රජය ප්‍රතිපත්තියක් වශයෙන් ආනයන සීමාකරන බව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ දැක්වේ. ඒ අනුව මේ ආණ්ඩුව බලයට පත්වූ පසු ඉක්මණින්ම ක්‍රියාත්මක වූයේ ආනයන නැවැත්වීම හා ආනයනය සීමා කිරීමට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ නියෝග පැනවීමටය. මෙහිදී ඇතැම් අපනයන මුළුමනින්ම තහනම් කරන අතර සෙසු ආනයන මන්දෝත්සාහී කිරීම සඳහා ආනයන බදු විශාල වශයෙන් ඉහළ නැංවූ බව පෙනෙන්නට තිබිණ. මෙහිදී දේශීය ව්‍යාපාරිකයන් සතුටු වූයේ ආනයන මර්දනය කිරීම නිසා ස්වකීය නිෂ්පාදනවල වර්ධනයක් ඇතිවනු ඇත කියලාය. බොහෝ භාණ්ඩ ආනයනය කරන විට ඒවා සමඟ තරග කිරීමට ස්වදේශීය නිෂ්පාදකයන්ට සිදුවේ. එහිදී ආනයන භාණ්ඩවලට වඩා ඇතැම් අවස්ථාවල දේශීය නිෂ්පාදන නිමාවෙන් සහ ප්‍රමිතියෙන් පහළ මට්ටමක පවතින විට එම කර්මාන්ත ප්‍රසාරණය වීමට අවහිරතා ඇතිවේ. මෙහිදී මිල පිළිබඳ ගැටලුවද උද්ගත වෙයි. ආනයන භාණ්ඩ වල මිල සමඟ තරග කිරීම දේශීය නිෂ්පාදනවලට ඇතැම් විට හොඳක් වෙයි. ඒ නිසා ජනතාවට බලාපොරොත්තු වූයේ ආනයන තහනම තම ව්‍යාපාරවලට යම් ධනාත්මක වාසියක් ඇතිවන බවටය.
මෙම රජය පමණක් නොව පසුගිය ආණ්ඩු සමවලදී පවා මෙරටට භාණ්ඩ ආනයනය කළේ කිසිදු පසුවිපරමකින් තොරවය. එයින් අදහස් වන්නේ ආය කටුවේ සිට මෝටර් වාහනය දක්වා බොහෝ භාණ්ඩ තෝරා බේරාගැනීමකින් තොරව ආනයනය කිරීමය. එළවළු, පළතුරු, මස්, මාළු, ටින් කෑම ආදී අතවශ්‍ය ආහාර වර්ග මෙන්ම හඳුන්කූරු, සෙල්ලම් බඩු, සරුංගල්, වෙසක් කාඩ් හා භාණ්ඩ පාවහන්, උදලුමිටි, ගිනිපෙට්ටි, විවිධ ලිපිද්‍රව්‍ය ආදී මෙරට තුළ හිඟයක් නැතිව තිබෙන ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම නිසා, දේශීය නිෂ්පාදකයන්ට සිදුවූ හානිය පමණක් නොව විශාල විදේශ විනිමය නාස්තියක්ද සිදුවිය. අද වුවද මෙරටට පැමිණෙන ඇතැම් ආනයන තහනම් කළා යැයි පාරිභෝගිකයාට කිසිදු හිරිහැරයක් ඇති නොවේ. එම භාණ්ඩවල හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදු නොවනුයේ ඒවා ඇතිතරම් රට තුළ ඇති නිසාය. එවැනි භාණ්ඩ ආනයන තහනම් කිරීම ගැන දෙවරක් සිතිය යුතු නැත.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මුල් දිනවල පැවසුවේ 1947න් පසුව පළමුවරට මේ රටේ නිෂ්පාදනය කළ හැකි කෘෂි භාණ්ඩ ආනයනය තහනම් කළේ තම රජය බවය. කහ, උඳු, මුං, කජු, ගම්මිරිස්, මිරිස්, මාළු, කවුපි ආදී කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කළ බව පැවසීය. එහෙත් එම තහනම බලපැවැත්වූයේ සීමිත කාලයකට පමණි. විවිධ අවස්ථාවල නොයෙක් හේතු ඉදිරිපත් කරමින් එම තහනම ලිහිල් වූ බවක් පෙනෙන්නට තිබිණ. ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පසුගියදා ප්‍රකාශ කළේ ධීවර සංස්ථාවටද ඇතුළු ආයතන 38කට මේ වනවිට මසුන් ආනයනය කිරීමට බලපත්‍ර දී ඇති බවය. තලපත් මාළුවලට අමතරව විවිධ වර්ගයේ සැමන් ටින්ද ආනයනය කරයි. ධීවර සංස්ථාවේ ප්‍රකාශකයකු මේ පිළිබඳව පැවසුවේ සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන 1.2ක් ණය වී ඇති නිසා මේ ණය ගෙවා අලාභ නොලබා පවත්වාගෙන යාම ආනයනය කිරීමේ අරමුණ බවය. එසේ වුවද ධීවර ජනතා වෘත්තීය සමිතිය කියන්නේ රට වටේට මුහුද ඇති නිසා ධීවරයාට සහන සලසා කර්මාන්තය දියුණු කරනු වෙනුවට මෙලෙස ආනයනය කිරීම නොකළ යුතු දෙයක් බවයි. ශ්‍රී ලංකාව ටින් මාළු ආනයනයට පමණක් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 64ක් හෙවත් රුපියල් කෝටි 1200ක් වැයකරයි.
අපේ රටේ ඇතැම් ස්වදේශීය කර්මාන්තවලටද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වන්නේ පිටරටවලිනි. උදාහරණයක් වශයෙන් පැවසුවොත් අප ඇඟලුම්වලින් ස්වයංපෝෂිත යැයි ආඩම්බරයෙන් පැවසුවද ඒ සඳහා අවශ්‍ය රෙදි පමණක් නොව කටුව හා බොත්තම පවා ආනයනය කෙරේ. පසුගිය දිනවල රෙදි ආනයනය තහනම් කිරීම නිසා දේශීය ඇඟලුම් නිෂ්පාදනයට විශාල තර්ජනයක් ඇතිවූ බවට ඇඟලුම් නිෂ්පාදන සමාගම් මැසිවිලි නැගුවා අපට මතකය. මේ තත්ත්වය මත දේශීය ඇඟලුම්වල මිලද ඉහළ යාමේ තර්ජනයකට ලක්වන්නට පටන් ගත්තේය. ඒ නිසා එම තහනම ලිහිල් කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.
පසුගියදා ආනයනික රත්රන් සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීම නිසා මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයෝ විශාල හිරිහැරයකට පාත්‍ර වූහ. මුලින් තිබුණ වටිනාකම මත පදනම් වූ සියයට 3ක බද්දකි. රජය පැවසුවේ මෙම පහළ බද්ද නිසා මෙරටට රත්රන් ආනයනය කර විශාල මිලකට හොර පාරේ ප්‍රති ආපනයනය කරන නිසා එය වැළැක්වීමට මේ බදු ඉහළ දැමීම කළ බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරිකයාට පහර වැදුණු අතර කර්මාන්තයට අදාළ ඍජු හා වක්‍ර රුකියා කරන්නන්ට රුකියා අහිමිවීමේ අවදානමක් පැනනැගුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පැනවූ බදු ඉවත් කිරීමට රජයට සිදුවිය.
