රන්ජන් දන්තනාරායන මහතා 2002 නොවැම්බර් සිට 2004 ජූනි දක්වා ග‍්‍රෑන්ඩ්පාස් ග්‍රේලයින් II බහාලුම් රේගු පරීක්‍ෂණ අංගනයට අනුයුක්තව සේවය කරන කාලය තුළදී 2002.12.26 දින ජපානයේ සිට ආනයනය කරන ලද පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස් අඩංගු බහාලුමක තිබී ටොයෝටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක සියලු උපාංග සහිත සම්පූර්ණ වාහන බඳක් (Complete Body Shell) නිරීක්‍ෂණය විය. ඒ ගැන විමසීමේදී ආනයනකරු විසින් එම සම්පූර්ණ වාහන බඳ ආනයන බලපත‍්‍රයක් මත ආනයනය කරන ලද බවට ආනයන බලපත‍්‍රය ඉදිරිපත් කොට ඇත. පරීක්‍ෂා කිරීමේදී එම වාහන බඳ කුරුණෑගල, මීගමු පාරේ වාහන අමතර කොටස් ව්‍යාපාරයකට නිකුත් කර ඇති බවත් එම බලපත‍්‍රය නිකුත් කර ඇත්තේ වාහන බඳ සැකිල්ලක් (Body Shell) සඳහා බවත් නිරීක්‍ෂණය වී ඇත. නමුත් ආනයනය කර ඇත්තේ සම්පූර්ණ වාහනයක එන්ජිම, ගියර් පද්ධතිය, අවලම්භන පද්ධතිය (Suspension) සහ සම්පූර්ණ රෝද හතර පමණක් ඉවත් කරන ලද වාහන බඳක් බවත් එම උපාංග සවිකිරීමෙන් ධාවනයට සුදුසු ජීප් රථයක් එකලස් කරගත හැකි බව දන්තනාරායන මහතා අවබෝධ කරගෙන තිබේ. ඒ අනුව රේගු පරීක්‍ෂණය අවසන් කොට තම කාර්යාලයට පැමිණෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව රේගු පරීක්‍ෂණය නිමා කරන ලද නිලධාරීන්, ආනයනකරු සහ ලියකියවිලි සමඟ කාර්යාලයට පැමිණි විට වාහන බඳ සැකිල්ලක සහ සම්පූර්ණ වාහන බඳක වෙනස පැහැදිලි කොට වැඩිදුර විමර්ශනය සඳහා එම සම්පූර්ණ වාහන බඳ රේගු භාරයට ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙම ආනයන බලපත‍්‍රය සම්පූර්ණ වාහන බඳක් ලෙස ආනයනය සහ අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට ආනයනකරුට උපදෙස් දෙනු ලැබීය.
එම වකවානුවේ මෙම මාදිලියේ ජීප් රථයක වෙළෙඳපොළ වටිනාකම රු. 25,00,000/-ක් පමණ වූ අතර සම්පූර්ණ වාහන බඳක වටිනාකම රු. 10,00,000/- කට අධික විය. දින කිහිපයකට පමණ පසු පැමිණි ආනයනකරු, ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආනයන බලපත‍්‍රයට සංශෝධනයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කළ බවත් හැකි නම් සහනයක් ලබා දෙන ලෙසටත් දන්තනාරායන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
සහන ලබා දීමට තමාට බලතල නොමැති බවත් උත්සාහයක් ගෙන ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසටත් උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව ආනයනකරු 2003.01.22 දින එවකට වෙළෙඳ සහ වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.
