සෑම වර්ෂයකම මාර්තු 2දා උඩරට ගිවිසුම අත්සන් කළ දිනය වශයෙන් සැලකේ. ඒත් එයට නිසැකව අත්සන් තැබුවේ වෙනත් දිනයකයි.
“උඩරට ගිවිසුම තමයි, ලංකාවේ ඉතිහාසයේ සඳහන් ගිවිසුම් අතර තීරණාත්මකම ගිවිසුම. මීට පෙරත් පෘතුගීසින්, ලන්දේසින් අතර ඇතිකරගත් ගිවිසුම් තිබුණා. නමුත් ඒ සියල්ලටම වඩා තීරණාත්මක ගිවිසුම තමයි මේ ගිවිසුම. මේ ගිවිසුමෙන් තමයි අපේ රට සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයකට ඈඳාගත්තේ. මීට පෙර රටේ චෝල ඇතුළු විදේශික පාලනයන් පැවතුණද ඔවුන් රටේ එක් කොටසක් තමයි පාලනය කළේ. ඉංග්‍රීසින් 1796 සිට 1815 දක්වා මුහුදුබඩ පළාත් පමණයි පාලනය කළේ. 1815 මාර්තු ගිවිසුම අනුව විදේශ ආධිපත්‍යයකට රටේම සමස්ත භූමි ප්‍රමාණය ඉතිහාසයේ මුල්වරට නතු වෙනවා.”
අප සමඟ එලෙස අදහස් දැක්වූයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගය. ඔහු උඩරට ගිවිසුම පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතෙකි.
තරුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට කිරුළට පත්වූයේ 1798 දීය. ඒ වනවිට උඩරට නායක්කර් පාලනය ගැන රදළ ප්‍රධානීන් තුළ කලකිරීමක් හටගෙන තිබුණි. උඩරට රදළ ප්‍රධානියෙක් වන ඇහැලේපොළ ඉංග්‍රීසින් සමඟ සාකච්ඡා වට පවත්වමින්ද සිටියේය. මේ අතර ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලි තම උපක්‍රමශීලීත්වය යොදමින් උඩරට යටත් කර ගැනීමේ පසුබිම සකස් කරමින් සිටියේය. රජුට විරුද්ධ උඩරට ප්‍රධානීන් හඳුනාගෙන ඔවුන්ට අනුබල දීම, රජුට පක්ෂපාත නිලමේවරුන්ගේ බලය බිඳීම, භික්ෂූන් වහන්සේට අනුග්‍රහය දක්වා ඔවුන්ගේ සිත් ගැනීම ඒ අතරින් උපක්‍රම කිහිපයකි. එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෑගි වශයෙන් බ්‍රිතාන්‍ය මත්පැන් තොග යැවීමද ඩොයිලි කළ තවත් වැඩකි. උඩරට රදළවරු තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවට සැකයෙන් සිටි රජු මානසික පීඩනයට ප්‍රතිකාර ලෙස ඉංග්‍රීසි මත්පැන්වලට ඇබ්බැහි විය.
මේ අතර ඇහැලේපොළ සබරගමුවේ සිට රජුට එරෙහි වී ඉංග්‍රීසින්ට එකතුවීම නිසා රජු කෝපයට පත්ව ඇහැලේපොළ බිරිඳ හා දරුවන් ක_ර ලෙස ඝාතනය කළේ 1814 මැයි 17දාය. බ්‍රිතාන්‍ය හමුදා 1815 පෙබරවාරි 2දා මහනුවර නගරයට ඇතුළු වූ විට නගරයට ගිනි තබා රජු ඇතුළු ප්‍රභූ පිරිස පලා ගොස් තිබුණි. නගරයේ මිනිස් පුළුටක්වත් නොවූ බව ඉංග්‍රීසි ලේඛකයන් සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍ය හමුදා රජ මාලිගයේ රජුගේ කාමරය පිරික්සීමේදී යුරෝපයේ නිෂ්පාදිත හොෆ්මන්ගේ රතු බ්‍රැන්ඩි හිස් බෝතල් තොග ගණනින් හමුවිය. තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ අනුග්‍රහයෙන් ඩොයිලි රජුට යැවූ තෑගිය, ඒ.
1815 පෙබරවාරි 18දා සැඟවී සිටි ශ්‍රී වික්‍රම රජු හා බිසෝවරු මහනුවර බෝමුරේදී අත්අඩංගුවට ගැනිණි. ඊට පසු අවශ්‍ය වූයේ ලංකාව ඉංග්‍රීසින් යටතට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනයයි. ඒ සඳහා වන ගිවිසුමේ වගන්ති සකස් කළේ සිංහල භාෂාවද දැන සිටි ජෝන් ඩොයිලිය. ගිවිසුම සිංහලට පරිවර්තනය කළේ සේරම් මුදලිය. ගිවිසුමට උඩරට ප්‍රධානීන්ගේ අනුමැතිය හා අත්සන්ද ලබාගෙන උඩරට රාජ්‍යයේ අයිතිය තහවුරු කර ගැනීමට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් කටයුතු කළේය. එයට ප්‍රථම මහා බ්‍රිතාන්‍යය උඩරටට අයත් ප්‍රදේශ යටත් කරගත් බව ඔහු නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය. එහෙත් සිංහලයෝ සිතුවේ ඉන් තම ස්වාධීනත්වයට හානියක් වී නැති බවයි. රජු කිනම් ජාතියකට අයත් වුවද ඔහු දරනුයේ සිංහලේ රාජ පදවිය බව ඔවුහු සිතූහ. මේ අතර රදලවරු තම බලතල පෙර පරිදිම දැරිය යුතු බවද ඉංග්‍රීසිහු පිළිගත්හ.