එසේම පසුගිය මාසයේ 02දා ටයිල් සහ සෞඛ්‍යාරක්ෂක උපකරණ ආනයනය තහනම් කිරීම නිසා ඒවායේ මිල සියයට 400කට අධික ප්‍රමාණයකින් වැඩිවිය. රුපියල් 14000කට අලෙවි කළ කොමෝඩ් කට්ටලය රුපියල් 36,000කට මිල ඉහළ ගිය අතර රුපියල් 22,000ක නාන කාමර උපකරණ කට්ටලය මිල රුපියල් 64,000කට ඉහළ නැගුණි. මෙම තීරණයද දිගටම පවත්වාගෙන යාමට රජයට නොහැකි වූ අතර ගැසට් නිවේදනය නිකුත් කර දින හතරකට පසු ටයිල් හැර සෙසු භාණ්ඩවල තහනම ඉවත් කෙරුණි. දේශීයව නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණවලට වෙළෙඳපොළේ ඉල්ලුම සැපයීමට නොහැකිවීම නිසා තහනම දිගටම ගෙන යා නොහැකි විය.
එසේම සීනිවල ආනයන බද්ද කිලෝවට ශත 25 දක්වා පහළ දැමීමෙන් සිදුවූයේ රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවීම මිස මිල පහළ යාම නොවේ. මෙම තීරණය පිළිබඳවද විවිධ කටකතා පවතින අතර බදු අඩු කිරීම ගැසට් කරන තුරු වරායට ගෙනා භාණ්ඩ නැව් නොබා තැබූ බවටද ආරංචි පළවිය. කෙසේ වුවද සීනි බදු අඩු කිරීමෙන් රජය බලාපොරොත්තු වූ ප්‍රතිලාභ අත්වූයේ නැත.
පසුගිය 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රජය ගැසට් නිවේදනයක් මගින් ආනයනික අර්තාපල්වලට පනවා තිබූ රුපියල් 55 ආනයන බද්ද රුපියල් 15 දක්වා අඩු කළේය. මේ දිනවල දේශීය අර්තාපල් වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන නිසා මෙම බදු සහනය දේශීය ගොවියාට අහිතකර ලෙස බලපානු ඇති බව කියයි. මේ පිළිබඳ අර්තාපල් ගොවීන් මෙන්ම රජයේ විවිධ පාර්ශ්වවලින් විරෝධයක් එල්ල වී ඇති අතර මෙම බද්ද මෙලෙස දිගටම පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවට විශ්වාස කෙරේ.
රජය මේ වනවිට වාහන ආයනයටද බදු ඉහළ දැමීම සහ ආනයන තහනම මගින් බාධාකර ඇති අතර ඒ හේතුවෙන් රට තුළ වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වාහන ක්ෂේත්‍රයේ නියුක්ත විශාල සංඛ්‍යාවකගේ ජීවන වෘත්තීන්වලටද බාධා පැමිණ ඇත. සාධාරණ මිලකට වාහනයක් ගැනීමට සාමාන්‍ය ආදායමක් ලබන කෙනෙකුට තිබූ අවස්ථාවද අහිමි වී ඇත. දේශීය වාහන නිෂ්පාදනයද ඉහළ යන බවක් දක්නට නැත. මේ නිසා වාහන ආනයනකරුවන් තහංචි ලිහිල් කරන ලෙසට සෑහෙන කාලයක සිට රජයට බලපෑම් එල්ල කරමින් සිටී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්දෝ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා ප්‍රකාශ කළේ වර්ෂය අවසාන වනවිට මෙම ආනයන තහනම ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවය.
රජය ප්‍රකාශ කරනුයේ මෙම ආනයන සීමා පැනවූයේ පසුගිය වසරක කාලය තුළ කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටීම යම් පමණකට හෝ පාලනය කිරීම සඳහා බවය. ඉදිරි මාස 12ක කාලයකට අමෙරිකානු ඩොලර් බිලියන 8 ½ක ණය සහ පොලිය ගෙවීමට සිදුවීම නිසා ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී තිබේ. එහෙත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජයට ක්ෂණිකවම ආයාත සීමා කිරීමට සිදුවූයේ යුද්ධයෙන් පසුව ක්‍රමයෙන් රට ආර්ථික අර්බුදයකට ගමන් කිරීමට ඉඩ සලසා තිබූ නිසා බවය. රුපියලේ විදේශ අගය අවප්‍රමාණ වීම රාජ්‍ය ආදායම එකතු කිරීමට අපොහොසත් වීම ආදී හේතු නිසා රට ක්‍රමයෙන් ආර්ථික අර්බුදයකට තල්ලු වෙමින් තිබිණ. එදා සිට සැලසුම් සහගතව ආනයන පාලනය කර දේශීය කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කළා නම් අද පවතින අසරණ තත්ත්වයට රට පත් නොවීමට ඉඩ තිබූ බව ඔවුන්ගේ මතයයි.
