2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

හත්පොළේ ගා ගත් එන්නතේ පැටිකිරිය

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඉන්දියාව විසින් පළමුව ප්‍රදානය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයෙන් මුලින්ම එන්නත්කරණය ආරම්භ කරන ලද්දේ ජනවාරි මස විසි නව වැනිදාය. එතැන් සිට මේ දක්වා ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත ඇතුළු විවිධ ප්‍රදේශවල මෙම එන්නතකරණය සිදු වෙමින් පවතී. නමුත් මේ සඳහා නිශ්චිත ක්‍රියාවලියක් පවතීදැයි සැක සහිතය.

පළමුවෙන්ම මෙය සෞඛ්‍ය සේවයේ නියුතු අයටත්, ඉන් අනතුරුව හමුදාවේ හා ආරක්ෂක සෞඛ්‍ය අංශයන්හි සේවයේ නියුතු අයටත්, ඉන් පසුව වයස 60ට වැඩි පිරිස්වලටත් ලබා දෙනවා. යැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය. 
පිළිවෙළින් මෙය සෞඛ්‍ය අංශ හා හමුදාවේ හා ආරක්ෂක යෙදුම් අංශයන්හි නියුතු අයට එන්නත්කරණය සිදු කළද ඉන් අනතුරුව සිදුවූයේ අවුල් ජාලාවකි. මේ වන විට ලක්ෂ තුනකටත් වැඩි පිරිසකට මෙම එන්නත්කරණය සිදුකර ඇති වුවද තවමත් කොවිඩ් ආසදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාතේ ජීවත් වන අවුරුදු හැටට වැඩි පිරිසට මෙම එන්නත්කරණය නිසි පිළිවෙළකට ලබා දී නැත.

පළමුව ඡන්ද හිමි නාමලේඛනයට අනුව ග්‍රාම නිලධාරීන් හරහා මෙම එන්නත්කරණය සිදු කිරීමට රජය තීරණය කර තිබුණද තවමත් බස්නාහිර පළාතේ බොහෝ ග්‍රාම නිලධාරීන් තම වසමේ අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ගේ නාමලේඛනයක් හෝ නිසි ලෙස සකසා නැත. ඒ සම්බන්ධව ඔවුන් පවසන්නේ ඒ සඳහා තමන්ට තවමත් නිසි උපදෙස් ලබා දී නොමැති බවය. ඇතැම් වසම් හි ග්‍රාම නිලධාරීන් අදාළ ලේඛනය සාදා තිබුණද එන්නත්කරණය කිරීම සඳහා නිශ්චිත දිනයක් ඔවුහු නොදනිති.

මේ අතර ග්‍රාම නිලධාරීන්ගේ ඡන්ද ලේඛනයට අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය සිදු කිරීම සඳහා ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරී කර්යාලය ඉදිරිපිට දිගු පෝලිම්ද දැකගත හැකිය. මෙයින් සිදුවන්නේ කොවිඩ් රෝගය වැළඳීමට අතවැනීමකි. සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට අනුව මීටරය දුර පවත්වාගත යුතු වුවද, මුඛ ආවරණ නිසි පරිදි පැළඳ තිබිය යුතු වුවද පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් මේ බොහෝ ඡන්ද දායකයන් අතර කිසිදු මීටරයක පරතරයක් නැත. නිසි මුඛ ආවරණ පැළඳීමක්ද නැත. එක් නිවෙසකින් ලේඛනගත වීමට සාමාජිකයන් දෙදෙනා බැගින් පැමිණීමත් සමඟ මෙම පෝලිම් තවත් දිගු වේ. ඇතැම්හු තම කුඩා දරුවන් කැටුව ග්‍රාම නිලධාරී කාර්යාලය ඉදිරිපස එක්රුස් වෙති. මේ අතර ඇතැම්හු ග්‍රාම නිලධාරියාගේ ලේඛනයක ලියාපදිංචි විය යුතු බව නොදනිති. එකම වසමේ එකම ප්‍රදේශයේ ජනතාවට නිසි ලෙස ආරංචි මාර්ගයක් යොමු නොවීමෙන් පවතින්නේ තවත් ගැටලුවකි. නියමිත දිනයේදී අදාළ ස්ථානයට එක්රුස් වන මොවුහු එන්නත්කරණය පසෙකලා මේ සම්බන්ධව තම දැඩි මතය ආවේගයෙන් ප්‍රකාශ කරති. මෙයින් සිදුවෙන්නේ කොව්ඩ් වසංගතයෙන් බේරීමට එන්නත්කරණය නිසි ලෙස ලබාගැනීමක් නොව, එන්නත්කරණයට පළමුව කොවිඩ් ආසාදිතයකු වීම පමණි.

