චිත්‍රසේන කියන නාමය ශ්‍රී ලංකාවේ අන්වර්ථ නාමය විය. චිත්‍රසේන කොතැනද උත්තරීතර නැටුම් කලාව එතැන තිබුණේය. නාට්‍ය පර්යේෂණ හා නාට්‍ය ඉතිහාසය කොතැනද චිත්‍රසේන එතැන සිටියේය. නැටුමට මෙන්ම චිත්‍රසේන මියයන තෙක්ම වයසට ගියේ නැත.
නැට්ටුවෙක් වයසට යන්නේ හෙමින්.
චිත්‍රසේනයන් මේ ලියුම්කරුට පැවසුවේ මීට වසර හතළිහකට පෙර 1981 වසරේ නව යුගය පුවත්පත සඳහා විශේෂාංගයක් ලිවීමට කොල්ලුපිටියේ ඔහුගේ කලායතනයට ගිය විටය. ඒ වන විට වසර 60ක සිය නර්තන ලෝකයේ විස්කම් දස්කම් ලෝකයටම පෙන්වා තිබුණි. ඔහු ගැන 1940 මාර්තු මස 04 වැනිදා ඩේලි නිවුස් පත්‍රයට ලිපියක් ලියූ කර්තෘ මාණ්ඩලික ආනන්ද තිස්ස ද අල්විස් (පසුව කතානායක, අමාත්‍ය) කියා තිබුණේ චිත්‍රසේන මෑත කාලයේ ලංකාවේ පහළ වූ ප්‍රමුඛස්ථානය ගන්නා නළුවා බවය.
මගේ නම චිත්‍රසේන වුණාට ඒක ආරෑඪ නාමයක්. අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් නම් මම උපන්නේ 1921 ජනවාරි 26 වැනිදා කැලණියේ වරාගොඩ. කීර්තිමත් නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු හා නළුවන් තනන්නකු වූ සීබට් ඩයස් මගේ පියා. ඔහුගේ මයිලණුවන් වූයේ සර් ඩී.බී. ජයතිලක මහතා. මගේ මව ඩෝරා ඩයස්ය. කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේ 1934 දී රඟදැක්වූ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ නාට්‍ය දර්ශනය බලන්න මගේ පියා මාව ගෙන ගියා. එවකට මම කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙන ගන්නා දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙක්. නළුකම මගේ හිතට වැටුණේ එතැනින්. මම කලක් බොරුල්ලේ වෙස්ලි විද්‍යාලයට ගියා. මගේ පියා ටවර් නෘත්‍ය ශාලාව බදු අරගෙන නාට්‍ය පෙන්නුවා. මේ නිසා මට හැම නාට්‍යයක්ම බැලීමේ අවස්ථාව ලැබුණා. පුංචි කාලේ මට බෙර පදයක් ඇහෙන්න බැහැ ඉබේම නැටවෙනවා.
සර් ඩී.බී. ජයතිලක මහතාගේ මඟපෙන්වීම ඔස්සේ භාරතයේ ට්‍රුවන්කෝර්හි රාජකීය නර්තන ශිල්පියා වූ ගෝපිනාත් හා කලා විශාරද සී.පී. අයියර් ආචාර්යතුමා යටතේ නැටුම් ඉගෙන ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණි. එකල මොරිස්ගේ සමකාලීන ශිෂ්‍යාවක වූයේ චන්ද්‍රලේඛාය. (කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගේ බිරිය) ලාංකීය ශිෂ්‍යයන් වූ මොරිස් හා චන්ද්‍රලේඛා ට්‍රුවන්කෝර්හි මහා රාජාගේ මහා මන්දිරයේ වෙස් නැටුම, පන්තේරු නැටුම, තනි තනිවමද රාධා - ක්‍රිෂ්ණා නාට්‍ය දෙදෙනාටම ද රඟදැක්වීමට අවස්ථාව හිමි විය. 1941 වසරේ ලංකාවට පැමිණි මේ දෙදෙනා ඉදිරිපත් කළ රංගන මෙරට කලා රසිකයන්ගේ මෙන්ම ප්‍රභූ පක්ෂයේ ද ප්‍රශංසාවට ලක්විය. මොරිස් ඩයස්ගේ මෙහෙයවීමෙන් චන්ද්‍රලේඛා ද එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය මනු තැකර් (Manu Thacker) නම් ඉන්දියානු තරුණයා ද දැක්වූ නර්තනවලට ද එකල විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.
