2021 පෙබරවාරි 26 වන සිකුරාදා

කෙරවලපිටිය කසළ අංගනය ගැන චම්පිකගේ හෙළිදරව්ව

 2021 පෙබරවාරි 26 වන සිකුරාදා, ප.ව. 02:46 76

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම නිසා තිහකට අධික පිරිසක්‌ මියගියහ. නිවාස 100 කට පමණ හානි සිදුවිය. කුණු කඳුවලට යට වී මිනිසුන් මියයන කතාව අප රටට නුහුරුය. එහෙත් අප රටේ කසළ කළමනාකරණයේ දුගී බව පසක්‌ කරමින් මීතොටමුල්ල කුණු කන්දට යට වී අප රටේ මිනිසුන් පිරිසකට මියයෑමට සිදුවිය. මීතොටමුල්ල නාය ගිය මොහොතේදී එහි වගකීම කොළඹ මහ නගර සභාව හෝ වෙනත් පාර්ශ්වයන් එය භාර ගත්තේ නැත. සිදු වූ එකම දේ වූයේ එකිනෙකාට බෝලය පාස්‌කර ගැනීම පමණි.

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම නිසා කොළඹ නගර සීමාවේ එකතුවන කැළි කසළ බැහැර කිරීම අර්බුදයට ලක්‌විය. ඒ සඳහා අවසානයේ පැමිණි විසඳුම වූයේ කොළඹ කුණු කෙරවළපිටිය කසළ අංගනයට බැහැර කිරීමයි. කොළඹ කුණු නිසා මේ වනවිට කෙරවලපිටිය අංගනයේ කසළ ධාරිතාවය ඉක්‌මවා ඇත. සාමාන්‍යයෙන් දිනකට කොළඹ මෙට්‍රික්‌ ටොන් 600ක්‌ පමණ කුණු කසළ එක්රුස්‌ වේ. මෙම කුණු බැහැර කිරීම දිනපතා කළමනාකරණය නොකළහොත් සිදුවනුයේ ඉතා බරපතළ තත්ත්වයකි.

කෙසේ වෙතත් කෙරවළපිටිය කසළ අංගනයේ කුණු කඳු ගොඩගැහී ඇත්තේ දරාගත නොහැකි ආකාරයටය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ පසුගිය දිනක කෙරවළපිටිය කසළ අංගනයේ ඇති වූ ගින්නට ප්‍රධාන හේතුව අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමේ ප්‍රථිපලයක් බවය. එමෙන්ම මෙම ආණ්ඩුව බලයට පත් වී මාස 15ක පමණ කාලයක් ගත වුවද අරුවක්කාලු කසළ අංගනය සම්පූර්ණ කොට භාවිතයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවටද චෝදනා කරයි.

2017 වර්ෂයේ අප්‍රේල් මාසයේ මීතොටමුල්ල අවිධිමත් කසළ බැහැර කිරීමේ ස්ථානය ජීවිත 33ක් බිලිගනිමින් නායයෑමත් සමඟ පැවැති තත්ත්වය සමනය කරගැනීම වෙනුවෙන් කොළඹ නගරයේ කසළ අපහරණය සහ කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර සිටි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසති.
ඒ අනුව පළමුව සිදුකළේ කොළඹ මහනගර සභා පාලන සීමාව තුළ සියලුම කැළිකසළ වෙන්කර ලබාගැනීමේ ක්‍රමවේදයක් කොළඹ නගර සභාවත්, ඊට අනුබද්ධව සේවා සපයන ආයතනත් සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමයි. අඛණ්ඩව මාස 03 ක කාලයක් සෑම දිනකම උදෑසන 06 ටත් නැවතත් සවස 06 ටත් නිලධාරීන් සහ අනුබද්ධ දේශපාලන අධිකාරිය සහ සම්බන්ධව එම වැඩපිළිවෙළ සෘජු අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමට එවකට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පාඨලී චම්පික රණවක මහතා ක්‍රියා කළේය.

එම ක්‍රියාවලියේදී වෙන්කරන ලද කසළ ආශ්‍රයෙන් දිරාපත්වන කසළ, වෙනමම බැහැර කොට ඒ ආශ්‍රිතව කොම්පෝස්ට්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරිණ. එමෙන්ම නොදිරන කසළ පරිසර පද්ධතියට හානි නොවී විධිමත්ව බැහැර කිරීමට පවතින තත්ත්වයන් හඳුනාගෙන ඒ අනුව ක්‍රමානුකූලව කෙරවලපිටිය තවකාලික කසළ අංගනයට බැහැර කිරීමටද එම සංස්ථාවට අදාළ කාලසීමාවේදී පියවර ගත්තේය.
මේ අතරතුර කාලයේදී අමාත්‍යාංශය සමගාමී කටයුතු තුනක් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට තිබිණ. ඒ නායයෑමට ලක් වූ මීතොටමුල්ල කුණු කන්ද විධිමත් තාක්ෂණික දායකත්වය යටතේ ස්ථායීකොට එය නාගරික උද්‍යානයක් බවට පත්කිරීමත්, එයින් අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ලබාදීම සහ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට මුහුණ දිය හැකිවන පරිද්දෙන් අරුවක්කාලු කසළ අංගනයේ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමය.
2019 පෙබරවාරි මස වනවිට අරුවක්කාලු කසළ අංගනයේ ඉදිකිරීම් ප්‍රගතියට අනුව එය සම්පූර්ණ කර භාවිතයට ගැනීමට 2020 මාර්තු මස සැලසුම් කර තිබිණ. ඒ අතරතුර අරුවක්කාලු කසළ රඳවනයේ 1/3ක වැඩ අවසන් කර තිබූ හෙයින් 2019 අප්‍රේල් මස සිට එම කොටසට කොළඹ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරන ලෙසත්, කෙරවළපිටිය කසළ අංගනයට කැලි කසළ බැහැර කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසත් කොළඹ මහනගර සභාවට ලිඛිතව දැනුවත් කෙරිණ. එය 2019 වසරේ ජනාධිපතිවරණය පවත්නා කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කළේය.