ලොව සෙසු රටවල් හා සැසඳූ විට ආනයන සඳහා සියයට 17කට ආසන්න බදු පනවා ඇති එකම රට ශ්‍රී ලංකාව බව කියයි. වෙනත් රටවල ආනයන බදු සියයට 5ක පමණ ප්‍රමාණයකි. සිංගප්පූරුවේ බද්ද සියයට 0 කි. මේ නිසා සියයට 17 යනු විශාල බද්දක් බව පෙනෙන්නට තිබේ. එසේම ආනයන තහනම නිසා රජයට ලැබිය යුතු විශාල ආනයන ආදායමක් අහිමි වී තිබේ. එය ජාතික ආදායමින් සියයට 20කට අධිකය. මෙයින් රාජ්‍ය ආදායම තවත් පහළ බසී. අද පවතින තත්ත්වය මත රජයට ආනයන තහනම සදාකාලිකව පවත්වාගෙන යා නොහැකිය. එසේම එය කෙටිකාලීනව අවලංගු කිරීමටද නොහැකිය. මේ නිසා රජය පත්වී ඇත්තේ &මඟ සිටියොත් තා නසී. ගෙදර ගියොත් අඹු නසී* යන දෙපැත්තම පත්තුවෙන ගැටලුවකට බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ.
කෘෂි අංශය දියුණු කළාට රටක් දියුණු වෙන්නේ නෑ
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පෙන්වා දෙන්නේ ආනයන තහනම් කළ යුතු නම් එය හදිසියේ නොකර යම් සැලසුමකට අනුව කළ යුතුව තිබූ බවයි. එසේ නොකර කඩිමුඩියේ කිරීම නිසා එම තහනම්වල හෝ බඩු වැඩිකිරීම්වල ආයුෂ අඩුවෙනවා ඇත. යම්කලකදී එයට මුහුණදීමට ජනතාවට පසුබිම සකස් කර අනතුරුව ක්‍රමයෙන් එය කළයුතුව තිබූ බවයි. අද මේ අන්දමට ව්‍යාකූලතා ඇතිවී ඇත්තේ හදිසි තීරණ නිසාය. යම් කෘෂි භාණ්ඩයක් ආනයනය තහනම් කිරීමට මත්තෙන් ජනතාවට ඒ දින වකවානු පැවසුවා නම් ගැටලු ඇති නොවේ. උදාහරණයක් වශයෙන් කඩිමුඩියේ කහ ආනයනය තහනම් නොකර ඒ සඳහා දින වකවානු දුන්නා නම් ජනතාවට කහ වගා කිරීමට අවස්ථාව ලැබෙයි. එවිට වෙළෙඳපොළේ කහ කුඩු ග්‍රෑම් 100 රුපියල් 1000ට නොනගින බව විමලරතන හිමියෝ පෙන්වා දෙති.
අපට විදේශ සබඳතා නැතිව දියුණු වෙන්න බැහැ. ලොව සෑම රටක්ම දියුණු වී ඇත්තේ විදේශ වෙළඳාම පවත්වා ගනිමින්, එහි අපට නොගැලපෙන සුළු සුළු කොටස් අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න පුළුවන්. එසේ නැතිව මුළුමනින්ම අහෝසි කිරීමක් සිදු නොවෙයි. අපට නිෂ්පාදනය කළ නොහැකි දේ ආනයනය කරන අතර, එහි අඩුව පුරවන්න ඇතැම් භාණ්ඩ මෙරට නිෂ්පාදනය කර අපයනය කරනවා. ලොව දියුණු වූ සෑම රටක්ම දියුණුවූයේ මෙම සිද්ධාන්ත මතයි.