මෙම සම්පූර්ණ වාහන බඳ රේගු භාරයේ තිබිය දී දන්තනාරායන මහතාගේ හිතවත් ආනයනකරුවකු විසින් ඔහුගේ ව්‍යාපාරයේ නමින් ජපානයේ සිට ආනයනය කරන ලද පාවිච්චි කරන ලද මෝටර් රථ කොටස් බහාලුමක තිබී නිසාන් පෙට‍්‍රල් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් ජීප් රථ දෙකක සම්පූර්ණ වාහන බඳ දෙකක් ද නිරීක්‍ෂණය වී තිබිණි. අදාළ ආනයන බලපත‍්‍ර දෙකද පරීක්‍ෂා කිරීමේදී එම බලපත‍්‍ර නිකුත් කර තිබුණේද ‘‘වාහන බඳ සැකිලි’’ දෙකක් සඳහා බැවින් එම සම්පූර්ණ වාහන බඳ ද්විත්වයද රේගු භාරයට ගෙන අදාළ බලපත‍්‍ර දෙකද සම්පූර්ණ වාහන බඳ ලෙසට සංශෝධනය රුගෙන එන ලෙසට බලපත‍්‍ර හිමිකරුවන් දෙදෙනාට උපදෙස් ලබා දෙනු ලැබීය.
දින කිහිපයකට පසු පළමු ආනයනකරු විසින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අභියාචනයට සහනයක් ලෙසට ආනයන බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය වීමක් සිදුකර ඇති බැවින් රු. 3,00,000/-ක මුදලක් අමතර බලපත‍්‍ර ගාස්තුවක් ලෙස අයකරගෙන එම සම්පූර්ණ වාහන බඳ ආනයනකරු වෙත නිදහස් කරන ලෙසට නියෝග කර තිබුණි.
මෙම අභියාචනයට සමගාමීව දෙවැනි හා තුන්වැනි ආනයන බලපත‍්‍ර හිමිකරුවන් දෙදෙනාම පිළිවෙළින් 2003.01.23 සහ 2003.01.24 දෙදින තුළදී අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත අභියාචනා දෙකක් ඉදිරිපත් කර එහි පිටපත් දන්තනාරායන මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.
එම අභියාචනා පිටපත් නිරවද්‍ය බව අවබෝධ කරගත් දන්තනාරායන මහතා පළමු ආනයනකරුට ලබා දුන් නියෝගය පූර්වාදර්ශයක් ලෙස ගෙන එම සම්පූර්ණ වාහන බඳ ද්විත්වය රු. 3,00,000/- බැගින් වූ බැංකු ඇපකර දෙකක් මත කොන්දේසි යටතේ මුදාහැර තිබුණි.
මෙම අභියාචනා ද්විත්වයට ප‍්‍රතිචාර වශයෙන් අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් පෙර අවස්ථාවේදී මෙන්ම ආනයන බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීමක් සිදු කර ඇති බැවින් එක් සම්පූර්ණ වාහන බඳකට රු. 25,000/-ක අමතර බලපත‍්‍ර ගාස්තුවක් අයකරගෙන එම සම්පූර්ණ වාහන බඳ ද්විත්වය හිමිකරුවන් වෙත නිදහස් කරන ලෙසට නියෝග කර තිබුණි.
නමුත් මෙම වාහන බඳ ත්‍රිත්වයේම ආනයන බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සමාන වූවත් අමාත්‍යවරයා විසින් අවස්ථා දෙකකදී ලබා දුන් නියෝග එකිනෙකට පරස්පර වූ බැවින් සහ පිළිගත නොහැකි බැවින් ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් 2003.04.04 දී රේගු අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරමින් පසුව පනවන ලද රු. 25,000/- අමතර බලපත‍්‍ර ගාස්තු ද රු. 3,00,000/- බැගින් අයකරගත යුතු බව දන්වා අනුමැතිය ඉල්ලා තිබූ අතර රේගු අධ්යක්ෂ ජනරාල් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී තිබුණි.
