2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ඇමැතිටත් නවත්වන්න බැරි වූ සූරියවැව ගොවි උපවාසේ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

දිනපතා වන අලි ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවක් සිටින විවිධ ප්‍රදේශ අතරින් හම්බන්තොටට හිමිවන්නේ ප්‍රධාන තැනකි. ඒ තරමටම මේ වන විට හම්බන්තොට වන අලි ගැටලුව උග්‍ර වී තිබේ. දිනෙන් දින සිදුවන වන අලි මරණ මෙන්ම ජීවිත හානිද ඉහළ ගොස් තිබේ. එමෙන්ම වන අලි නිසා දිනපතා සිදුවන වගා හානි හා දේපළ හානි ගණනය කිරීමට නොහැකි තරම්ය. ඒ තරමටම වන අලි ගැටලුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආණ්ඩුවලට මෙන්ම පවතින ආණ්ඩුවටද ගොවි ජනතාව කොතෙක් ගතු කීවත් ඒවා බීරි අලින්ට වීණා වයන්නාක් මෙනි. කාට කිව්වත් ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර අතට පත්වූවා මිසක් ඒ සඳහා විසඳුමක් ලැබී නොමැත.

වරින් වර මේ සඳහා විසඳුම් දෙන්නැයි ඉල්ලා ජනතාව පාරට බැස කොතෙකුත් හර්තාල් කළද ඒ ඒ අවස්ථාවන්වලට සරිලන අයුරින් නිලධාරීන් පැමිණ පැලැස්තර විසඳුම් දී ජනතාව රැවටීමට ලක් කළද මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට සැවොම අපොහොසත් වූහ. මේ නිසාම වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් දෙන ලෙසත්, හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත්, හම්බන්තොට සිදුවන ඉඩම් මංකොල්ලය නතර කරන ලෙසත් ඇතුළුව ඉල්ලීම් 06ක් මුල්කරගනිමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය පසුගිය ජනවාරි 18 දින සූරියවැව වල්පසුගල වැව් තාවුල්ලෙහි සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. තම ඉල්ලීම්වලට නිසි පිළිතුරු රැගෙන නිලධාරීන් ඒවි යැයි ගොවි ජනතාව දෑස් ඇර බලන් සිටියද කිසිවකුත් එම ස්ථානයට නොපැමිණීම නිසා ගොවි නියෝජිතයෝ දැඩි තීන්දුවක් ගත්හ. අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත ගොවීන් තිදෙනකු 21 වැනි දින සත්‍යග්‍රහය අතහැර දමා මාරාන්තික උපවාසයකට වාඩි වුණේ “මෙතන මැරිලා ගියත් මේ ගැටලුවට විසඳුමක්  අරගෙන මිසක් නැගිටින්නේ නෑ” යැයි ප්‍රකාශ කරමිනි.

මේ පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ 24 වැනි දින පෙරවරුවේ සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය පැවති ස්ථානයට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැමිණියේය. උපවාසයේ නිරත සියලු දෙනාටම ඉතා සමීප දේශපාලනඥයකු වූ චමල් රාජපක්ෂ මහතා එහි ගොස් සිටියේ නිලධාරීන්ද සමඟිනි. උපවාසයේ නිරත පිරිස අසලට ගිය චමල් රාජපක්ෂ මහතා එහි සිටි පිරිසගෙන් බොහෝ දෙනකුට නමින්ම ආමන්ත්‍රණය කරමින් පැවසුවේ මෙම කටයුත්ත සිදු කිරීම සඳහා මසක පමණ කාලයක් අවශ්‍ය බවය. “දැනට මෙම මාරාන්තික උපවාසය අත්හරින්න. මම මසක් ඇතුළත යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන වැ‌ඩේ කරන්නම්. එතෙක් තියෙන විදුලි වැට ආරක්ෂක අංශ නිලධාරීන් යොදවලා ශක්තිමක් කරලා දෙන්නම්” යැයි අමාත්‍යවරයා පොරොන්දු විය. අමාත්‍යවරයාගේ පොරොන්දුවත් සමඟ පිරිස මාරාන්තික උපවාසය අත්හැර දැමූ අතර අඛණ්ඩ සත්‍යග්‍රහය පමණක් ක්‍රියාත්මක කරගෙන ගියේ ගැසට් නිවේදනය ආ පසු සත්‍යග්‍රහය අත්හරින බව පවසමිනි.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍යවරයා ඉල්ලූ මසක කාලය පෙබරවාරි 23 වැනි දිනෙන් අවසන් විය. ඒ වන තුරුත් රක්ෂිතය ගැසට් කිරීමක් සිදු වී නොතිබීම නිසා 24 වැනි දින සිට යළි මාරාන්තික උපවාසය ආරම්භ කරන බව ගොවීහු රජයට අවධාරණය කළහ. එවන් පරිසරයක් තුළ ඉකුත් 23 වැනි දින හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව මාධ්‍ය නිවේදනයකින් පැවසීමත් සමඟ ගොවීන් පිරිස ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මාරාන්තික උපවාසය තවත් දින 10ක කාලයක් සඳහා කල් තැබීමට කටයුතු කෙරුණි.

