2021 මාර්තු 06 වන සෙනසුරාදා

වරාය නගරය අන්ධකාරයේ?

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

කොළඹ වරාය නගරය ගොඩකිරීම අවසන්ය. ඉදිකිරීම් ඇරඹී තිබේ. ලෝකයේ ධන කුවේරයන් එහි ගෙන්වා ගැනීමට ප‍්‍රයත්නයක් ඇත. සුපිරි මහල් නිවාස ඉදිකර ඒවා ධනවතුන්ගේ පරිහරණයට වෙන්කරන තවත් යෝජනාවකි. ආයෝජකයන් කැඳවා ව්‍යාපාර හා කර්මාන්ත අරඹන පියවරක ද නිරතය. ඉදිරි දශකය තුළ ඉන්දියන් සාගර කලාපය තුළ විශාල පරිවර්තනයක් සිදුවනු ඇත. එක පැත්තකින් බෙල්ට් ඇන්ඩ් රෝඩ් චීන ව්‍යාපෘතියකි. එය සාගරය ඔස්සේ සේද මාවත නැවත බලගන්වන යෝධ වෑයමකි. අනෙක් පැත්තෙන් අමෙරිකාව හා ඉන්දියාව එකතුව බලවත් ආර්ථික යුගයකට යොමුවන සැලැස්මකය. ශ‍්‍රී ලංකාව අවස්ථා සහිත පරිසරයකට ඇතුළු වෙමින් සිටී.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අනුව මුහුද ගොඩකර හෙක්ටයාර් 269 ක් විශාල අලුත් භූමියක් රටට එකතු වෙයි. එය කොළඹ දිස්ත‍්‍රික්කයේ සම්පූර්ණ වපරිසය වන හෙක්ටයාර් 69,990 හා සසඳන විට සැලකිය යුතු ප‍්‍රමාණයකි. ශ‍්‍රී ලංකාවේ වාණිජ නගරය හා ආර්ථික කේන්ද්‍රස්ථානය වශයෙන් කොළඹ නගරයට හිමි අනන්‍යතාවයක් තිබේ. එහි යටිතල පහසුකම් ගැන අවබෝධයක් රටට ඇත. විදුලිය හෝ ජලය සැපයුම වෙනුවෙන් අලුත් පරිශ‍්‍රමයක නිරත විය යුතුව තිබේ. රට තුළ විදුලිය හිඟයකි. විදුලිබල මණ්ඩලය විශාල වශයෙන් පාඩු ලබන ආයතනයකි. මුහුද ගොඩකර තනන ලද වරාය නගරයට විදුලිය සපයන පියවර ගැන අවධානය යොමු කර තිබේද?