ඇතැම් ග්‍රාම නිලධාරීන් ලියාපදිංචිය සිදු කරද්දී තවත් ප්‍රදේශවල පොරකමින් වෙනත් මාර්ගවලින් එන්නත්කරණය සිදු කරයි. මේ සඳහා තවමත් නිශ්චිත වයස් ප්‍රභේදයක් නැත. ඇතැමුන් අවුරුදු හැටට වැඩි අයට එන්නත්කරණය සිදු කරද්දී තවත් ප්‍රදේශයක අවුරුදු තිහට වැඩි ඕනෑම කෙනකුට එන්නත්කරණය සිදු කරයි. මෙය ඒ ඒ නිලධාරීන්ගේ හිතුමතයට, අවශ්‍යතාවයට අනුව වෙනස් වන බවක් පෙනෙයි. මේ අනුව මේ සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් නැති බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

මේ සම්බන්ධව තාක්ෂණික කමිටුව තීරණය කරපු දේවල් තියෙනවා. ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් තියෙනවා. මේවා තියෙද්දි හදිසියේ සමහර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රූට කතා කරලා හෙට එන්නත්කරණය පටන්ගන්න කියලා කියනවා. එහෙම හදිසියේ එන්නත්කරණය කරන්න බැහැ. එන්නත්කරණය පිළිබඳව මාර්ගෝපදේශ දෙන්න ඕනෙ එහෙම තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර කල් ඒ දේවල් කළේ. හැබැයි අද අපි ඒ දේවල් දකින්නේ නැහැ. හදිසියේ වයස් කාණ්ඩ වෙනස් වෙනවා. ඒකෙ ගැටලුවක් අපි දකිනවා.* යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
මේ අනුව ඇතැම් ඉහළ නිලධාරීන් ගන්නා ලද තීන්දු තීරණවල යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත් ජනාධිපතිවරයාගේ දැනුවත් කිරීමෙන් පසුව වයස අවුරුදු හැටට වැඩි අයට එන්නත ලබා දීමට කාර්යසාධන බලකාය විසින් තීරණය කර ඇති බවටත් ඇමැතිවරිය සඳහන් කරයි.

මේ අතර මෙම එන්නත ලංකාවට ගෙන්වූ මුල් කාලයේදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්අඩවිය ඔස්සේ එන්නත්කරණය සඳහා ලියාපදිංචි විය හැකි බව සඳහන් කර තිබුණෙන් ඇතැමුන් එමගින් ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගත්තද එන්නත්කරණය ආරම්භ කර දින ගණනාවක් ගත වුවද අදටත් එම ලියාපදිංචි අංක සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ අතර මෙම එන්නත පිළිබඳව බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු මුහුණුපොත, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරති. ඇතැම්හු මෙම එන්නත මගින් අධික උණ, වමනය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ ඇති බව පවසති.
නමුත් වෛද්‍යවරුන්ගේ මතය වන්නේ එන්නත්කරණයෙන් පසුව ශරීරයට ප්‍රතිශක්තීකරණය ලැබීම හේතුවෙන් උණ, ඇඟපත වේදනාව වැනි සුළු රෝග ලක්ෂණ මතුවන බවත් එය දවසකින් දෙකකින් නැති වී යන බවත්ය. එම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බවද ඔවුහු පවසති.

මේ අතර සමහරුන්ගේ මතය වන්නේ මෙම එන්නත්වල සත්ත්ව නිෂ්පාදන හා මද්‍යසාර අඩංගු බවය. විශේෂයෙන් මෙම එන්නතෙහි එවැනි දෑ කිසිවක් අඩංගු නොවන බවත් එය ව්‍යාජ මතයක් බවටත් වෛද්‍යවරු සඳහන් කරති. එමෙන්ම තවත් සමහරු මෙම එන්නත්කරණය මගින් මඳසරුභාවය ඇතිවන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරති. නමුත් මෙය ශරීරයේ රෝග ප්‍රතිශක්තීකරණ එන්නතක් බවත් එයින් කිසිදු අන්දමකින් මඳසරුභාවයක් ඇති නොවන බවත් වෛද්‍යවරු සඳහන් කරති.
මෙම එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු බලකිරීමක් සිදු නොකරන අතර මෙය කොවිඩ් ප්‍රතිශක්තීකරණය එන්නතක් වන අතර එන්නත්කරණය සිදුකිරීමෙන් අනතුරුවද කොවිඩ් ආසාදිතයකු නොවීම සැමගේ වගකීමය. මෙම එන්නත්කරණය සිදුකිරීමෙන් අනතුරුවද සුපුරුදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව මුඛ ආවරණය නිසි පරිදි පැළඳීම, මීටරය දුර පවත්වාගෙන යාම, නිතරම විෂබීජනාශක දියරයකින් අත් සේදීම ඉතා වැදගත් වේ.

 දිශානි ජයමාලි කරුණාරත්න