2021 මාර්තු 06 වන සෙනසුරාදා

සල්ලි අච්චු ගහලා ගොඩයන්න පුළුවන්ද?

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 271

ශ්‍රී ලංකා මහ බැංකුව අත්තනෝමතික ලෙස මුදල් මුද්‍රණය කරන බවට පසුගිය දිනවල විවිධ චෝදනා එල්ල විය. මෙලෙස අදහස් පළකළ අය අතර සාමාන්‍ය ජනතාව මෙන්ම ආර්ථික විශේෂඥයෝද වූහ. සමහරුන් පැවසුවේ මුදල් මුද්‍රණය නිසා ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අතර මෙම රජය පමණක් නොව මෙතෙක් බලයට පත්වූ විවිධ රජයන් සමවලදී මුදල් මුද්‍රණය වූ බවයි. ඒ නිසා රටේ බඩු මිල වැඩිවීමක් හෝ උද්ධමනයක් ඇතිවූ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව ඔවුහු පවසති.

මුදල් මුද්‍රණය කළ බවට පවතින රාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මහ බැංකුව කිසිදු විටෙක අවිධිමත් ලෙස මුදල් මුද්‍රණය නොකරන බවයි. එලෙස ආවාට ගියාට මුදල් අච්චු ගසනවා නම් එයට ශ්‍රී ලංකා මහ බැංකුවට වගකියන්නට සිදුවන බව ඔහු පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කරන ක්‍රමවේද දෙකක් ඇත. එකක් වන්නේ දුර්වර්ණ වූ හා අපැහැදිලි මුදල් නෝට්ටු වෙනුවට ඒ වටිනාකමට සරිලන මුදල් නෝට්ටු අලුතින් නිකුත් කර පරණ වූ නෝට්ටු විනාශ කිරීමය. මේ ක්‍රමය නිසා මූල්‍ය වෙළෙඳපොළට, වැඩිපුර මුදල් නෝට්ටු එකතුවීමක් සිදුවන්නේ නැත. අනිත් ක්‍රමය වන්නේ රටේ ආර්ථිකය පිළිබඳ අගැයීමකට ලක්කර මුදල් නෝට්ටු අලුතෙන් මුද්‍රණය කිරීමය. මෙය නිසි දත්ත මත පිහිටා විචක්ෂණයෙන් සිදුකරන ක්‍රියාදාමයක් බව මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම සිදුකරනුයේ රට තුළ සිදුවන සමස්ත ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වන අතර අත්තනෝමතික ලෙස වැඩිපුර මුදල් නිකුත් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. රටක ආර්ථික හා ව්‍යාපාරික කටයුතු වර්ධනය වනවිට එම කටයුතු පහසු කරලීම උදෙසා එයට සමාන ප්‍රමාණයක වටිනාකමින් යුතු මුදල් සැපයුමක් සිදුකෙරේ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ සිදුවිය හැකි බලපෑම පිළිබඳ ඇස්තමේන්තු කර එයට සමාන ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් අලුතින් අච්චු ගැසීම සිදුකරයි. එසේ ගනුදෙනුවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කළහොත් රට තුළ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවගේ ජීවන ගැටලු උග්‍රවීම සිදුවෙයි. මෙහිදී උද්ධමන පීඩනයක් ඇතිවේ. ඒ නිසා මහ බැංකුවේ වගකීම වන්නේ රට තුළ උද්ධමන පීඩනයක් ඇති නොවන ආකාරයට සමස්ත මුදල් තොගය පවත්වාගෙන යාම වෙයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ මුදල් මුද්‍රණය කිරීමේ බලය පවතින්නේ මහ බැංකුවලටය. අපේ රටේ මෙම බලය මහ බැංකුවට හිමිව ඇත්තේ 1949 අංක 58 දරන මුදල් නීති පනත ප්‍රකාරවය. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේද මෙම පනතෙන් ලැබුණු බලය අනුවය.

