2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පළාතම ගඳ ගස්සන වැරදිවලට දඬුවම් දෙන පීඩන ක්‍රියා පනත

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

මෙම පනත සම්මත කර ඇත්තේ 1962 වසරේදී ය. ඉන්පසු 1939 අංක 61, 1946 අංක 03 සහ අවසාන වශයෙන් 1946 අංක 52 දරන පනතින් සංශෝධනය කර ඇති අතර, තවමත් ක‍්‍රියාත්මක වන්නේ මෙම පනතය. කෙසේ වෙතත්, දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 09 වැනි පරිච්ඡේදයේ මහජන පීඩා සම්බන්ධව විධිවිධාන සලසා ඇති අතර, එම විධිවිධාන මෙම පනත අවසානයේ සඳහන් කර ඇත.

මහජන සෞඛ්‍යය වඩාත් යහපත් ලෙස ආරක්‍ෂා කර ගැනීම සඳහාත්, පීඩන ක‍්‍රියා මැඩපැවැත්වීම සඳහාත්, විධිවිධාන සැපයීම් සඳහාත් පනවන ලද ආඥා පනතකි.
01. මෙම ආඥා පනත පීඩන ක‍්‍රියා ආඥා පනත නමින් හැඳින්විය හැකිය.

02. පහත සඳහන් වැරදිවලින් යම් කිසිවක් කරන්නා වූ කවරෙක් වුවද, රුපියල් 50/- කට වැඩි නොවන දඩයකට යටත් වන්නේය. 
(I) කුලියට දිය හැකි වූ හෝ දිය නොහැකි වූ ද, යම්කිසි පාරක, විථියක හෝ ප‍්‍රසිද්ධ මංමාවතක නැතහොත් එබන්දක් අසල පිහිටියා වූ ද, යම්කිසි ගෙයක්, ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් අයිතිකාරයා වූ හෝ එබඳු ස්ථානයක පදිංචිව සිටින්නා වූ කවරෙකු විසින් වුව ද, යම් කිසිවෙක්ට පීඩනයක් වන පරිද්දෙන් අපවිත‍්‍ර කොට ලෙස හෝ සෞඛ්‍යයට බාධා ලෙස එකී ස්ථානය තැබීම නැතහොත් තැබීමට ඉඩ හැරීම හෝ එය දුගඳ ගමන වල් පැළෑටිවලින් ගහන වීමට ඉඩ හැරීම,
(II) කවරෙකු විසින් වුවද, තමා පදිංචිව සිටින ගෙයක්, ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ඇතුළේ හෝ උඩ දුගඳ හමන අගලක් හෝ පීල්ලක් හෝ කාණුවක් හෝ වැසිකිළි වළක් හෝ අන්කිසි එබඳු භාජනයක් තබා තිබීම,

(III) පාරක, වීථියක හෝ ප‍්‍රසිද්ධ මං මාවතක නැතහොත් එබන්දක් අසල පිහිටි ගෙයක්, ගොඩනැගිල්ලක හෝ ඉඩමක පදිංචිකාර කවරෙකු විසින් වුවද, ඊට නිසි භාජනයක් ඇතුළත නොදමා යම්කිසි කසළ ගොඩක්, සතුන් හෝ බඩවැල් ආදියත්, කුණු ගොඩක් නැතහොත් අන් කිසි අවැඩදායක හෝ දුගඳ හමන දෙයක් පැය විසිහතරකට වැඩි කාලයක් තැබීම නැතහොත් තැබීමට ඉඩදීම, නැතහොත් එබඳු භාජනය පිළිකුල් තත්ත්වයක හෝ දුගඳ ගමන තත්ත්වයක තිබෙන්නට හැරීම, නැතහොත් එකී දේවල් ඉන් ඉවත් කොට එය ශුද්ධ කිරීමට හා පිරිසිදු කිරීමට අවශ්‍ය සුදුසු කටයුතු නොකොට පැහැර හැරීම.