1815 මාර්තු 2දා පස්වරු 4.00ට උඩරට ප්‍රධානීහු මහනුවර මඟුල් මඩුවට කැඳවා තිබිණි. එහිදී උඩරට ගිවිසුම ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කියවා රැස්ව සිටි ප්‍රධානීන්ට සහ වැසියන්ට පැහැදිලි කරදීම සිදුවිය. මේ පිළිබඳව මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ මෙලෙසයි. “මේ ගිවිසුම උඩරට රදළවරු සහ භික්ෂූන් වහන්සේ ඉදිරියේ ප්‍රසිද්ධ කළේ මාර්තු 2දායි. නමුත් එදා ගිවිසුම අත්සන් කළේ නැහැ. ඒ අවස්ථාවේ කිසි කෙනෙක්ට ගිවිසුමට කැමැත්තක් දැක්වූයේ හෝ විරුද්ධ වූ බවක් හෝ වාර්තා වන්නේ නැහැ. අපට දැනගැනීමට ලැබුණු පරිදි ඊට පසු බුද්ධාගම ආරක්ෂා කිරීම යන වගන්තිය පසුව ඇතුළත් වූ බවටත් මතයක් තිබෙනවා. එසේ වගන්ති එක්කර මාර්තු 10දා අත්සන් කර තිබෙනවා. නමුත් ඇහැලේපොළ දිසාව 10දා පැමිණ නැහැ. ඔහු මඟහැර තිබෙනවා. පිළිමතලාව, ගලගොඩ දිසාව යන අයත් එදින අත්සන් කළේ නෑ. ඔවුන් පසුව තමයි අත්සන් කර තිබෙන්නේ. අත්සන් කළ අයත් තම අනන්‍යතාවය සඟවාගෙන තිබෙන බව මට පේනවා.”
ගිවිසුමට අත්සන් කළ උඩරට ප්‍රධානීන් මෙසේය: උඩරට මහජනතාව වෙනුවෙන් ඇහැලේපොළ මහ නිලමේ, මහාදිකාරම සහ සත් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම සහ සබරගමුවේ දිසාව වූ පිළිමතලව්වේ, සතර කෝරළේ දිසාව බාර පිළිමතලව්වේ (කනිෂ්ඨ), ඌව දිසාව මොනරවිල, මාතලේ බාර රත්වත්තේ දිසාව, තුන් කෝරළේ දිසාව මොල්ලිගොඩ (කනිෂ්ඨ), වලපනේ දිසාව වූ දුල්ලෑව, වෙල්ලස්සේ සහ බින්තැන්නේ දිසාව වූ මිල්ලෑව, තමන්කඩුව දිසාව වූ ගලගම, නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ, බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසි කිරීටය වෙනුවෙන් අත්සන් කළ අතර ජෝන් ඩොයිලි සහ නියෝජ්‍ය මහලේකම් සදර්ලන්ඩ් අත්සන් සහතික කරමින් අත්සන් තබා තිබේ.
ගිවිසුම අත්සන් නොකර තිබියදී වුවද මාර්තු 2 දින ආචාර වෙඩිමුර සමඟ ඉංග්‍රීසි කොඩිය මහනුවර මඟුල් මඩුවේදී ඔසවනු ලැබීය. වාරියපොළ සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය බිමට ඇද පාගා දමන්නට ඇත්තේ ඒ අවස්ථාවේදී විය යුතු බව මහාචාර්ය මනතුංග සඳහන් කරයි.
මේ අතර උඩරට මහ කැරැල්ලේ පොත ලියූ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද උඩරට ගිවිසුම සොයා එංගලන්තයේ රාජ්‍ය ලේඛන කාර්යාලය දෙවනත් කළත් ඔහුට හමුවූයේ දෙවන පිටපතය. මුල් පිටපත ලංකාවේ රාජ්‍ය ලේඛන අතර සැඟවී තිබියදී සොයාගන්නා ලද්දේ 1988 දීය. එය දැන් රාජ්‍ය ලේඛනාගාරයේ තිබේ.
“උඩරට ගිවිසුමේ වැදගත්කම නිසා බොහෝ අය සිතුවේ මේක හම් බැම්මෙන් බැඳලා අලංකාර විදිහට ඇති කියලා. මේ නිසා සාමාන්‍ය වාර්තා බැලුවේ නෑ. නමුත් මේක සාමාන්‍ය ඉංග්‍රීසි වාර්තා අතර තිබුණා. එක්වර මෙහි පිටපත් පහක් පමණ හදා තිබූ බව පේනවා. ඒ අතරින් මුල් පිටපත සොයාගත්තේ ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂව සිටි හරිස්චන්ද්‍ර ද සිල්වා මහත්මයා. ඔහු හොඳ ඉතිහාසඥයෙක්.” මහාචාර්ය මනතුංග කීවේය.
අවසානයේ වගන්ති 12කින් යුත් උඩරට ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ තවත් කොදෙව්වක් විය. ඉංග්‍රීසින්ට හිස නවාගෙන 1948 දක්වා ජීවත්වීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට සිදුවිය.
කුසුම්සිරි විජයවර්ධන