යටිතල පහසුකම් සැපයීම රටට අයත් වගකීමකි

කොළඹ වරාය නගරයේ පැවැත්ම ගැන මෙතැනින් ඔබ්බට අවධානය යොමු කළ යුතුය. ඉදිකරන සැලසුම අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ව්‍යාපෘතියකි. චීන කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම එයට මැදිහත් වී තිබේ. මුහුද ගොඩකර අලුත් ඉඩමක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අදහසකි. ඒ වෙනුවෙන් සියලු වියදම් දරන්නට චීන සමාගම එකඟ විය. එහෙත් ගිවිසුම අනුව යටිතල පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකීමකි. අප සාකච්ඡා කරන්නේ විදුලිය ගැනය. දැනට පළමුව ගණන් බලන පරිදි මෙගා වොට් 300ක විදුලිය ප‍්‍රමාණයක් අවශ්‍ය වෙතැයි සැලකේ. එය කෙළවරපිටියේ ඉදිකරන්නට යෝජිත ද්‍රව ගෑස් බලාගාරයේ සම්පූර්ණ විදුලිය නිපදවීමට සමානය. ප‍්‍රශ්නයක් තිබේ. එම බලාගාරය ඉදිකරන්නට යෝජනා කරන්නේ 2005 වසරේ සිට බව අමතක කළ යුතු නැත. තවමත් එවැනි බලාගාරයක් හැදෙන බවක් නැත. පළමුවෙන් ඉන්දියන් ආධාර යටතේ ගල්අඟුරු බලාගාරයක් සේ සැලසුම් කරන ලද නමුත් යහපාලන ආණ්ඩුව සැලැස්ම වෙනස් කළේය. තවමත් නිශ්චිත තීරණයක නැත. 
විදුලිබල මණ්ඩලයේ වාර්තා අනුව මෙරට විදුලිය නිෂ්පාදනය ගිගා වොට් 45.18 කි. එක බලාගාරයක් මගින් පැයකට නිපදවන විදුලිය ප‍්‍රමාණය අවුරුද්දකට ඇති පැය ගණන 8,760න් ගුණ කළ විට මෙම නිපදවන විදුලිය ඒකක ප‍්‍රමාණය ලැබේ. කෙසේ නමුත් දිනක උපරිම භාවිත කරන අවස්ථාවක විදුලිය පරිභෝජනය මෙගා වොට් 2,593.19 කි. මෙම විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සැපයීමට මණ්ඩලය වගබලා ගත යුතුය. දීර්ඝ නියඟයක් සහිත කාල වකවානුවලදී නිෂ්පාදනය සීමා වෙයි. හේතුව ජල විදුලිය අඩුවීමය. අනෙක හදිසි නඩත්තු කටයුතු වෙනුවෙන් තාප බලාගාර අක‍්‍රීය කිරීමක දී රටට විශාල ප‍්‍රශ්න ඇතිවෙයි. පසුගිය කාලයේ දී විදුලිය කප්පාදුව එහි ප‍්‍රතිඵලයකි. නිපදවන විදුලිය රට තුළ පවතින අවශ්‍යතා සඳහා ගලපාගන්නා තත්ත්වයක තිබිය දී අලුතින් කොළඹ වරාය නගරයෙන් ඇතිවිය හැකි ඉල්ලුම සපුරන වැඩපිළිවෙළක් තිබේද?

තවත් ප‍්‍රමාද වුවහොත් අවාසිය රටටය

කොළඹ වරාය නගරය මුල් සැලසුම අනුව ක‍්‍රියාත්මක වූවා නම් මාස තිස් නමයක් ඇතුළත මුහුද ගොඩකිරීම අවසන්ය. වරාය නගරයේ කටයුතු ඇරඹෙන්නේ 2014 අවුරැද්දේ සැප්තැම්බර් මැදය. එනම් 2017 දෙසැම්බර් වන විට ගොඩකිරීම් අවසන් කරන්නට සැලසුම් කර තිබුණි. ඉලක්කය අනුව ගමන් කළේ නම් අද වන විට අහස උසට ගොඩනැගිලි, ලෝකයේ සතර අතට විහිදෙන ව්‍යාපාර ජාල සහ සංචාරකයන් ආකර්ෂණය කරන අපූරු භූමියක් එහි තිබෙණු සැකයක් නැත. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ව්‍යාපෘතිය අත්හිටුවීය. ඡන්ද වේදිකාවේ දී කොළඹ වරාය නගරය රටට අහිතකර බවට මහා ඝෝෂාවක් කළේය. 2012 මැද අත්හිටුවන ලද ව්‍යාපෘතිය නැවත 2014 සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරිණි. කල්මරන ලද කාලය තුළ වන්දි ගෙවන්නට රටට සිදුවිය. අවාසිය තක්සේරැ කරන ලද අතර චීන සමාගමට අයිති වන බිම් ප‍්‍රමාණය නැංවීය.  