සමහරු කැලේ ඇතුළේ අක්කර සිය ගණන් අල්ලාගෙන
වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද මහතා මෙලෙස අදහස් දැක්වීය.

“අපි මේ සටන ආරම්භ කළේ අපිට ඉඩම් ඉල්ලන්න නෙමෙයි. අපි මේ සටන ආරම්භ කළේ සතාට හිමි භූමිය සතාට දෙන්න කියලයි. මෙච්චර කාලයක් වන අලි ඇතුළු වන සතුන් හිටිය භූමිය අද විවිධ දේශපාලන හෙන්චයියලා බලපුළුවන්කාරකමින් අල්ලගෙන ඉන්නවා. එක්කෙනා අක්කර පන්සීය හයසීය කැලේ ඇතුළේ කොටුකරගෙන ඉන්නවා. වන අලින්ට ගමට යනවා ඇරෙන්න වෙන යන්න තැනක් අද නැතිවෙලා තියෙනවා. අපි හැමදාමත් බලධාරීන්ගෙන් ඉල්ලුවේ වන සතාගේ වාසභූමිය වන සතාට දෙන්න කියලා විතරයි. එහෙම වුණා නම් මේ තියෙන අලි මිනිස් ගැටුම ඇතිවෙන්නේ නෑ. අද වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා හෙක්ටයාර 23746.55ක භූමි ප්‍රමාණයක් ගැසට් කිරීමට කැබිනට් එකේ අනුමැතිය හිමිවෙලා කියලා. කෙසේ නමුත් ගෙවුණු කාලය තුළදීත් රජය විටින් විට විවිධ ගැසට් නිකුත් කිරීම් සිදු කළා. ඒවාට වුණේ මොනවද කියලත් අපි දැක්කා. ඒ නිසා ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා කිව්වට ඒ කෙරෙහි අපිට තවමත් ඒ තරම් විශ්වාසයක් නෑ.”

මේවා ගොවීන්ගේ අහිංසක ඉල්ලීම්
සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය සඳහා සහාය පළ කළ සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති දන්දෙණියේ ධම්මානන්ද හිමි මෙලෙස පැවසූහ.