ලොව කිසිදු රටක් කෘෂිකර්මාන්තය නිසා දියුණුවෙලා නැහැ. අපේ වැරදි අදහසක් තිබෙනවා කෘෂිකර්මාන්තයෙන් අපනයනය වැඩිකර සේවා නියුක්තිය වර්ධනය කරගෙන දියුණු විය හැකිය කියලා. එහෙත් එය වැරදි අදහසක්. ලොව කෘෂිකර්මාන්තයෙන් ඉහළම දියුණුවක් ඇති අප්‍රිකානු මහාද්වීපයේ සමහර රටවල් ආර්ථික ලෙස දියුණු වී නැහැ.
අප රට නිදහස ලබාගන්නා කාලයේදී කෘෂිකර්මාන්තයෙන් ඉහළ දියුණුවක් තිබුණද, අපි දියුණු වුණේ සේවා අංශයේද දියුණුව සමගයි. කෘෂි අංශයෙන් පමණක් රටක් දියුණු කළ හැකිය යන්න මිත්‍යා සංකල්පයක්. 70-77 දශකයේ අප කෘෂි දියුණුවක සිටියද ආහාර සුරක්ෂිතතා ලේඛනයේ සිටියේ 68 වැනි පහළ අගයකයි. සිංගප්පූරුව වැනි ලොව දියුණු රටවල් කෘෂිකර්මාන්තයෙන් දියුණු වූ ඒවා නොවෙයි.
1977 ජේ.ආර්. ආණ්ඩුවෙන් විවෘත ආර්ථිකයක් ඇති කළා යැයි කීවාට නිදහස ලබන විටද අපේ රටේ තිබුණේ නිදහස් ආර්ථිකයක් බව බොහෝදෙනා දන්නේ නැහැ.
ආණ්ඩුව දැන් කියනවා ආනයන තහනම් කර ආහාර දේශීයව හැදිය යුතුය කියලා. අප ආහාරපාන සඳහා දරන වියදම මුළු ආනයන වැයෙන් ප්‍රතිශතයක් ලෙස 7ක් මුදල් වශයෙන් රුපියල් බිලියන 1.5ක්, අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා මුළු ආනයන වියදමෙන් සියයට 57ක් යනවා. එයට පොහොර සහනාධාරයද අඩංගුයි. අප ඉලක්ක කළ යුත්තේ වැඩියෙන් වැයවන අංශ නිසි ලෙස කළමනාකරණය කිරීමටයි. තෝරාගත් ආනයනයන් අඩුකළ යුතුයි. එසේම ප්‍රතිඅපනයනයද වරදක් යැයි කියන්න බැහැ. සිංගප්පූරුව වැනි රටවල විශාල ආදායම් මාර්ගයක් වන්නේ ප්‍රති අපනයනයයි.
ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ගන්නා ඇතැම් තීරණ හකුලාගන්න වෙන්නේ හරිහැටි සොයා නොබලා තීරණ ගැනීම නිසයි. පටු තීරණ දිගටම ගෙන යන්න බැහැ. අප කළ යුත්තේ තෝරාගත් අංශවලින් කාර්මිකකරණය කිරීමයි. එසේම ජනතාව නගරයට සංක්‍රමණය කිරීමට පහසුකම් සලසා ඔවුන් කාර්මිකකරණයේ කොටස්කරුවන් කරගත යුතුයි. පරිසරය විනාශ කිරීම්, ආණ්ඩුවේ ඉඩම් අල්ලා ගන්නා අය මෙලෙසට නගරයට ගෙන්වා ගත හැකි නම් එම ගැටලුද විසඳාගත හැකි වෙනවා. ජාත්‍යන්තරව විදේශ සබඳතා ඇතිකර ගැනීමට මෙලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය ප්‍රයෝජනවත් වන නිසා අපට එයින් වැළකෙන්න බැහැ.
යසවර්ධන රුද්රිගු