ට්‍රුවන්කෝර්හි නර්තනය ශිල්පය ගැන ලැබූ දැනුමෙන් සෑහීමකට පත් නොවූ මොරිස් භාරතයේ තවත් විශිෂ්ට, එමෙන්ම ලෝකපූජිත නර්තන ශිල්පී උදය ශංකර් වෙතින් නාට්‍ය කලාව හැදෑරුවේය.
නවදිල්ලියේ අල්මෝරා නගරයේ පැවැත්වූ ඉන්දීය නර්තන මංගල්‍යයට මට ආරාධනයක් ලැබුණා. එහි පැමිණි රාම් ගෝපාල් ද එහිදී රුඟුම් පෑවා. එහෙත් මගේ රුඟුම් ඒ හැමටම වඩා කැපීපෙනුණු අතර මගේ චණ්ඩාලිකා නාට්‍ය තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයේ රඟදැක්වූවාට පසු මට ප්‍රමුඛ ස්ථානයක් හිමිවුණා. එහි වූ තවත් විශේෂයක් වූයේ තාගෝර්ගේ මිණිපිරියක වන නන්දිතා ක්‍රිපලානි මේ නාට්‍ය සංදර්ශනයේ තාරකාවන් අතර කැපී පෙනීමයි. ඔහු ඉන්දීය සංචාරය ගැන කතා කරමින් කීවේය.
මොරිස් ඩයස් ලංකාවට පෙරළා පැමිණියේ 1944 වසරේදීය. ඉන්පසු ඔහු අල්ගම කිරි ගණිත ගුරුන්නාන්සේ, මුද්දනාවේ අප්පුවා ගුරුන්නාන්සේ සහ බැවිල්ගම ලපයා ගුරුන්නාන්සේ යටතේ පහතරට, උඩරට, සබරගමු යන නැටුම් ඉගෙන ගත්තේය. මේ තිදෙනාම තම ජීවිතයට අඩිතාලම දැමූ බව ඔහු පවසා තිබුණි.
මොරිස් ඩයස් ලංකාවට පැමිණ, තම පියාගේ සහාය ඇතිව විදුර ජාතකය ඇසුරෙන් විදුර නාට්‍ය වේදිකාවට ගෙන ආවේය. මේ නාට්‍යයේ ඇඳුම් නිර්මාණය ඔහුගේ පියා වූ සීබට් ඩයස්ගෙනි. සංගීතය මෙහෙයවූයේ සාදිරිස් මාස්ටර්ය. මෙහි ආනන්ද සමරකෝන් ගීත ගයමින් රඟපෑ අතර තම පියාගේ සොහොයුරා වූ සරත්සේන ද සොහොයුරිය මුනිරාණි ද රඟපෑහ. පූර්ණක යක්ෂයා ලෙස මොරිස් ද, විදුර පණ්ඩිතයා ලෙස ඇල්ප්‍රඩ් පෙරේරා ද චරිත රඟපෑවෝය. නාට්‍ය නැරඹීමට පැමිණි එකල සිටි ප්‍රකට සංගීතඥ ඇම්.ජී. පෙරේරා මහතා මොරිස් ගැන පැහැදී ප්‍රශංසා කරමින් මෙසේ කියා ඇත.
මොරිස් ඔයාගේ දක්ෂතා බැලුවාම මොරිස් කියන විදේශ නමට වඩා හොඳ නමක් තෝරාගන්න. චිත්‍රසේන තමයි මම යෝජනා කරන නම.
එතැන් සිට මොරිස් ඩයස් චිත්‍රසේන නමින් කලා ලොව එකළු කළේය.
චිත්‍රසේනට කොල්ලුපිටියේ කලායතනයක් පිහිටුවීමට එම ගොඩනැගිල්ල කුලියට දෙනු ලැබුවේ කලා රසිකයකු වූ සර් ඊ.පී.ඒ. ප්‍රනාන්දු මහතාය. ඒ 1944 වසරේදීය. ගාලු පාරේ කොල්ලුපිටියේ සිට ලිබර්ටි සිනමාහලට හැරීමට පෙර තිබූ වම් පැත්තේ චිත්‍රසේන කලායතනය තිබූ තැන අද ඇත්තේ චීන අවන්හලකි. එදා මේ කලායතනය අපට සිහිපත් කළේ භාරත යුගයට අයත් පැරණි එහෙත් ප්‍රෞඪ ගොඩනැගිල්ලකි. සර් ප්‍රනාන්දු මහතා මේ ඉපැරණි මන්දිරය කුලියට දුන්නා පමණක් නොව කලායතනය ඇරඹීමට රුපියල් 10,000ක් පරිත්‍යාග කර තිබුණි.
වචනයේ පරිසමාප්තයෙන්ම සරසවි අසපුවක් වූ මේ කලායතනයට ආව ගියේ කලා ලෝකයේ පසු කලෙක විස්කම්, දස්කම් පෑ මහා කලාකරුවන්ය. එහි නිත්‍ය සාමාජිකයන් වූයේ සෝමබන්දු විද්‍යාපති, අමරදේව, සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, සූර්ය ශංකර් මෝල්ලිගොඩ, පණිභාරත, මහගම සේකර, එඩ්වින් සමරදිවාකර, බී. වික්ටර් පෙරේරා, සෝමදාස ඇල්විටිගල, ජේ. සාදිරිස් ද සිල්වා, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, ආනන්ද තිස්ස ද අල්විස්, ගංගනාත්, ශේෂා පලිහක්කාර, ප්‍රේමකුමාර ආදීන්ය. එය සැබවින්ම සරස්වතී මණ්ඩපයක් මැවූ බව අපේ මනසේ සටහන් වීම පුදුමයක්ද?
මම තවමත් පාන්දර 5ට විතර අවදිවෙලා 6ට විතර මුහුදේ නාන්න යනවා. ඊටපස්සේ අව්ව තැපල දුවනවා. හැන්දෑවට පැයක් නටනවා. මේ නිසා මට යෞවනයෙක් මෙන් අදත් පැය 3ක් නටන්න පුළුවන් වෙහෙසක් නැතුව. හැම අඟහරුවාදාවකම මගේ ගුරුන්නාන්සේ ඉදිරියේ ඔහු නැමද අවසර ගෙන නටනවා. මම බෙර වාදනය කරනවා. මම ගුරුන්නාන්සේලාගෙන් නැටුම් ඉගෙනගෙන ඒ කලාවට කැපවෙලා නැටුවේ. ගුරුවරයාත් හා ගෝලයාත් අතර ඇති සම්බන්ධය ඒ එකතුව වචනයෙන් විස්තර කරන්න බැහැ. ගුරුවරයාට කල් යාමේදී වැටහෙනවා ගෝලයා ශාස්ත්‍රය ඉගෙනගත් බව. ඒක අමුතුම නිහඬ සංවාදයක්. හැබැයි වචනවලින් තොරයි. ඊටපස්සෙයි ගුරුවරයා ගෝලයාට වෙස් බඳින්නේ. වෙස් බැඳීම උපසම්පදාව ලැබුණා වගේ දෙයක්. චිත්‍රසේනයන් 1981 වසරේ මෙය ලියුම්කරුට කියන විට ඔහු පසුවූයේ හැට හැවිරිදි වියේය.
