුළ විවිධ වෙනස්කම් සහිත නව කොවිඩ් වෛරස මාදිලි වාර්තා වීම ඉහළ ගොස් තිබේ. වෛරස විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ දැනට පැතිරෙමින් පවතින SARS-CoV-2 වෛරසයට වඩා භයානක ලෙස විපරීත වූ පාලනය කළ නොහැකි අන්දමේ වඩාත් හානිදායී වෛරසයකට උපත ලබා දෙන්නට මේ නව මාදිලි සමත්වනු ඇත කියාය.‌

මේ වසර මුලදී එංගලන්තයේ කෙන්ට් පළාතෙන් වාර්තා වූ සීඝ්‍ර පැතිරීමක් සහිත මාදිලියත් සමඟ අලුතෙන් වෙනස්වීම් සහිත මාදිලි ගැන විපරම් කර බලන වෛරස “සීකුවන්සින්”  හෙවත් වෛරස පෙළපත - පැටිකිරිය සොයා බැලීමේ මිලාධික පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය ලොවපුරාම රට රාජ්‍ය ඉහළ දැම්මේය. මේ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ විවිධ විපරීත ලක්ෂණ සහිත වෛරස ප්‍රභේද ගැන අනතුරු ඇඟවීම් වැඩි වැඩියෙන් ලැබෙන්නට විය. අමෙරිකාවේ මේ වනවිට සතියකට මෙම ජාන පැටිකිරිය සෙවීමේ genomic sequencing පරීක්ෂණ 25,000ක් පමණ සිදුකෙරෙමින් පවතී. මේ නිසාම දැනට ඒ රටින් ඉහත වොෂිංටනයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත දරුවාට වැළඳුන  වෛරස ප්‍රභේදය බඳු නව වෛරස ප්‍රභේද ගැන දත්ත දිනෙන් දින තොග පිටින් වාර්තා වෙමින් තිබේ. පසුගියදා කැලිෆෝනියාවේ නියැඳියක් තුළින් ලෙව මුල්ම දෙමුහුම්කරණයට ලක්වූ කොවිඩ් වෛරසයක් ගැන වාර්තා වූයේද ඒ අන්දමටය. දැන් මෙතෙක් කලක් නොවූ විරූ පරිදි කුඩා දරුවන්  වැඩියෙන් ගොදුරු කරගන්නා නව ප්‍රභේදයක් ගැන සැක සංකා මතුව ඇත්තේද ඒ අනුවය.

වසර මුල සිට වාර්තා වූ විපරීත ලක්ෂණ සහිත ප්‍රභේද අතරින්  එංගලන්තයෙන් මෑතක  සොයාගත් සීඝ්‍රව පැතිර යාමේ විපරීත ලක්ණය සහිත B.1.1.7, මාදිලිය ලොවපුරා රටවල් 50කට පමණ ව්‍යාප්තව ඇති භයානක ප්‍රවනතාවකි. ඒ හා සමග දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ B.1.351නමැති අලුත් මාදිලියක් පසුගිය වසරේ ඔක්තෝබර් වනවිට වාර්තා වී තිබුණි. වඩාත් භයානක බවට කූප්‍රකට වූයේ මේ මාදිලියයි. බ්‍රසීලයෙන් තවත් අමුතුම ආකාරයක විපරීතයක් සහිත මාදිලියක් මතුවූයේ ජනවාරි මාසයේදී පමණය. සාමාන්‍ය ප්‍රතිදේහ ජනක පරීක්ෂාවන් මගින් හඳුනාගැනීමටද නොහැකි තරමටම වෙස් පෙරළා ගත් එම P.1, නමැති මේ විකෘතිය පසුව අමෙරිකාවේද පැතිර යමින් තිබුණි. මේ බ්‍රසීල සහ දකුණු අප්‍රිකා මාදිලි තුළ හටගත් E484K නමැති අලුත් විපරීතයක් හේතුවෙන්  ප්‍රතිදෙහජනක සඳහා ප්‍රතිරෝධි බවක් සහිත තවත් නව මාදිලියක්ද දැන් බිහිව හමාරය. දැන් දරුවන්ටද දැඩි ලෙස හානිකරන මාදිලියක් අලුතෙන් හමුව තිබේ.