මුදල් පිළිබඳ ජනතාව තුළ පිළිගැනීමක් සිදුවන්නේ ඒ ගැන ඇති විශ්වාසය මතය. ඒ නම් මුදලට නීතියෙන් ලැබී ඇති වලංගු භාවයයි. ඒ නිසා නීතියට පටහැනිව නියම මුදල් නෝට්ටුවලට සමාන වනසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සපුරා තහනම් වේ. එසේම මුදල් ගැන වූ ජනතා විශ්වාසය පළුදු වන තවත් කාරණයක් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාමයි. ඒ හේතුවෙන් අධි උද්ධමනයක් ඇතිවේ. එලෙස මිල ඉහළ ගියහොත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අධික මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුවෙයි. උදාහරණයක් ලෙස 1920-23 කාලයේ ජර්මනියේ පැවති අධි උද්ධමනය නිසා එවකට තිබූ එරට මුදල් ඒකකය වන &ජර්මන් මාර්ක්* ගැන පාරිභෝගික විශ්වාසය පළුදු වී ගියේය. 1920දී ජර්මනියේ පාන් ගෙඩියක මිල මාර්ක් 1ක් වුවද 1923 වනවිට පාන් ගෙඩියක් මිලට ගැනීමට ගෙවිය යුතු වූ මුදල මාර්ක් බිලියන 4ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස විල්බැරුක්කවලින් මුදල් ගෙන යාමට ජනතාවට සිදුව තිබුණු බව වාර්තා වෙයි. ව්‍යාපාරික ස්ථාන හා බැංකු සියල්ල කඩා වැටී ජනතාව යළිත් වරක් මුලින් තිබූ භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමය හෙවත් බාටර් ක්‍රමයට යොමුවූ බව වාර්තා විය. කෙසේ වුවද මේ අනුව පෙනී යන්නේ රටක මුදල් කළමනාකරණය ඉතාම සුපරික්ෂාකාරීව කළයුතු දෙයක් බවය.

තිබහට ලුණුවතුර බොනවා වගෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම පිළිබඳ මේ වනවිට වාර්තාවක් තබා ඇතැයි මූල්‍ය විශ්ලේෂකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු පවසන පරිදි 2020 දී රුපියල් මිලියන 650ක් අච්චු ගැසූ අතර, 2021 වනවිට රුපියල් බිලියන 13.2ක් මුද්‍රණය කර තිබේ. කෙසේ වුවද මේ පිළිබඳ ස්ථීර සංඛ්‍යාලේඛන නොමැත.

&මෙලෙස අත්තනෝමතික ලෙස මුදල් අච්චු ගැසීම නිසා ඉදිරියේදී භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් රට තුළ දැඩි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. මුදල් අච්චු ගැසීමෙන් රටක් දියුණු කරන්න බැහැ. ඒ සඳහා කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශ දියුණු කළ යුතුයි. එසේ නොකර මුදල් මුද්‍රණය කිරීම පිපාසයට ලුණු දිය බොනවා වැනි නිෂ්ඵල ක්‍රියාවක්. මෙහෙම ගිහිල්ලා මුද්‍රණය කවදා අවසන් වෙයිද දන්නේ නැහැ. අපේ රටට ජර්මනියට වගේ දැඩි උද්ධමනයකට මුහුණදීමට සිදුවිය හැකියි.* ඔහු අනතුරු අඟවයි.

භාණ්ඩාගාරයේ ඇති මුදල් හිඟය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 200ක සංවර්ධන බැඳුම්කර අලෙවි කිරීමක් පසුගිය ජනවාරි 15 දින සිට ආරම්භ කළ නමුත් ජනවාරි 19 දින වනවිට අලෙවි කර ගැනීමට හැකිව ඇත්තේ ඩොලර් මිලියන 40ක් පමණයි. මෙය අපේක්ෂිත මුදලින් 1/5ක ප්‍රමාණයකි. මේ නිසා සංවර්ධන බැඳුම්කර අලෙවි කර ගැනීමේ දැඩි අවිනිශ්චිතතාවක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් දේශීය හා විදේශීය බැංකුවලට පමණක් අලෙවි කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රථමවතාවට විදේශීය වැසියන් සහ විදේශ ආයතන මෙන්ම අනේවාසික ශ්‍රී ලංකිකයන් හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ඇතුළු ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

රටේ සංසරණයට මුදල් එකතුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම යනු මුදල් සැපයුම වැඩිවීම බවය. මේ ක්‍රියාව නතර කළ නොහැකි අතර එය අඛණ්ඩව සිදුවෙයි. රජයේ අයවැය පරතරය පියවා ගැනීමට උද්ධමනකාරී මාර්ග පාවිච්චි කළ නොහැකි වූ විට උද්ධමනකාරී මූලයන් කරා යාමටද ඉදිරියේදී සිදුවිය හැකිවේ. මුදල් සැපයුම ඉහළ යන්නේ මුදල් මුද්‍රණය නිසාම නොවේ.

මුදල් නීති පනතට අනුව වර්ෂයක් පාසා ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 10කට සමාන මුදල් ප්‍රමාණයක් තාවකාලික අත්තිකාරමක් ලෙස මහ බැංකුව රජයට සපයන්න ඕනෑ. එය සිදුවන්නේ මුදල් මුද්‍රණය කිරීම මගින්. ඒ අනුව රට තුළ සංසරණයට විශාල මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. මෙම අත්තිකාරම සාමාන්‍යයෙන් මාස හයක කාලයක් සඳහායි. රජය එම අත්තිකාරම පියවීම සිදුකළ විට එයට සමාන මුදල් ප්‍රමාණයක් රට තුළ සංසරණය වන මුදලෙන් අඩුවෙනවා. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ  එයයි.

මහ බැංකුව සංචිත මුදලින් හෙවත් නව මුදල් නිකුත් කිරීම තුළින් මෙන්ම විදේශීය හා දේශීය වත්කම් වෙනස්වීම් තුළින් රජයට මුදල් සපයනවා. මහබැංකුව කරන විදේශ විනිමය ගනුදෙනු හරහා මහ බැංකුව රට තුළ සංසරණය සඳහා නිකුත් කරන සංචිත මුදල් තොගයේ අඩු වැඩිවීමක් ඇතිවෙනවා. මහ බැංකුව රජය හා වාණිජ බැංකු සමග ඍජුවම රුපියල්වලින් කරන ගනුදෙනු නිසාද රට තුළ සංසරණය වන සමස්ත මුදලේ අඩුවැඩිවීමක් සිදුවෙනවා. එපමණක් නොව මහ බැංකු සේවකයන් සඳහා ගෙවන වැටුප් හා ප්‍රදානයන් සඳහා මෙන්ම මහ බැංකුව සතු වත්කම්වල හා වගකීම්වල සිදුවන අඩු වැඩිවීම්ද සංචිත මුදල් වෙනස් වීමට බලපානවා.

වෙන විකල්පයක් නැති නිසා වෙන්න පුළුවන්

මේ පිළිබඳ විමසීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රජය මුදල් මුද්‍රණය කරන බව ඍජුවම ප්‍රකාශ කිරීමට අවශ්‍ය සාක්ෂි තමා ළඟ නොමැති නමුත් පවතින වාතාවරණය අනුව රජය  එයට නැඹුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව සිතාගන්නට සිදුවන බවයි. දැනට අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් නොමැතිවීමේ දුෂ්කරතාවෙන් පෙළෙන ආණ්ඩුව අවසාන විසඳුම ලෙස මුදල් මුද්‍රණයට නැඹුරු වී සිටීමට ප්‍රවණතාවක් ඇති බව ඔහු කියයි. මේ කෙටිකාලීන විසඳුම හැර දිගුකාලීන විසඳුම් රජයට නොමැත.

&අද රජයට නියමිත බදු ආදායම විශාල ලෙස පහත වැටී තිබෙනවා. බදු සංශෝධන හේතුවෙන් සහ තිබෙන බදු පවා නිසි ලෙස එකතු කර ගැනීමට නොහැකිවීම මෙයට හේතුවයි. එසේම ආර්ථික කටයුතු මෙන්ම නිෂ්පාදනයද මේ වනවිට කොරෝනා රෝග ව්‍යාප්තිය නිසා පහළ ගොස් තිබෙනවා. නිෂ්පාදන ආයතන විශාල ලෙස වැසී තිබෙනවා. රජයට මුදල් ලබා ගැනීමට ඇති එක් ක්‍රමයක් තමා ණය සහ ප්‍රදාන. මේ වනවිට විදේශ හා දේශීය ණය ගැනීම අමාරුයි. රජය ණය ගැනීමේ උපරිම මට්ටමත් මේ වනවිට අඩුකරලා. විදේශ ණය නොදෙන අතර දේශීය ව්‍යවසායකයන්ද බිඳ වැටී ඇති නිසා දේශීය ණය ගැනීමටද අමාරුයි. එසේම රජයට විදේශ ආධාරද ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් සංවර්ධන ආධාර ලැබෙන්නේ නැහැ. විදේශ ණය නොලැබීමට ඒ රටවල් ආර්ථික කටයුතු අඩපණ වීමද බලපානවා. දැන් ආණ්ඩුව පත්වී තිබෙන්නේ අලුතින් ණය ගන්නවා තබා ගත් ණය ගෙවාගැනීමේ ගැටලුවටයි. ඒ නිසා මුදල් මුද්‍රණය කිරීම හැර වෙන විකල්පයක් නොමැති විය හැකියි.

රටක සාමාන්‍යයෙන් සමස්ත භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකමට සමාන අගයක් ඇති මුදල් ප්‍රමාණයක් තිබිය යුතුය යන්න මූල්‍ය සිද්ධාන්තයක්. රටේ මුදල් වැඩි වූ විට සීමිත භාණ්ඩවලට ඇති ඉල්ලුම වැඩිවෙනවා. සීමිත භාණ්ඩ ප්‍රමාණයකට අධි ඉල්ලුමක් ඇතිවූ විට මිල මට්ටම ඉහළ යාම තමා සිදුවන්නේ. වෙළෙඳපොළ ආර්ථිකයේ ස්වභාවය මෙයයි. ඒ හේතුවෙන් උද්ධමනය ඉහළ යනවා. ජීවන ගැටලු ඇතිවෙනවා.

