2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවේ පිළිතුර

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පසුගිය පෙබරවාරි 22 දින ජිනීවා නුවරදී ආරම්භ විය.  ලබන මාර්තු 23 දින  දක්වා පැවැත්වෙන එම සමුළුව කොවිඩ් වසංගතය නිසා මෙවර පැවැත්වෙන්නේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳව මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වූ රටවල්  වන එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරැ මැසඩෝනියාව, සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 

එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳව අඛණ්ඩව සලකාබැලිය යුතු බවටය. යටිතල පහසුකම් යළි සලකා බැලීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම, අවතැන් වූවන් යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇතැයි ඔවුන් සඳහන් කර තිබේ. එහෙත් රටතුළ තිරසර සංවර්ධනයක් ගොඩ නැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තවත් බොහෝ දේ ඉටුකළ යුතුව ඇතැයි ඔවුන් පවසා තිබේ. එම රටවල් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත වූ යෝජනාවලිය මානව හිමිකම් කමිටුවේ සාමාජික රටවලට යවා තිබිණි. මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තත්ත්වය නිරීක්ෂණය පුළුල් කළ යුතු හෙයින් ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් ඉදිරි කාලයේ එනම් 49 වැනි සැසිවාරයට හා සම්පූර්ණ වාර්තාවක් 51 වැනි සැසිවාරයටත් ඉදිරිපත් කරන ලෙසට ඔවුන් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

2012 සිටම ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ යෝජනා  ඉදිරිපත් විය. මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙවර වාර්තාවෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි.  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවට ඇය චෝදනා කර තිබිණි. එයට නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබූ ඇය මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති අයගේ වත්කම් පවා තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබිණි.

ජගත් මානව හිමිකම් කවුන්සිලය රටවල් 47කින් සමන්විතය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රටවලින් සමන්විත කමිටුවක් පත් කර තිබිණි. මෙම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන්නේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව 2015 වසරේ සම අනුග්‍රහය ලබාදෙමින් ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වූ පසුබිමකය. එලෙස 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව 2020 පෙබරවාරි මාසයේ ඉවත් වීමට තීරණය කරන ලද අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි විය. ඒ සම්බන්ධයෙන් නව ආණ්ඩුව කියා සිටියේ පසුගිය කාලයේ පැවැති ආණ්ඩුව  මව්බිම ගලවා ගත් රණවිරුවන්ට එරෙහිව ඔවුන් දඩයම් කිරීමට හැකි වන පරිදි මෙම ගිවිසුම්වලට එළඹ තිබූ හෙයින් එයින් ඉවත් වූ බවටය. කෙසේ නමුදු එම යෝජනාවේ සඳහන් වු ඇතැම් නිර්දේශ ශ්‍රී ලංකාව මේ වන විටත් ඉටුකර තිබේ.

30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ තුළ තිබුණේ නොරිස්සුම් සහගත තත්ත්වයකි. 2020 සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය අමතමින් ඇය මේ සම්බන්ධයෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා අවුල් සහගත තත්තවයකට පත්ව සිටින බවටය.

තමන්ට එරෙහිව මෙවර ගෙන එන යෝජනාව පරාජය කිරීම සඳහා මේ වන විට රජය රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් ගනිමින් සිටී. පාකිස්තානයේ උපකාරය ඇතිව මුස්ලිම් රටවල සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවටද රාවයක් පැවතිණි. පසුගිය 23දා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාද දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ මේ අතරය.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පරාජය කිරීම සඳහා මානව හිමිකම් කවුසිලයේ සාමාජිකත්වය දරන රටවල් 47න් 24ක සහය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ  ම කොමසාරිස්වරියගේ වාර්තාවට ලිඛිත පිළිතුරු මේ වනවිට යවා ඇති බවයි. ඇය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එරෙහිව පිළිතුරු දීමට මිත්‍ර රටවල් රුසක් කටයුතු කරමින් සිටින අතර ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල් ශ්‍රී ලංකාවට ඉතා මිත්‍රශීලී ප්‍රතිචාරයක් දක්වන බවද ඔහු කියා තිබිණි.

ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම සඳහා වාර්තාවේ මුල් පිටපත අප වෙත එවන ලද අතර එය පදනම් විරහිත, සාවද්‍ය කරුණු මත පදනම්ව ද්වේශ සහගත ලෙස ඉදිරිපත් කරන යෝජනාවක් බවට අපි ඔවුන්ට ලිඛිතව දන්වා යැවුවා. රටවල් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව එයට පිළිතුරු දීමට සූදානම්. මෙම කරුණු සාවද්‍ය හා ඒවා ඉදිරිපත් කරන රටවල් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් පැහැදිලියි. මුස්ලිම් රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ මා සාකච්ඡා කළ අතර එම රටවල් වැඩි ප්‍රමාණයක සහය ශ්‍රී ලංකාවට ලැබෙන බව  විශ්වාසයි යනුවෙන් ඔහු කියා සිටියේය.  නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීම නිසා ඉන්දියාව සිත් තැවුලට පත්ව ඇතැයි යන මතය බැහැර කළ අමාත්‍යවරයා ඉන්දියාවද ශ්‍රී ලංකාවට සහය දැක්වීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති යැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය ඔවුන්ගේ විෂය පථය තුළ සිට කටයුතු කළ යුතු බවයි. රාජ්‍යයක අභ්‍යන්තර ප්‍රශ්වලට අත පෙවීමට මානව හිමිකම් කවුන්සිලයට නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හා ශ්‍රී ලංකා ජනතාවට අයත් කාර්යයක් බවද, රජයේ නොයෙක් නිලතලවලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් රජය ජනතාවට වගකියන බවද, එක රටක් ඉලක්ක කරගනිමින් ගෙන එන යෝජනාවලට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විරෝධය පළකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහනාමහේවාගේ මතය වන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව යුධ අපරාධ අධිකරණය වෙත රුගෙන යාම බවයි. මානව හිමිකම් කවුන්සිලයට කිසිවක් කළ නොහැකි බවත් මේ සියලු කටයුතු සිදු කරන්නේ  මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලය මගින් බවත් ඔහු කියා සිටී. යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පක්ෂපාතිද අපක්ෂපාතිද යන්න තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවත් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත් කිරීමට ඕනෑතරම් කරුණු ඇති බවද එහෙත් ඒවා නියම ලෙස සන්නිවේදනය නොවන බවද ඔහු ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අපේ තානාපති කාර්යාලවලට විශාල වගකීමක් ඇති අතර එහෙත් මේ වන තෙක් ඇතැම් තානාපතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 47 තානාපතිවරුන් පවා හමුවී නොමැති බවටද ඔහු චෝදනා කරයි. මෙහිදී එල්ටීටීඊ හිතවාදි ඩයස්පෝරාව අපට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට කිසිදු ලෙසකින් ආර්ථික සම්බාධක පැනවිය නොහැකි යැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. &මානව හිමිකම් කවුන්සිලය මොන තරම් දේවල් කතා කළත් රටකට ආර්ථික සම්බාධක පැනවිය හැක්කේ. කිසියම් යෝජනාවක් ආරක්ෂක කවුන්සිලයට ගිහින් එමඟින් සම්මත වුණොත් පමණයි. එය කවදාවත් සිදුවන්නේ නැහැ. මන්ද චීනය, රුසියාව වැනි අපට හිතවත් රාජ්‍යයන් එහි සිටිනවා. ඔවුන් නිෂේධ බලය භාවිත කරමින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා. ඒ නිසා අප බියවිය යුතු නැහැ.* යනුවෙනි.

විදේශ ඇමැති  දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 23 දින විඩියෝ තාක්ෂණය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය ඇමතීය. එහිදී ඔහු කියා සිටියේ මෙම වාර්තාව අසත්‍ය ප්‍රචාර පදනම් කර ගනිමින් ඉදිරිපත් කර ඇති බවයි.. දේශපාලනික අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන  කවර හෝ යෝජනාවක් පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඔහු අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය. 
සමුළුව අමතමින් ඔහු වැඩි දුරටත් මෙලෙස සඳහන් කළේය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මින් පෙර කිසිදා නොකළ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත. දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝධාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය එලෙස  කටයුතු කළේ ලෝකයේ කෲරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත්, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙනය. 
ලෝක නායකයන් දෙදෙනකු ඝාතනය කළ, එනම් ශ්‍රී ලංකාවේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයකු සහ දේශසීමාවෙන් ඔබ්බට සිය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය. 
එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග එක්ව අසත්‍ය කරුණුවලින් සමන්විත යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට කටයුතු කළ අතර, අද දවසේ පවා ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍රශීලී රටවල උපකාරයෙන් එය පරාජයට පත්කරන ලදී. ඔවුන් හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදැරි කරගත් තවත් යෝජනා මෙම කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ඒ හැම අවස්ථාවකදීම, ඒවායේ ඇති ක්‍රියාපටිපාටි පිළිබඳ අයෝග්‍යතාවන් මෙන්ම එවැනි ක්‍රියාවන් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍යයන්ට ඇති විය හැකි භයානක පූර්වාදර්ශයන් පිළිබඳව ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේය. 

2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30/1 යෝජනාවට සම-අනුග්‍රාහකයන් වශයෙන් සම්බන්ධ විය. ඉටු නොකළ හැකි මෙන්ම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැඳීම් රාශියක් ඊට අන්තර්ගත විය. එමගින් ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිස එසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙන එමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට තුඩු දුන්නේය. 
2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකාවේ ජනතාව ලබාදුන් අති මහත් ජනවරමෙන් ඔවුන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පැහැදිලිවම ප්‍රදර්ශනය විය. එම ජනවරම පදනම් කරගෙන, මෙම කවුන්සිලයේ 43 වැනි සැසියේදී ශ්‍රී ලංකාව එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශයට පත් කළෙමි. මෙම කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංගමය සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළෙමි. 