රේගු අධ්යක්ෂ ජනරාල් විසින් ලබා දෙන ලද එම අනුමැතිය ආනයන බලපත‍්‍ර හිමිකරුවන් දෙදෙනාට දන්වන ලදුව ආනයනකරු නොවන බලපත‍්‍ර හිමිකරු වූ එවකට දකුණු පළාත් සභාවේ පාලක පක්‍ෂයේ මන්ත‍්‍රීවරයකු සහ කඹුරුපිටිය මැතිවරණ ආසනයේ ප‍්‍රධාන සංවිධායක විසින් 2003.06.17 දින නීතිඥවරයකු මාර්ගයෙන් මුදල් අමාත්‍යවරයා වෙත නව අභියාචනයක් ඉදිරිපත් කර ඇත. මෙම අභියාචන පිළිබඳ අවධානය යොමු කරන ලද මුදල් අමාත්‍යවරයා මෙම ආනයනයන් පිළිබඳව මූලික රේගු පරීක්ෂණයක් පවත්වා නොමැති බැවින් මූලික පරීක්ෂණයක් පවත්වා ඔහු වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට 2003.06.20 රේගු අධ්යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව පවත්වන ලද මූලික රේගු පරීක්ෂණයේ වාර්තාව 2003.07.08 දින මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන ලදුව බලපත‍්‍ර හිමිකරුවන් ලෙස ‘‘බඳ සැකිල්ලක’’ සහ සම්පූර්ණ වාහන බඳක’’ වෙනස දැන සිටිය යුතු බවත් සහ ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන නොමැති බවත් එය ආනයන බලපත‍්‍ර කොන්දෙසි උල්ලංඝනය කිරීමක් බවත් සඳහන් කොට අභියාචනය ඉදිරිපත් කරන ලද බලපත‍්‍ර හිමිකරුගේ සම්පූර්ණ වාහන බඳ සඳහා පමණක් රු. 25,000/-ක් වූ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් පනවා තිබූ අමතර බලපත‍්‍ර ගාස්තුව, ලිහිල් කරන ලද දඩ මුදලක් ලෙස රු. 1,50,000/-ක් දක්වා වැඩි කර තිබූ අතර ආනයනකරු අභියාචනයක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම නියෝගය ඔහුට අදාළ නොවන බවත් සඳහන් කරන ලද නියෝගය 2003.08.01 දින රේගු අධ්යක්ෂ ජනරාල් වෙත දන්වනු ලැබීය.
එම නියෝගයට අනුව ආනයනකරුගෙන් ලබාගන්නා ලද රු. 3,00,000/-ක බැංකු ඇපකරය රාජසන්තක කරන ලද අතර අභියාචනය ඉදිරිපත් කරන ලද බලපත‍්‍ර හිමිකරුගේ බැංකු ඇපකරයෙන් රු. 1,50,000/-ක් රාජසන්තක කරන ලදුව ඉතිරි රු. 1,50,000/-ක් ඔහු වෙත නිදහස් කරනු ලැබීය.
කෙසේ වුවද පසුකාලීනව ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් වාහන බඳ ආනයනකරුවන්ට පහසුකම් සලස්වනු සඳහා හෝ රේගුව විසින් අමතර දඩ මුදල් පැනවීම වැළැක්වීම සඳහා මෙම ‘‘වාහන බඳ සැකිලි’’ බලපත‍්‍ර වෙනුවට ‘‘සියලු උපාංග සහිත සම්පූර්ණ වාහන බඳ’’ සඳහා ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ට නිරීක්‍ෂණය විය.
මෙම සම්පූර්ණ වාහන බඳ ද්විත්වය සම්බන්ධව සැලකිය යුතු මූල්‍ය වටිනාකමක් නොමැති වුවත් දන්තනාරායන මහතා ගත් නිවැරදි සහ ඍජු ක‍්‍රියාමාර්ග අමාත්‍යවරයකු විසින් දෙනු ලබන පරස්පර නියෝගයක් වුවත් වෙනස් කිරීමට හැකි බවත් මෙහිදී සමස්ත රාජ්‍ය සේවකයන් හට ආදර්ශයක් ලෙස රාජකාරි සිදු කිරීම ඔවුනගේ වගකීම සහ කාර්යභාරය බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.