(IV) කවරෙකු විසින් වුවද, තමා පදිංචිව සිටින ගෙයක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක හරකුන්, එළුවන්, ඌරන් හෝ අනෙකුත් සතුන් පීඩනයක් වන පරිද්දෙන් හෝ යම් තැනැත්තෙකුගේ සෞඛ්‍යයට හානි කරන පරිද්දෙන් තබා ගැනීම,
(V) ගෙයක, ගොඩනැගිල්ලක හෝ බිත්තියක අයිතිකරු වන කවර තැනැත්තෙකු විසින් වුවද, එය දිරා වැටුණු තත්ත්වයක තිබෙන්නට ඉඩහැරීම, නැතහොත් එම ගෙයි හෝ ගොඩනැගිල්ලේ පදිංචිකාරයින්ට හෝ අසල්වැසි ගෙවල්වලට හෝ ගොඩනැගිලිවලට හෝ ඒවායේ පදිංචිකාරයින්ට හෝ මගීන්ට හෝ අන්තරාදායක තත්ත්වයක එය තිබෙන්නට ඉඩ හැරීම,
(VI) කවරෙකු විසින් වුවද, තමා පදිචිව සිටින ස්ථානය ඇතුළත යම් තැනක අපතේ යන පල් වී තිබෙන හෝ අන් කිසිදෙයක් තිබෙන්නට ඉඩ හැරීම හෝ වැසිකිළියක හෝ වැසිකිළි වළක තිබෙන දේ පිටතට ගලා යාමට හෝ ඉන් පිටතට බී ගැන්මට හෝ ඉඩ හැරීම,

(VII) කවරෙකු විසින් වුව ද, යම් පාරකට, වැවකට, ජලාශයකට, ළිඳකට, ජල භාජනයකට හෝ වාරි මාර්ගයකට, සතෙකුගේ මළ කුණක් හෝ යම්කිසි කැත කුණු, කසළ හෝ දුගඳ හමන යම්කිසි දෙයක් විසි කිරීම හෝ දැමීම හෝ පැමිණෙන්නට සැලැස්වීම නැතහොත් යම්කිසි අපිරිසිදු හෝ දුගඳ හමන ද්‍රව්‍යයක් හෝ දෙයක් හෝ තමා පදිංචිව සිටින ගෙයින්, ගොඩනැගිල්ලෙන් හෝ බිමෙන් වැගිරී යන දෙයක් ගලා යාමට සේදී යාමට හෝ ඇතුළු වීමට සැලැස්වීම හෝ ඉඩදීම නැතහොත් ජලය කවර ප‍්‍රමාණයකට නමුදු අපිරිසිදු වන පරිදි හෝ කිළිටි වන පරිදි යම් කිසිවක් කිරීම,
(VIII) කවරෙකු විසින් වුවද, වෙළඳපොළක, සාප්පුවක, ගොඩනැගිල්ලක, කඩ බක්කියක, නැතහොත් ගෝ ඝාතකයෙකු විසින් සපයනු ලබන මස්, කුකුළු ආදී පක්‍ෂීන්, මාළු, පළතුරු හෝ එළවළු වෙළඳාම පිණිස පාවිච්චි කරන ස්ථානයක, මනුෂ්‍ය ආහාරයට අයෝග්‍ය වන සතෙකු, මළ කුණක්, මස් කුකුළන් ආදී පක්‍ෂීන්, දඩ මස්, මාළු, පළතුරු හෝ එළවළු තැබීම හෝ යම් ස්ථානයක හෝ මාර්ගයක එබන්දක් තැබීම හෝ තැබීමට ඉඩ හැරීම, 
(IX) කවරෙකු විසින් වුවද, යම් කිසි දෙයක් මනුෂ්‍ය ආහාරයක් හෝ පානයක් වශයෙන් පාවිච්චි කිරීමට නුපුළුවන් තත්ත්වයකට පැමිණ තිබේ යැයි හෝ නුපුළුවන් තත්ත්වයක තිබේ යැයි දැන දැනම හෝ එසේ යයි විශ්වාස කිරීමට කරුණු ඇතිව, එය මනුෂ්‍ය ආහාරයක් හෝ පානයක් සඳහා විකිණීම හෝ ඉදිරිපත් කිරීම හෝ ප‍්‍රසිද්ධියේ තබා තිබීම,

