පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය 1952දී පිහිටුවා ඇති අතර එය අප රටේ විශ්වවිද්‍යාල අතර හොඳම පුස්තකාලය ලෙස නම් දරා සිටී. එහි පොත් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් සහිතය. එහි 2500ක් වන පුස්කොළ පොත් එකතුවේ ලංකාවේ පැරණිම පුස්කොළ පොත් දැකගත හැකිය. ඒ අතර තිබෙන තවත් වටිනා සංස්කෘතික උරුමයක් වන අපේ මහාවංශ පුස්කොළ පොත ගැන තවත් වටිනා ආරංචියක් පසුගියදා පේරාදෙණිය සරසවියේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක හෙළි කළේය. ඒ මහාවංශ පුස්කොළ පිටපත ලෝක උරුමයක් බවට පත්වීමේ යෝජනාවක් පවතින බවයි. ඒ බව අප සමඟ පැවසුවේ මෙසේය.
ලංකාවේ අඛණ්ඩ වංශකතාව වන මහාවංශයේ පුස්කොළ පිටපත් ස්ථාන කිහිපයකම පවතිනවා. ඒවා ගැන යුනෙස්කෝ නිලධාරීන් පරීක්ෂා කර බලා තිබෙනවා. මහනුවර දළදා මාලිගා පුස්තකාලය ඇතුළු පැරණි විහාරස්ථානවලත් තිබෙනවා. නමුත් මේ පුස්කොළ පොත්වල විවිධ අඩුපාඩු පවතිනවා. ඒ පුස්කොළ කෘති අතරින් අංගසම්පූර්ණම කිසිදු අඩුවක් නැති මහාවංශ පිටපත තිබෙන්නේ පේරාදෙණිය පුස්තකාලයේ බව අපට සතුටින් පැවසිය හැකියි. දැනට විශ්වාස කරන්නේ මෙය දඹදෙණි රාජධානි සමයේ 13 වැනි සියවසේ ලියැවුණු පිටපතක් බවටයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොත් එකතුවේ සංවත්සරය වෙනුවෙන් පසුගියදා විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේදී උපකුලපතිවරයා මේ බව මුලින්ම පවසා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් එකතුව සතු මහාවංශ පිටපත යුනෙස්කෝ නියෝජිතයන් පරීක්ෂා කළ බවත්, කිසිම අඩුවකින් තොරව සම්පූර්ණ කෘතියම පැවති බවත් පෞරාණිකභාවය ගැන සෑහීමට පත්වූ බවත් ඔහු පවසයි. අප සමඟ මේ ගැන කතාබහ කළ උප කුලපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
ක්‍රි.පූ. 6 වැනි සියවසේ විජය රජ කාලයේ පටන් මහසෙන් රජතුමා (ක්‍රි.ව. 334-361) දක්වා රාජ්‍ය කාලය තමයි මහාවංශයට ඇතුළත් වන්නේ. ඒකට මහාවංශයේ ප්‍රථම භාගය කියලත් කියනවා. මෙම කෘතිය මහානාම හාමුදුරුවෝ තමයි ලියලා තියෙන්නේ. මෙය සංස්කෘතික උරුමය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යුනෙස්කෝ සංවිධානය එකඟ වී තිබෙනවා. නමුත් එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට නම් තව පියවර රාශියක් ඉදිරියට ගමන් කළ යුතුයි.
මහාවංශ පුස්කොළ පොත පරිච්ඡේද 37කින් යුක්තය. එහි පාලි භාෂාවෙන් රචිත ගාථා 2913ක් සහිතය. මුල් පරිච්ඡේද 5 වෙන්වන්නේ දඹදිව බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා වූ කොටසයි. මෑත අතීතයේදී ඉන්දියාවේ ඉතිහාසය ලේඛනගත කිරීමටද අපේ මහාවංශය යොදාගත් බව පැවසේ.
5 වැනි පරිච්ඡේදයේ සිට 15 දක්වා ලියැවී ඇත්තේ බුදු සසුන පිහිටුවීමට දායක වූ දේවානම්පියතිස්ස හා ඉන්පසු රජවරු සඳහාය. 15 වැනි පරිච්ඡේදයේ සිට 26 වැනි පරිච්ඡේදය දක්වා දුටුගැමුණු රජුගේ ආගමික හා රාජ්‍ය පාලන කටයුතු විස්තර වේ. 26 පරිච්ඡේදයේ සිට 32 දක්වා දුටුගැමුණු රජුගෙන් පසු හා මහසෙන් රජු දක්වා රාජ්‍ය පාලකයන් 43 දෙනකුගේ ආගමික කටයුතු විස්තර කෙරේ. මහානාම හිමියන්ගෙන් පසු 13 වැනි සියවසේ සිටි ධම්මකිත්ති හිමි විසින් මහාවංශයේ දෙවැනි කොටස රචනා කෙරිණි. එහි මහසෙන් රජුගේ සිට මහා පරාක්‍රමබාහු රජු දක්වා විස්තර කෙරෙන පරිච්ඡේද ඇතුළත්ය.
මහාවංශය පුස්කොළ පොතක් වශයෙන් පැවතුණද එය භික්ෂූන් වහන්සේලා හැරෙන්නට කිසිවකු පරිහරණය කළේ නැත. මෙහි ඓතිහාසික අගය වටහාගත් ලංකා සිවිල් සේවයේ ඉංග්‍රීසි නිලධාරියකු වූ ජෝර්ජ් ටර්නර් එය ඉංග්‍රීසියට පරිවර්තනය කළේ 1837 තරම් ඈත කාලයකදීය. විල්හෙල්ම් ගයිගර් පඬිවරයා විසින් මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කළේ 1912 දීය. ඊටපසු ජාත්‍යන්තර අවධානය මෙම කෘතියට හිමි විය.
සහස්‍ර වර්ෂ දෙකක කාල සීමාවක් ගැන අඛණ්ඩ වාර්තාවක් සපයන මහාවංශය ලෝකයේ දීර්ඝතම නොබිඳුණු ඉතිහාස වාර්තා අතරින් එකක් ලෙස සැලකේ. සමහරු සලකන්නේ එය ඓතිහාසික කෘතියක් නොව ආගමික ඉතිහාසය දැක්වෙන වාර්තාවක් බවයි. සමහර අවස්ථා විශ්වාස කළ නොහැකි සහ ප්‍රබන්ධමය වුවද එය නිරීක්ෂණයෙන් වැදගත් ඓතිහාසික මූලාශ්‍ර මතුකරගත හැකි බව හෙළි විය. ඒ පසුකාලීනව හමුවූ සෙල්ලිපි මගින් මහාවංශ ප්‍රවෘත්ති සනාථ වූ බැවිනි.
යුද්ධ හා ආක්‍රමණ, රජ පවුලේ කුමන්ත්‍රණ, මහා දාගැබ් හා ජලාශ ගොඩනැගීම පිළිබඳ කතා ගීතවත් බසකින් මෙහි රචනා කර තිබේ. අද මහාවංශයේ සිංහල පරිවර්තන කිහිපයක්ද පවතී. ඒ අතරින් වැඩි පාඨක අවධානයට යොමුවී තිබෙන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා විසින් කරන ලද පරිවර්තනයයි.
මහාවංශය ලෝක සංස්කෘතික උරුමයක් බවට පත්වුවහොත් එය අපට ආඩම්බර විය හැකි කරුණකි. නමුත් තවමත් අපේ බොහෝ දෙනෙක් මහාවංශය කළුද සුදුද කියාවත් දන්නේ නැති බව නම් සත්‍යයකි.
- කුසුම්සිරි