පවත්නා යාන්ත්‍රණයන් දිගටම පවත්වාගෙන යෑම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම, ධරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන්ම විස්තරාත්මක යාවත්කාලීන තොරතුරු 2020 දෙසැම්බර් මාසයේදී මෙන්ම, 2021 ජනවාරි මාසයේදීද අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සපයා ඇත්තෙමු. පසුගිය වසර පුරාම කෝවිඩ්-19 නිසා ඇති වූ බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී පවා මෙම පියවර ගෙන ඇත.

මෙම අභියෝග මධ්‍යයේ වුවද 2020 අගෝස්තු මාසයේදී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලින් එකක් වන ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක බලයක් සහිත රජයක් තෝරා පත්කර ගන්නා ලදී. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගීතාව පිළිබඳ හැඟීම තිබියදී වුවද ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කොටස් මෙම වාර්තාව පදනම් කරගෙන තනි රටක් ඉලක්ක කරගත් තවත් යෝජනාවක් සභාගත කිරීමට අදහස් කිරීම කණගාටුදායකය. 

ආත්ම ගරුත්වයක් ඇති ඕනෑම ස්වෛරී රටක  අභ්‍යන්තරික කරුණු හා පාලනය පිළිබඳ බොහෝ කාරණා ඇතුළත් කර ඇති, ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව, සාධාරණීකරණය කළ නොහැකි පරිදි සිය විෂය පථය මෙන්ම පැවරී ඇති කාර්යයද තවදුරටත් පුළුල් කර ඇත. 

ශ්‍රී ලංකාව මෙම සභාවේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් නියෝජනය කරන්නේද, නැතිනම් මෙම ක්‍රියාවලිය මෙම කවුන්සිලය ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්ම උල්ලංඝනය කරන හුදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ස්වයං විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සිලයේ සාමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ටද මම භාර කරමි. විශේෂයෙන්ම විදේශයන්හි සිදු කරන ලද යුදමය මෙහෙයුම්වලදී නඩු පැවරීමෙන් සිය හමුදා භටයන් ආරක්ෂා කිරීම සඳහා ඇතැම් රටවල් නීති සම්පාදනය කරනු ලබන අවස්ථාවක, ඔවුන්ගේ අභිප්‍රායන්ගේ දෙබිඩි හා කුහක ස්වභාවය මෙයින් පැහැදිලිය.. ත්‍රස්තවාදයට එරෙහි අරගලයට මැදිවී සිටින රටවල චිත්ත ධෛර්යය සැලකිය යුතු ආකාරයෙන් නැති කිරීම හැර වෙනත් ප්‍රතිඵලයක් මින් ඇති විය නොහැකිය. 

මෙම කවුන්සිලය තුලාව සමබරව දැරිය යුතුය. අනුන්ගේ ප්‍රවාද, ඒකපාර්ශ්වික ක්‍රියා හෝ එක් කෝණයකින් පමණක් බලන සැක කටයුතු මූලාශ්‍ර අනුව කටයුතු නොකර, සිය මෙහෙයුම් මූලධර්මවලට එය අනුකූල විය යුතුය. මේ කවුන්සිලය සමඟ ඇති අපේ අඛණ්ඩ සහයෝගීතාව හා සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන්ම පුළුල්ව ප්‍රචාරය වෙමින් පවතින බාහිර වශයෙන් මෙහෙයැවෙන උපදෙස් අවධාරණයෙන් ගැනීම තුළ විවිධාකාර අභියෝග ඇති විය හැකිය. මෙම කවුන්සිලයද දන්නා පරිදි, මේ කෝවිඩ් -19 ලෝක ව්‍යාප්ත වසංගතයෙන් මිදිමටත්, පීඩාවට පත් ආර්ථිකයන් නඟා සිටුවීමටත් අප දරන ප්‍රයත්නයන්හිදී සියල්ලන් එක්සත්ව සිටිය යුතු, ලෝකයටම තීරණාත්මක වූ අවස්ථාවකි. අපේ අඛණ්ඩ සහභාගීත්වය හා සහයෝගීතාව පිළිබඳ යහපත් ගුණාංගය සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් වුව ප්‍රතික්ෂේප කරමින් අපට සහය ලබා දෙන ලෙසත්, මම මේ කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමි. 

මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් අපතේ ගොස් ඇති බවත්, දක්ෂිණ ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් අධෛර්යමත් කරන පණිවුඩයක් එමඟින් කියවෙන බවත් අපගේ විශ්වාසයයි. කිසිදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්ත වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සිලය තුළින් මතු වන දැඩි ද්වේශයට හා ක්‍රෝධයට වඩා එකමුතුකමය. ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සිලය විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියකට ගෙන ආ යුතු යැයි අපි දැනුම් දී සිටිමු.* යනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මොනව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානිය, උතුරු මැසඩෝනියාව, කැනඩාව,ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් විසින් සකස් කරන ලද, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලට එරෙහිව නඩු පැවරීම, සියලුම ආගමික ප්‍රජාවන්ට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීමට බලපෑම් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම ඇතුළු කරුණු 16කින් සමන්විත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විශේෂ යෝජනාවලිය  පසුගිය 24දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බෂේලට් විසින් සකස් කර ඇති වාර්තාව පදනම් කර ගනිමින් එම යෝජනාවලිය සකසා තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03