(X) කවරෙකු විසින් වුවද, 05 වැනි වගන්තියෙන් විධිවිධාන යෙදී ඇති පරිදි ඒ සඳහා බලපත‍්‍ර නොලබා අහිතකර වූ හෝ පිළිකුල් උපදවන්නා වූ දුර්ගන්ධය පිටවන කර්මාන්ත ශාලාවක් හෝ ව්‍යාපාරික ස්ථානයක් තබා ගැනීම,
(XI) කවරෙකු විසින් වුවද, යම් කිසිවෙකුට පීඩා වන පරිද්දෙන් හෝ යම් කිසිවෙකුගේ සෞඛ්‍යයට බාධාවන පරිද්දෙන් යම් ස්ථානයක පොල් ලෙලි, පොල් කොහු හෝ අන්කිසි දෙයක් තැබීම හෝ දමා තිබීම හා,
(XII) කවරෙකු විසින් වුවද, පස්, කුණු, අළු, කසළ, වත්තකින්, කුස්සියකින් හෝ ඉස්තාලයකින්, කුණු නැතහොත් බිඳුණු වීදුරු හෝ මැටි බඳුන් හෝ අන්කිසි රොඩු යම් වීථියකට, පාරකට හෝ ප‍්‍රසිද්ධ ස්ථානයකට, අඩි පාරකට, කුණු කාණුවකට හෝ කාණුවකට විසි කිරීම හෝ දැමීම, නැතහොත් සිය මෙහෙකරුවන්ට එසේ කිරීමට ඉඩ හැරීමද වේ.

03. කවරෙකු විසින් වුව ද, ඉහත සඳහන් පීඩන ක‍්‍රියාවක් කිරීම ගැන වරදරකාරයා වීමෙන් පසුව හෝ වරදකාරයා වීමට ප‍්‍රථම සෞඛ්‍ය මණ්ඩලයෙන් හෝ එහි යම් නිලධාරියෙකු විසින් හෝ මහේස්ත‍්‍රාත් කෙනෙකු විසින් හෝ එබඳු ක‍්‍රියාවක් නැවැත්වීමට හෝ අඩු කිරීමට ලිපියකින් දැන්වීමෙන් පසුව ද, එබඳු පීඩන ක‍්‍රියාවක් කරගෙන ගියහොත් හෝ කරගෙන යාමට ඉඩ දුනහොත්, ඔහු එසේ වරදකාරයා කරනු ලැබීමෙන් පසු හෝ දැන්වීමෙන් පසු එසේ වරද කරන එක් එක් දිනට රුපියල් 10/=කට නොවැඩි මුදල බැගින් වන්නා වූ අතිරේක දඩයකට යටත් වන්නේ ය.

04. සෞඛ්‍ය මණ්ඩලය විසින් බලය දෙනු ලැබූ යම් තැනැත්තෙකුට, සුදුසු සියලු කාලවේලාවලදීම, සිය සහකාරයන් කැටුව හෝ එසේ නොමැතිව වෙළඳපොළක්, ගොඩනැගිල්ලක්, කඩ බක්කියක් නැතහොත් ගොඝාතකයින්ගේ මස්, කුකුළු ආදී පක්‍ෂීන්, මාළු, පළතුරු හෝ එළවළු විකිණීමට තබා තිබෙන ස්ථානයක් හෝ ගොඝාතන ස්ථානයක් කරා ගොස් එය පරීක්‍ෂාකර, එබඳු ස්ථානයක සිටින සතෙකු හෝ තිබෙන මළකුණක්, මස්, කුකුළු ආදී පක්‍ෂීන්, දඩ මස්, මාළු, පළතුරු හෝ එළවළු පරීක්‍ෂා කිරීමට පිළිවන.

තවද, එහි මනුෂ්‍ය ආහාරයට නුසුදුසු යැයි තමාට වැටහී ගියහොත්, එය අල්ලා ළඟම සිටින මහේස්ත‍්‍රාත් වෙතට පැමිණ විය හැකිය. එවිට නිසි තැනැත්තෙකුගේ සාක්‍ෂි විභාග කිරීමෙන් පසු එබඳු සතෙක්, සතෙකුගේ මළ කුණක්, මස්, කුකුළු ආදී පක්‍ෂියෙක්, දඩ මස්, මාළු, පළතුරු හෝ එළවළු මනුෂ්‍ය ආහාරය සඳහා තබා තිබුණ බැව්ද, එබඳු ආහාරයක් පිණිස එය අයෝග්‍ය බවද, එකී මහේස්ත‍්‍රාත්තැනට පෙනී ගියහොත්, එය විනාශ කර දැමීමට හෝ එසේ වෙළඳාමට තැබීමෙන් හෝ ආහාර පිණිස පාවිච්චි කිරීමෙන් වළක්වනු පිණිස අන් කිසිවක් කිරීමට හෝ ඔහු විසින් නියම කළ යුතුය.


ඉතිරි කොටස ලබන සතියට.....