වරාය නගරයේ පොදු පහසුකම් සහිත කොටස්වල ඇතැම් අංශ දැන් සම්පූර්ණ වෙමින් තිබේ. උද්‍යාන ඉදිකිරීම එයින් එකකි. චීන සමාගමට අයත් කොටස අඛණ්ඩව කරගෙන යන අතර ශ‍්‍රී ලංකාවට අයත් ඉඩම්වල තැනෙන අවකාශය ගැන තවමත් අවසන් තීරණයක් නැත. කෙසේ වෙතත් පොදු පහසුකම් හා නීති බලගැන්වීම වෙනුවෙන් අණ පනත් සම්මත විය යුතුව තිබේ. මේවායෙන් සිදුවන ප‍්‍රමාදයක් වෙතොත් බලවත් හානියකි. අවාසිය ගණන් බලා නැවතත් ආණ්ඩුවෙන් කේවල් කරන්නට බැරිකමක් නැත. විදුලිය සපයන එකඟතාවයක් තිබියදී එය සම්පූර්ණයෙන් සම්පාදනය කරන්නට අපොහොසත් වුවහොත් කොළඹ වරාය නගර ඉදිකිරීම් භාර සමාගම් ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබේ. වගකිව යුතු අංශ මෙම පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත‍්‍රික්කයට යටත් කර තිබේ. වාර්තා දක්වන පරිදි ජලය හා විදුලිය සැපයුම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කළ යුතු වෙයි. උග‍්‍ර විනිමය හිඟයක සිටින රටට මෙවැනි මුදලක් යෙදවීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. දැනටමත් ආර්ථිකය දුබලය. ආනයන සීමා කර තිබේ. ණය පියවීම දුෂ්කර වී ඇත. ඉන්දියාවෙන් හා චීනයෙන් ණය ගන්නට සැලසුම් තිබේ. මෙසේ තිබියදී අලුත් ආයෝජන කරන වාසිදායක තැනක ශ‍්‍රී ලංකාව නැත. 

පාවෙන ජෙනරේටර් 

චීන කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම තමන්ට අයත් බිම් ප‍්‍රමාණය තුළ අලුත් ආයෝජනවලට සැලසුමක් හදා ඇත. අමෙරිකානු ඩොලර් බිලියන පහළොවක පමණ ආයෝජන කැඳවන්නට ඉලක්ක කර තිබේ. අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් වියදම් කර, සෑහෙන කාලයක් නාස්ති කරන ලද සමාගම ගොඩකරන ලද භූමියෙන් අවස්ථාවක් පාදාගත යුතුය. අමෙරිකානු ඩොලර් බිලියන 15ක අලුත් ව්‍යාපාර එහි කැඳවන්නට චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම සැලසුම් කිරීම එහි අරමුණ බව පැහැදිලිය. මුහුද ගොඩකරන්නට ප‍්‍රමාදවීමෙන් අවාසිය මුදල පමණක් නොවේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය ලෝක ආර්ථික රාමුව සහමුලින්ම ව්‍යාකූල කළේය. 2019 වසරේ අග භාගයේ වසංගත තත්ත්වය පැතිරෙන්නට කලින් ආයෝජන ගෙන්වා ගැනීමට හැකිවිණි නම් කොළඹ වරාය නගරයේ ස්වභාවය වෙනස්ය. දේශපාලන ගැටුම්වලින් අහිමි වූයේ ඉදිකරන කාලය පමණක් නොවේ. ආයෝජන අවස්ථාද ගිලිහී ගියේය. වරාය නගරය ඉදිකරන සමාගම එම ගිලිහී යෑම් සම්බන්ධයෙන් ද වන්දි ඉල්ලා සිටියහොත් රටට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය ඉතාම නරක එකක් විය හැකිය. 

