2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

කටුනායක පෙරහුරුවට වෙඩි උණ්ඩ ගෙනගිය පොලිස් නාකොටික් එස්.අයි

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

පාකිස්තානය ශ්‍රී ලංකාවට අතිශය හිතවත්, මිත්‍රශීලී රාජ්‍යයකි. එරටේ 22 වැනි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට රජයේ උසස් දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා 02/23 දින පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණේ පසුගිය වසරේ මැද භාගයේ සිටය. ඒ සඳහා දෙරටේ නියෝජිතයන් වරින්වර සාකච්ඡා කළ අතර, මෙම සංචාරය මෙතෙක් පමාවූයේ රටපුරා මෙන්ම ලොවපුරාද එකසේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසාය. කෙසේ හෝ මෙම නිල සංචාරය සඳහා දින වකවානු නියම වීමෙන් පසුව, දෙරටම ලහිලහියේ මෙම සංචාරය සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නට විය.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ 2021 වසරේ පළමු විදේශ සංචාරය මෙය වන අතර, ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානු රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. ඉම්රාන් ඛාන්ටත්, පොදුවේ පාකිස්තානයටත් මෙම සංචාරය වැදගත් වනවා සේම ශ්‍රී ලංකාවටත් මෙම සංචාරය අතිශය වැදගත්කමක් උසුලන එකක්ම විය. 

එයට හේතුව ජිනීවා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාවලට එරෙහිව කටයුතු කිරීමට මේ වනවිටත් පාකිස්තානය පොරොන්දු වී තිබීමයි. මීට පෙර මේ ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් සැසියේදී යෝජනා ඉදිරිපත් වූ විටද එම යෝජනා පරදා, ශ්‍රී ලංකාවට පක්ෂපාතී වාතාවරණයක් ඇති කිරීමට පාකිස්තානය ක්‍රියාකර තිබුණි. එමෙන්ම පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකාවට යුධ උපකරණ ලබාදෙමින් එම යුද්ධය විජයග්‍රහණය කිරීමට විශාල සහයෝගයක් පාකිස්තානය අප ශ්‍රී ලංකාවට ලබා දී තිබුණි.

එහෙත් අසල්වැසි ඉන්දියාව මේ සියලු අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු නොකළා සේම, වර්තමානයේදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් මෙන්ම, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දූපත් 03ක් චීනයට විදුලි බලාගාර ව්‍යාපෘති කීපයක් සඳහා ලබාදීම වැනි කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කරගෙන තිබේ. මෙවන් පසුබිමක පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතිශය තීරණාත්මක මෙන්ම වැදගත් එකක්ද වී තිබේ.

මේ තත්ත්වය නිසාම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කටුනායක ගුවන් තොටුපළේදී එතුමා ඇතුළු දූත පිරිස ගරුසරු ඇතිව පිළිගන්නා ආකාරයත්, ඉන්පසුව සුරක්ෂිතව එම පිරිස කොළඹ වෙත රුගෙන යන ආකාරයත් පිළිබඳව 02/19 දින කටුනායක ගුවන් තොටු‍පොළේදි පෙරහුරුවක් පැවැත්වුණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, යුධ, ගුවන් සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, පාකිස්තානු බුද්ධි අංශ නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

02/19 දින උදෑසන 10.30 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇතුළුවීමේ දොරටුව වෙත පැමිණියේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක මුර කපොල්ලෙහි රාජකාරී සඳහා අනුයුක්තව සිටියේ පුහුණු කරන ලද සුනඛයන්ද සමගින්ය. මෙම උප පොලිස් පරීක්ෂකවරයාද සාමාන්‍ය ගුවන් මගීන් මෙන් දැඩි පරීක්ෂාවකට ලක්කළේ ඒ වනවිටත් ගුවන් තොටුපළ තුළ පෙරහුරු අභ්‍යාසයක් ක්‍රියාත්මක වෙමින් පැවති නිසාය. එහෙත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා, තමා දිනපතා රාජකාරී කරන ස්ථානයේ මේ ආකාරයට තමන් පරීක්ෂා කිරීමකට ලක් වේ යැයි කිසිවිටෙක සිතන්නට නොමැත.

ඒ අනුව කටුනායක  ගුවන් තොටුපළ ඇතුළුවීමේ දොරටුව සමීපයෙහි සවිකර ඇති ස්වයංක්‍රීය පුපුරණ ද්‍රව්‍ය සහ ලෝහ ද්‍රව්‍ය සඳහා ප්‍රතික්‍රියා සිදුකරන යන්ත්‍රය මෙම නිලධාරීවරයා දොරටුවෙන් ඇතුළු වීමත් සමග නාදවන්නට වූයේ නොකඩවාය. ඒ සැණින් ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, මෙම පොලිස් නිලධාරීවරයා මෙතෙක් සඟවා ගෙන සිටි ටී - 56 ජීව උණ්ඩ 15ක් සොයා ගැනීමට සමත් විය.
ඔහු කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක, මාතලේ ප්‍රදේශයේ පදිංචි සාලිය සුජිත් බණ්ඩාර වනිගසේකර නැමැත්තාය. මෙම පොලිස් නිලධාරීවරයාට මෙම උණ්ඩ ළඟ තබාගැනීම සඳහා නිසි අවසරය සහිත බලපත්‍රයක් නොතිබුණු අතර, වහාම කටුනායක ගුවන් තොටුපළ පොලිස් නිලධාරීන් පැමිණ මෙම නිලධාරීවරයා පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණි. මෙම ජීව උණ්ඩ තොගයට අමතරව මොහු සන්තකයෙහි ජංගම දුරකථන 02ක් ද තිබී, ඒවාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව මෙම නිලධාරීවරයා වහාම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබුණි. එහිදී මෙම නිලධාරීවරයා සතුව තිබූ ජංගම දුරකථන 02 පිළිබඳව කඩිනමින් එම දුරකථන සමාගම් සමඟ කටයුතු කර විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා නියෝග කර තිබේ.

එමෙන්ම මෙම පොලිස් නිලධාරීවරයා ලබන මාර්තු මස 01 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, එදිනට මෙම පැමිණිල්ල යළි කැඳවන අවස්ථාවේ, මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

I කටුනායක ටී.කේ.ජී. කපිල