මේ නව මාදිලිවල ඇති භයානකම විපරියාසය වූයේ ඒවා ඉතා වේගවත් පැතිරීමක් සහිත එහෙයින් රෝගීන් සංඛ්‍යාව දැරිය නොහැකි මට්ටමකට ඉහළ දමන අර්බුදකාරී මාදිලි බවට පත්ව තිබීමය‍. මේ අලුත් විපරීත සහිත වෛරස ඉක්මණින්ම වැඩි පිරිසක් අතර පැතිර යාමේ අවදානමත් සමගම ඒවා වැඩිවැඩියෙන් විපරීතවීම් වලට ලක්වීමේ හැකියාව ඉහළ ගොස් තිබේ. මේ වෙනස්කම් සිදුවන ආකාරයට අනුව දැනට ලෝක අවධානය දිනා ඇති SARS-CoV-2 මූලික වෛරසය හෙවත් වල් දර්ශය ලෙස සැලකෙන වූහාන් වෛරසය මුළුමණින්ම වෙනසකට ලක්වී අලුත්ම මාරාන්තික වෛරසයක් බවට වෙස්පෙරැළීමට වැඩි දිනයක් ගත නොවනු ඇතැයි විද්වතුන් අනතුරු අඟවා හමාරය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා SARS-CoV-2 වෛරස පාලනයට ලක්ව ඇති බව කීවද ලොවපුරා නව සීඝ්‍ර පැතිර යාමක්  සිදුවන බවට වාර්තා දිනපතාම වාගේ මතුව එයි. මේ නව විපරිතයන්ගේ ක්‍රියාකාරීත්වය නිසාය. මේ නව මාදිලි අලුතෙන් වාර්තාවීම සම්බන්ධයෙන් භයානකම අලුත්ම වාර්තාව ලැබෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි‍.

ඉන්දියාව තුළ වසංගතය නව වටයකින් පැතිර යාමේ ප්‍රවනතාවක් මතුව ඇත. මහාරාශ්ඨ ප්‍රාන්තය ඇතුළු ජනාකීර්ණ ප්‍රාන්ත 5ක අසාමාන්‍ය ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේ. ඒ සමගම  වාර්තා වූ භයානක කරුණ වූයේ ඉන්දියාව තුළ විවිධ වෙනස්කම් සහිත  ප්‍රභේද 7,684ක් පවතින බවය. අලුතෙන්ම ඉදිරිපත්ව ඇති විද්‍යාත්මක දත්ත වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත්තේ මේ නව විපරීත මාදිලි අතරින් 61ක්ම රෝග ලක්ෂණ පිටතට නොපෙන්වන ඒවා බවටය. ඒ රටේ ප්‍රාන්ත 22ක ඇති ප්‍රධාන පෙලේ පර්යේෂණාගාර 53ක් තුළ මේ ලිපිය ලියන මොහොත වනවිටද ‌මේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. මේ පර්යේෂණ දත්ත පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතයේ සැබෑ තත්ත්වයේ අප මේ තවමත් දකින්නේ හිම කන්දක දිය මතුපිට ඇති පුංචි මුදුන් කොටස දකින්නාක් බඳු ඉතා අල්ප ප්‍රමාණයක් පමණක් බවය. දැන් ලොවපුරා දක්නට ලැබෙන කොවිඩ් මරණ හදිසියේ ඉහළ යාමට සහ ආසාදිතයන් සීඝ්‍ර ලෙස ඉහළ යාමටත් මේ තවමත් සැඟ වී ඇති කොවිඩ් මාදිලි වගකිව යුතුව ඇතැයි යන්න දැන් විද්වතුන් තුළ තහවුරුව ඇති ආකල්පයයි.

 සුගත් පී. කුලතුංගආරච්චි