“මේ මිනිස්සු අද මේ විදියට පාරට බැහැලා තියෙන්නේ බොහොම සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන්. මේ මිනිස්සු දැන් අවුරුදු ගාණක ඉඳන් දරුමල්ලන් එක්ක එළිවෙනකම් වන අලි ගැටලුවට මුහුණදෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේ. මේ ජනතාව ආණ්ඩුවෙන් කන්න නෙමෙයි ඉල්ලන්නේ. මේ තියෙන ගොවිතැන් ටික රැකගන්න, මේ ගොවිතැන්වලට හානි කරන මේ වන අලි ටික රක්ෂිතයට  දමලා දෙන්න කියන අහිංසක ඉල්ලීමක් මේ ජනතාව කරන්නේ. දහදුක් විඳලා හදාගන්න මේ තක්කාලි ගෙඩි ටික, කෙසෙල් ගෙඩි ටික ඇතුළු බෝග ටික රැකලා දීපල්ලා කියන ඉල්ලීමයි මේ ගොවියෝ මේ පාලකයන්ගෙන් ඉල්ලන්නේ. මෙතන ආරම්භ කළේ සත්‍යග්‍රහයක්. ඒ කාලය තුළදී වගකිවයුත්තන් කිසිවකුත් මේ සඳහා කිසිදු විසඳුමක් දෙන්න කටයුතු කළේ නෑ. ඒ වෙනුවට කළේ උසාවියට ගිහින් මේ අසරණ ගොවීන්ට උසාවි නියෝග ගත්ත එක විතරයි. ඒ නිසා තමයි අද මෙතන මේ අහිංසක ගොවියෝ මේ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත් කළේ. ඉදිරි දින කිහිපය තුළදී මේ සඳහා වගකිවයුත්තෝ විසඳුමක් දුන්නේ නැතිනම් මහා සංඝරත්නය වෙනුවෙන් මමත් මෙතන මාරාන්තික උපවාසයේ වාඩිවෙනවා.”

මාස තුනෙන් විසඳනවා කිව්වා: දැන් අවුරුද්දක් ගිහින්
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලව ඒකාබද්ධ ගොවි සංවිධායේ ලේකම් සමන් සුදර්ශන මහතා මෙලෙස පැවසීය.

“දැන් කාලයක ඉඳන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉතා දරුණු ලෙස වන අලි ගැටලුව තියෙනවා. රෑට ගෙදරක ඉන්න බයයි. උදේ පාන්දර දරුවෙක් තනියම ඉස්කෝලෙකට යවන්න විදියක් නෑ. අපි මේ ගැන 2010 ඉඳලාම දිගින් දිගටම පාලකයන්ට කිව්වා. නමුත් කිසිවකුත් මේ සඳහා විසඳුමක් දුන්නේ නෑ. මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව වත්මන් ජනාධිපතිවරයාට තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිවයි. ඡන්දයට එන අවස්ථාවේදී මේ පාලකයෝ අපිට පොරොන්දු වුණා මේ ගැටලුව බලයට ඇවිත් මාස තුනක් ඇතුළත විසඳලා දෙනවා කියලා. නමුත් මේ ආණ්ඩුව පත්වෙලත් දැන් අවුරුද්දකටත් වැඩියි. තවමත් මේ වෙනුවෙන් කිසිදු බලධාරියෙක් මේ ගැටලුව ගැන මේ ජනතාව ගැන සොයා බලන්න කටයුතු කළේ නෑ.

උඩවලව, ලුණුගම්වෙහෙර මෙන්ම බුන්දල ජාතික වනෝද්‍යානය යා කරමින් තමයි මේ  වන අලින් ගමන් කරන්නේ. එම සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි  මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් මෙම වනාන්තර ප‍්‍රදේශ ජාලගත කිරීමේ අරමුණ ඇතිව තමයි මේ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නිසි පරිදි ප‍්‍රකාශයට පත් කරන්න කියා පරිසරවේදීන් වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදීම යෝජනා ඉදිරිපත් කළේ. මේ තුළින් පමණයි හම්බන්තොට ප‍්‍රදේශයේ සිටින අලි ඇතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින්නේ.”

සත්‍යග්‍රහයේ නිරත ගොවීන්ට තවත් හුරුපුරුදු දේශපාලනඥයකුද පසුගිය දින මේ ස්ථානයට පැමිණියේ ගොවි ගැටලුව පිළිබඳව සොයා බැලීමටය. ඒ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ මෙම ගැටලුව සඳහා පක්ෂ විපක්ෂ හැමෝම වගකිව යුතු බවය.

කුමන දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම ස්ථානයට පැමිණ ගියද මෙම සටන කිසිදු ආකාරයකින් කිසිදු පක්ෂයකට පාටකට පාවාදීමට සූදානම් නොවන බවත්, මෙම සටන තුළ ඉන්නේ එකම පක්ෂයක් බවත්, ඒ ගොවි පක්ෂය පමණක් වන බවත්, අවධාරණය කරන ගොවි නියෝජිතයන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම සටන ජයගෙන මිසක් ආපස්සට නොයන බවය.

 සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර