ගස්වල හැදෙන ඕනෑම දෙයක් පළතුරු නෙවෙයි. කටේ එහෙම තියන්න එපා සාමාන්‍යයෙන් දරුවන්ට ලැබෙන අවවාද අතර එවැනි ප‍්‍රකාශ තිබේ. නොදන්නා ගෙඩියක්, පළතුරක් ආහාරයට ගැනීමෙන් නරකක් සිදුවෙන්නට ඉඩ ඇතිබව වැඩිහිටියෝ විශ්වාස කරති. ආහාරයට නුසුදුසුයැයි කල්පනා කළ නොයෙක් ශාඛ කොටස් හා සත්ව මාංශ ශරීරයට සුදුසු බව ප‍්‍රකාශ වෙමින් තිබේ. එයට හේතුව ආහාර හිඟයයි. වැඩිවන ලෝක ජනගහනය සමඟ ආහාර හා පළතුරු ප‍්‍රමාණවත් නොවන ලකුණු පහළ වී ඇත. එයට උත්තරයක් වශයෙන් කරුණු සොයන පර් යේෂකයෝ අලුත් ආහාර වර්ග නිර්දේශ කරති. ලෝක ආර්ථික සංසදයේ සාකච්ඡාවලදී පළතුරු වර්ග තුනක් ගැන අවධානය යොමු වී ඇත. පරිසරය ආරක්ෂා කරන අතර මෙතෙක් අවධානයට නොගෙන අපතේ හරින ලද මෙකී පළතුරු විශේෂ ඉතා පෝෂ්‍යදායක බව පර්යේෂණ සනාථ කරයි. අනාගතයේදී ආහාර අනුභවය හා පළතුරු භාවිතය සම්බන්ධව පරිවර්තනයක් සිදුවනු ඇතැයි සැලකේ.
මැද පෙරදිග හා අප‍්‍රිකා රටවල බහුලව දැකගත හැකි, පළතුරක් වශයෙන් ආහාරයට ගැනීමෙන් ප‍්‍රශ්නයක් ඇති නොවන විශේෂ තුනක් ලෝක ආර්ථික සංසදයේ දී සාකච්ඡා වී තිබේ. එකක් කාන්තාර රට ඉඳි (Desert Date) වන අතර ඉන්දියා ජුජුබ්ස් (India Jujube) හා අප‍්‍රිකානු ෆෑන් පාම් (Africa Fan Palm) අනෙක් විශේෂ දෙක වශයෙන් සඳහන්ය. මෙම පළතුරු වර්ග ගැන ඒවා වැවෙන ප‍්‍රදේශවල ජීවත්වන ජනයා වැඩි අවධානයක් යොමු නොකෙරේ. එම රටවල, නගරවලින් ඈත පිටිසර ප‍්‍රදේශවල බහුලව දැකිය හැකිය. සුළු වශයෙන් ආහාරයට ගැනේ. නාගරික ජනතාව මේවා ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. නිෂ්ප‍්‍රයෝජනව අපතේ යන බව වාර්තා වෙයි.
කාන්තාර රට ඉඳි වසර හාර දහසකට කලින් පවා ඊජිප්තුවේ වගාකර තිබුණ බව පැරණි වාර්තා සනාථ කර ඇත. මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල වෙනස් නම් වලින් හඳුන්වයි. කෙසේ වෙතත් මෙම ගසේ හටගන්නා පළතුරු සාමාන්‍යයෙන් දුප්පත් ජනතාව ආහාරයට ගන්නා විශේෂයක් වශයෙන් ගැනේ. පළතුර පමණක් නොව එම ශාකයේ දලු හා කොළ ආහාරයට ගැනීමට අඩු ආදායම් ලාභීහු නැඹුරු වී සිටියහ. දැන් වාර්තා අනුව ඉතාම දිග නියං කාලවකවානුවල පවා හොඳින් වැඩෙන මෙම කාන්තාර රට ඉඳි විශේෂය විශේෂ ප‍්‍රයත්නයකින් තෙරව හොඳ අස්වැන්නක් ලබාදෙයි. එය සාමාන්‍යයෙන් ඉඳිගසක ආකාරයේ නොවේ. තනි ගෙඩි හටගන්නා අතර ඉදෙන්නට කලින් ලපටි කාලයේද ආහාරයට ගත හැකිය. ඉන්දියන් ජුජුබ් ඉන්දියාව, පකිස්තානය හා අප‍්‍රිකානු රටවල වැවෙන තද දැවමය ශාකයකි. ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන අතර නෙල්ලි ගෙඩියට හා සමාන පළතුරකි. විටමින් සී බහුල බව දැනට සොයා ගෙන තිබේ. අප‍්‍රිකානු ෆෑන් පාම් විශේෂය තල් ගසකට සමානය. එහි හටගන්නා ගෙඩි පළතුරක් වශයෙන් පමණක් නොව ආකාරයට ගන්නා තෙල් සකස් කරගැනීමටද ප‍්‍රයෝජනයට ගැනේ. තල් ගසකින් ලබාගන්නා ප‍්‍රයෝජන හා සමානව පත‍්‍ර වලින් ද නොයෙක් ඇසුරුම් හා ආවරණ සකස් කරගනිති. ළපටි තල් පැළ පිස ගැනීමෙන් හදාගන්නා ආහාරය ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ බහුල කොටට්කිලංගු වැනි ආහාරයකි. දකුණේ ද ජනප‍්‍රිය බව නොරහසකි. ෆෑන් පාම් වලින්ද එය පිළියෙළ කරගන්නේ තල් පැලයකින් ගන්නා ආකාරයටම පිස ගැනීමෙන් බවද දැක්වෙයි.
වාර්තා අනුව සාමාන්‍යයෙන් එක පුද්ගලයකු දිනකට එළවළු හා පළතුරු ග‍්‍රඃම් 400 ක් අනුභව කළ යුතුය. එය බෝ නොවන රෝග පාලනයට හේතුවකි. එළවළු හා පළතුරු අඩුවෙන් අනුභවය නිසා ප‍්‍රමාණවත් තරමට තන්තු, විටමින් හා ඛණිජ ලවන ශරීරයට නොලැබේ. හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි රෝග බහුව වාර්තාවීම එහි ප‍්‍රතිඵලයකි. අඩු ආදායම් හා මැදි ආදායම් රටවල ජනගහනයෙන් සියයට 58 කට එළවළු හා පළතුරු ප‍්‍රමාණවත්ව නොලැබේ. ආර්ථික අපහසුතා එයට බලපාන බව දැක්වෙයි. අතට ලැබෙන සුළු ආදායම කුස පිරෙන්නට මොනවා හෝ ගැනීමට පොළඹවන අතර අවසානයේ දී එය දීර්ඝකාලීන විපත් ඇති කරයි. ප‍්‍රමාණවත් ආහාර හා පළතුරු සපයන අතර ඇති තරම් වගා කරන පියවර උනන්දු කරමින් සිටී. අලුත් පළතුරු ප‍්‍රභේද වශයෙන් සඳහන එහි එක පියවරකි. තෝරාගත් දුෂ්කර ප‍්‍රදේශවල විශේෂයෙන් කාන්තාර ආශ‍්‍රිතව මෙම ශාඛ වගා කරන උත්සාහයක නිරතය. සමහර ප‍්‍රජා සංවිධාන දස ලක්ෂ ගණනින් මෙම හඳුන්වා දෙන පළතුරු වර්ග වගාව ආරම්භ කර තිබේ. එය පරිසරයටද යහපතකි.
ශ‍්‍රී ලංකාවේද එළවළු හා පළතුරු භාවිතයේ ප‍්‍රශ්න තිබේ. වෙළඳ පොළ තුළ අලෙවි වන පළතුරු දෙස බලන විට ආනයනික ඒවාය. ආනයනය සඳහා දරන පිරිවැය ආර්ථිකයට හිරිහැරයකි. රට තුළ පවතින පළතුරු විශේෂ සෑහෙන ප‍්‍රමාණයක් නිපි ප‍්‍රයෝජනයකින් තොරව නාස්තිවන බව පිළිගත යුතුය. අඹ, දිවුල්, නෙල්ලි ඇතුළු පළතුරු අස්වැන්න ලැබෙන වාරයේ දී විනාශ වන තරම මහත්ය. වෙළෙඳපොළට ගෙන එන පළතුරුවලින් අලෙවි නොවී වීසි කරන ප‍්‍රමාණය ගැන කල්පනා කිරීමද සුදුසුය. ශ‍්‍රී ලංකාවේ දේශගුණික සාධක අනුව කෘෂිකර්මයට ගැලපේ. වගාකරන දේ මගින් හොඳ වෙළෙඳ පොළ අවස්ථා ඇති කරගත හැකිය. පිළිවෙළක් නැතිකම ප‍්‍රශ්නයකි. වාරයේදී ඉවත දමන තරමට ඇති අතර අවාරයේ දී අධික මිල ගණන්වලට විකිණේ. ලෝක ප‍්‍රජාව කුසගින්න ගැන විශාල අවධානයක පසුවන කාලවකවානුවක නාස්තිය සුදුසු නැත. සුදුසු වැඩපිළිවෙළක් හඳුන්වා දී නිසි ප‍්‍රයෝජන ගැනීමට මග පෙන්වීමක් අවශ්‍යය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