අපේ රටේ අවිධිමත් ආර්ථිකය සියයට 50කටත් වැඩියි. ඇතැම් ආර්ථික කටයුතු ප්‍රධාන වෙළෙඳ ජාලයට එන්නේ නැහැ. උදාහරණ ලෙස කිව්වොත් විශාල මුදලක් ලැබෙන මත්කුඩු ව්‍යාපාරය, අල්ලස්, දූෂණ සහ වංචා ආදියෙන් ලැබෙන මුදල්, එසේම ගම්වල සිදුකෙරෙන විවිධ කටයුතුවලින් ලබාගන්නා ආදායම ආදී මේ සියල්ල ප්‍රධාන ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැහැ. වෙනම තබාගෙන ඉන්නවා. කළු සල්ලි ලෙස හඳුන්වන්නේ මේවායි. මෙලෙස උපයන මුදල් රටට එකතු වන්නේ නැහැ. මෙම තත්ත්වය බලධරයන් දන්නා නමුත් ඒවා වළක්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඇතැම් අයවැය ලේඛනවලින් කළු සල්ලි ඇද ගැනීමට විවිධ උපක්‍රම යෙදුවත් ඒවා සාර්ථක වී නැහැ.

මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය දේවලට අවශ්‍ය මුදල් හිඟ වූ විට මුදල් මුද්‍රණයට යන්න පුළුවන්. එහෙත් මෙම ක්‍රමය දිගටම කරන්න පුළුවන් වන්නේ නැහැ. මෙහිදී මෙම අතිරික්ත මුදලට සරිලන සේ කෙටිකාලයක් තුළ රටේ නිෂ්පාදනය ඉහළ ගියහොත් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඒ සඳහා නිෂ්පාදනය ප්‍රසාරණය කළ යුතුයි. එය සිදු නොවුණහොත් විශාල ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ලොව ඇතැම් රටවලට මෙහි ප්‍රතිවිපාක දැනටමත් විඳීමට සිදුව තිබෙනවා. අප එයින් පාඩම් ඉගෙන ගත යුතුයි.

එසේම මුදල් පිටරටට ඇදීයාම වැළැක්වීමේ පරමාර්ථයෙන් සිදුකර ඇති ආනයන සැලසුම් අසාර්ථකයි. කොතරම් ආනයන සීමා තිබුණත් කවර ලෙසට හෝ රටට භාණ්ඩ එනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ නොපැමිණ අනවශ්‍ය භාණ්ඩ විදේශවලින් එනවා. රට තුළ දේශීය කුඩා නිෂ්පාදන වැඩිකරන සැලසුමක් දක්නට නැහැ. රටේ තැනිය හැකි විවිධ දේවල් දිරිගන්වන පිළිවෙතක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදකයා අකර්මණ්‍ය වෙනවා. ආනයන සීමා පැනවිය යුත්තේ රට තුළ විකල්ප දේශීය නිෂ්පාදනයන් ඇති කිරීමෙන් පසුවයි. එසේ නොකර කඩිමුඩියේ ගන්නා තීරණ නිසා ආනයන සීමාවලින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එම තීරණ විටින් විට වෙනස් කරන්න වෙනවා. අද සිදුව ඇත්තේ එයයි.

රජය මුදල් සැපයුම පිළිබඳ ගන්නා තීරණ ආර්ථික තීරණ මිස දේශපාලන තීරණ නොවිය යුතුයි. ආනයන වියදම අඩු කිරීමේ පරමාර්ථයෙන් ගන්නා බදු වැඩි කිරීමේ තීරණ වුවද විටින් විට වෙනස් වෙනවා. එවැනි තීරණ ගැන මුලින්ම අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළ යුතුයි. තීරණයකට විරෝධතා ඇතිවීම නිසා අද ගන්නා තීරණය හෙට වෙනස් කළහොත් එයින් තවත් පාර්ශ්වයක් ප්‍රයෝජන ගත හැකියි. ඇතැමුන් තම පෞද්ගලික වාසි තකා මෙවැනි හදිසි කෙටි තීරණ ගත හැකියි. එවිට සිදුවන්නේ ජනතාවට අසාධාරණයක් සිදුවීම මෙන්ම රජයට බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටුකර ගැනීමට අවස්ථාව නොලැබීමයි. මේ නිසා යම් ස්ථාවර ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතු වෙනවා.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03