ඒ සඳහා වන විශේෂ කැබිනට් පත්‍රිකාවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අත්සනින් 2019 පෙබරවාරි 17 වැනි දින ඉදිරිපත් කර ඇත. එහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ කොළඹ පැවති කසළ අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස යොදාගත් කෙරවළපිටිය කසළ බැහැර කිරීමේ ස්ථානය 2019 අප්‍රේල් මස සිට නවතා දමන බවත්, ඒ වෙනුවෙන් අරුවක්කාලු කසළ අංගනයේ කොටසක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවය.
කෙසේ වෙතත් එම තීන්දුව වත්මන් රජය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෙරවළපිටිය ප්‍රදේශයේම නැවතත් කසළ බැහැර කිරීම හේතුවෙන් දරාගත නොහැකි මට්ටමේ කසළ කන්දක් දක්වා මෙම කසළ අංගනය අද වනවිට ව්‍යාප්ත වී ඇත. එහි එක් ප්‍රතිඵලයක් සහ අවිධිමත් කසළ බැහැර කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 18 වැනිදා කසළ අංගනයේ ඇතිවූ ගින්න පෙන්වා දිය හැක.

තවද, මෙම ආණ්ඩුව බලයට පැමිණ මාස 15ක් ඉක්මවූවත් අරුවක්කාලු කසළ අංගනය සම්පූර්ණකොට භාවිතයට ගැනීමට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් දියත් කර නැත. කසළ රැගෙනයාම වෙනුවෙන් මෙරටට ආනයනය කළ කෝච්චි පෙට්ටි දුම්රිය දොපාර්තමේන්තුවේ පසෙක තබා ඇත. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් කිසිවක් මේ වනතෙක් ඉටු වී ඇති බවක් දක්නට නොලැබේ.

මෙම ව්‍යාපෘතියේදී අදාළ කාර්යයන් නියමිත වේලාවට නොකිරීම හේතුවෙන් වැඩ ප්‍රමාද ගාස්තුවක් ලෙස රුපියල් මිලියන 650ක මුදලක් ව්‍යාපෘති සමාගම වන චයිනා හාර්බර් ආයතනයෙන් ලබාගත යුතු බවට තීන්දුවක් පැවතියත් එය නොසලකා ඔවුන් වෙත ලැබිය යුතු අනෙකුත් මුදල් ගෙවීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. තවද, පෙර සිට පැවති උපදේශන සේවාව සම්පූර්ණයෙන්ම ඉවත්කර චයිනා හාබර් අවශ්‍යතාවයන්ට අනුව අරුවක්කාලු ව්‍යාපෘතිය පවත්වාගෙන යෑමට මේ වනවිට අවස්ථාව සලසා දී ඇත.

තවද, පසුගිය 17 වැනිදා විවෘත කරන්නට යෙදුණු කසළින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සිදුනොවන තැනට වැඩ සලස්වා තිබූ අවධියක, එය ක්‍රියාත්මක කළ යුතු සාධනීය වැඩපිළිවෙළ හඳුනාගෙන ඒ සඳහා වන කැබිනට් අනුමැතිය වෙනුවෙන් 2016 අගෝස්තු 15 වැනි දින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ වනවිට එය වර්තමාන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් උදම් ඇනුවද 2012 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා වන රුපියල් මිලියන 134.8 ක මුදලක් එකී සමාගමකින් අයකර ගෙන ලබාදීමට යෝජිතව තිබූ ඉඩම හෝ වෙනත් විකල්ප ඉඩමක් ලබානොදී 2015 වනවිට අවසන් වීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන තැනට පත්කර තිබිණ. එය 2015 වර්ෂයෙන් පසු නිර්මාණය කළ මහා නගර සැලසුමට අනුව බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් වශයෙන් නැවතත් සක්‍රීය කර ඒ සඳහා විශේෂ කොන්දේසි 10 කට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදී එය පූර්ණකාලීනව අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය පවරා තිබේ.
කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එය භාරව කටයුතු කළ යුතුව ඇත්තේ බස්නාහිර පළාතේ කසළ බැහැර කිරීම හා විධිමත් කළමණාකරණයේ වගකීම දරන ආයතනය වන බස්නාහිර කසළ කළමණාකරන අධිකාරිය බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන අකාරයට රටක්‌ ලෙස කුණු පිළිබඳව අපේ ආකල්ප වෙනස්‌ කරගෙන මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය. කුණු සම්පතක්‌ කර ගැනීම පිළිබඳව අප සිතන්නේ නැත. කුණු නිසිලෙස ප්‍රතිචක්‍රිකරණය කර පොහොර නිෂ්පාදනය කිරීම, විදුලිය නිෂ්පාදනය කිරීම වැනි දේට යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. දැන් දැන් පවතින තත්ත්වයට අනුව කොළඹ කුණු පමණක්‌ නොව කොළඹින් පිට පළාත්වල මෙම කුණු ප්‍රශ්නය උග්‍රවෙමින් පවතී. ඒ නිසා එම ප්‍රශ්නයට විසඳමක් සෙවීම වත්මන් ජනාධිපතිවරයාට මනාපය දුන් හැට නව ලක්ෂයේ බලාපොරොත්තුවකි.

 සටහන: හසිත් අංජන