චිත්‍රසේනයන් පාද නොතැබූ ලෝක රඟහලක් නැති තරම්ය. ඔහු තම ජීවන සහකාරිය වූ වජිරාත් සෙසු කලාකරුවනුත් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව වටා ජය කෙහෙළි නැංවීය. 1950 වසරේ චිත්‍රසේන හා වජිරා විවාහ වූහ. ඔවුන්ගේ දියණියන් වූ උපේකා හා අංජලිකා ප්‍රවීණ නැටුම් ශිල්පිනියෝ වූහ. එකම පුතා අනුදත්ත රංග භූමි අලංකරණය හා ආලෝකකරණය පිළිබඳ ප්‍රවීණයෙකි
සිරිසඟබෝ, රාම හා සීතා, රාවණ, කරදිය, චණ්ඩාලි, කුමුදිනී, කිඳුරඟන, සාම විජය, රන් කිකිළි, ගිනිහොරා, අණබෙරය, හපනා වැනි නිර්මාණද, නවාංජලී, ශිවරංග යන නාට්‍ය සංදර්ශන ද චිත්‍රසේනයෝ නිෂ්පාදනය කළහ. ලංකාවේ ප්‍රථම නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වූ ලංකා සංදර්ශනයේ චිත්‍රසේනගේ නර්තන කෞෂල්‍යය ගැන ශාන්ති නිකේතනයේ ආදි ශිෂ්‍යයකු වූ සූරසේන වීරකෝන් සිලෝන් ඔබ්සර්වර් පත්‍රයට ලියූ ලිපියකින් ප්‍රශංසා කොට තිබුණි.
චිත්‍රසේනගේ නර්තන ජීවිතයේ සහකාරිය වජිරාය. වජිරා නැති චිත්‍රසේනගේ නාට්‍ය ප්‍රසංග අසම්පූර්ණය. වජිරා ගැන චිත්‍රසේන මෙසේ අපට විස්තර කර තිබුණි. වජිරා ඔහුගෙන් නර්තනය ඉගෙනගත් දක්ෂම ශිෂ්‍යාව ද වූවාය.
වජිරා තරම් අති දක්ෂ නාට්‍ය ශිල්පිනියක් මුළු ආසියාවේම නැතැයි මා පවසන්නේ ඇය මගේ බිරිය නිසා නොවෙයි. ඒ වගේම අපේ දියණිය උපේඛාත් එවැනි දක්ෂතා ඇති දක්ෂ නර්තනවේදිනියක් බවට මා පවසන්නේ ආත්ම වර්ණනාවක් හැටියට නොවේ. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස නැටුම් කලාවට ඇති කැපවීමයි. අපි 1970 දී යුරෝපයේ රටවල් හතරක නගර 58ක නර්තන චාරිකාවක් ගියා. අපේ නර්තනය කෙළවර අපර විදේශික කලා රසිකයන් අසුන්වලින් නැගිට විනාඩි 5ක් පමණ අත්පොළසන් දුන්නා. ඒ අත්පොළසන් දුන්නේ චිත්‍රසේන, වජිරා ප්‍රමුඛ පිරිසට නෙවෙයි. අපේ කලාවට. අපේ නර්තන දුටු කලා රසිකයෝ බොහෝ දෙනෙක් ඇසූ එකම ප්‍රශ්නය නම්..
අපි ලංකාව ගැන දැන සිටියේ හොඳම තේ තියෙන රට කියලා. දැන් අපි ලංකාව ගැන දන්නේ ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රට හැටියට. ඒ වගේම අද අපි සලකන්නේ ලංකාවේ හොඳම නැටුම් තියෙන රට කියලා. සිංහල නැට්ටුවාට ලෝකයේ ඕනෑම වේදිකාවක මුල්තැනක් ලැබෙනවා. අපේ බෙර වාදනවලට මුළු ලෝකය මවිත වෙනවා. විදේශිකයන් අපේ නැටුම්වලට කැමති වුණේ එයින් නැගුණු රිද්මයටයි. චිත්‍රසේන කීය.
මට වයස අවුරුදු 80 වන තෙක්ම කොහේ හරි කොහොඹ කංකාරියක්, ගම්මඩුවක්, බලියක් තිබුණොත් මම එතැන. මගේ ගුරුන්නාන්සේලා ජීවත්වෙලා ඉන්නකම්ම කුරුණෑගල පොතුහැරට ගියා. මම ඔවුන් එක්ක කුඹුරුවල ඇවිද්දා. ඔහු අපට කීහ.
රටක්, ලොවක් නැටුම් කලාව විචිත්‍ර කළ චිත්‍රසේනයෝ කොළඹ මහනුවර පාරේ මහර ජිනසේන මාවතේ කුඹුරුයායකට මැදි වී තිබූ නිසංසල නිවෙසකදී 2005 අගෝස්තු 15 වැනිදා අභාප්‍රාප්ත වූහ.