එම අනතුරු ඇඟවීම කරන්නට සිදුවීම විදුලිය සැපයීම සමඟ සමපාත කළ යුතුය. නිසි ඉල්ලුම පවතින අවස්ථාවක කොළඹ වරාය නගරයට විදුලිය දෙන්නට ආණ්ඩුව අපොහොසත් වුවහොත් නැවත වතාවක් ප‍්‍රශ්න මතුවෙන්නට ඉඩ තිබේ. කල් තබා තීරණ ගැනීම වැඩදායකය. ශ‍්‍රී ලංකාව පසුවන ආර්ථික තත්ත්වය අනුව අලුත් ආයෝජනයකට ඉඩකඩ සීමිතය. ඉන්දීය ආයෝජනයක් යටතේ ද්‍රව ගෑස් බලාගාරය කවදා ඉදිකෙරෙන්නේ දැයි පැහැදිලි නැත. එසේ තිබියදී සූර්ය විදුලි බලාගාරයක් තැනීමට උතුරේ ඩෙල්ෆ් දූපත් චීනයට පවරන යෝජනාවක් තිබුණි. එහෙත් එම යෝජනාවට ඉන්දියාව හරස් වී තිබේ. චීන යෝජනාව වෙනුවට ඉන්දීය ආධාර සහිතව විදුලිය නිපදවන්නට සූදානමක් එරට බලධාරීහු යෝජනා කළහ. මෙම ව්‍යාපෘතිය පරිසර හිතකාමීය. සූර්ය හා සුළං යන හයිබී‍්‍රඩ් ක‍්‍රමයකි. කොතැනකින් හෝ යමක් සිදුනොවුණහොත් රටට අයහපතකි. සමහරවිට ලෝකයේ කොතැනකින් හෝ ගෙන්වන පාවෙන විදුලි බලාගාරවලින් දැවි තෙල් යොදා නිපදවන විදුලියෙන් වරාය නගරය ආලෝකවත් කරන්නට සිදුවුවහොත් එය රටට ඉතාම නරක පාරිසරික ප‍්‍රශ්න ඇති කරනු නිසැකය. 

අලුතින් ගොඩනගන පියවරට පුළුල් දර්ශනයක්

කොළඹ වරාය නගරය ගැන ශ‍්‍රී ලංකාවට ඇති අපේක්ෂා සෑහෙන විශාල එකකි. නිවැරදිව කළමනාකරණය කරගත හැකි වුවහොත් ආර්ථික වර්ධනයට ඉමහත් පිටිවහලකි. ඉදිරි පියවර ගැන පුළුල් දර්ශනයක් තිබිය යුතුය. මෙරටින් සම්පාදනය කළ යුතු ජලය, විදුලිය සහ ඇතැම් මංමාවත් ඉදිකිරීම ඉතා බාරධුර කටයුතුය. ඒවා සැලසුම් කිරීම පහසු නැත. අඩුම තරමින් කසළ කළමනාකරණය පවා අතිරේක බරක් බවට පත්වන්නට ඉඩ තිබේ. 

විදුලිය උත්පාදනය බෙදාහැරීම වෙනුවෙන් වෙනම අවධානය යොමු කිරීම සුදුසුය. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයකි. විදුලිය ගාස්තු වැඩි නොකර පාඩුවට පවත්වාගෙන යෑම පිටුපස මෙරට ජනතාවට සහනයක් සැපයීම එක ප‍්‍රධාන සාධකයකි. විදුලි ගාස්තු වැඩිකර පාඩු පියවා ගැනීමට හැකියාව තිබියදී පවා එයට ඉඩ නොදෙන්නට ආණ්ඩුව තීරණය කර ඇත. 2020 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රු. බිලියන 45 කි. මේවා නැවත මහා භාණ්ඩාගාරය පියවයි. අවසානයේ දී ජනතාව බදුවලින් පියැවිය යුතුය. අනාගතයේ දී කොළඹ වරාය නගරයට පාඩු පිට විදුලිය විකුණා මෙම අලාභය දෙගුණ තෙගුණ වුවහොත් එයින් සිදුවන අවාසිය බරපතළය. ජනතාව මත තවත් අතිරේක බරක් පැටවෙන්නට ඉඩ තිබේ. අනාගතය දෙස සලකා තීරණ ගත යුතු කාලයකි. කොළඹ වරාය නගරයට විදුලිය සැපයීමෙන් විදුලිය අර්බුදයක් මතු වුවහොත් රටට ප‍්‍රශ්නයකි. අඩුම වශයෙන් සාමාන්‍ය ජනතාවට සූර්ය කෝෂ භාවිතය ප‍්‍රචලිත කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ගෘහස්ත පරිභෝජනය සඳහා සූර්ය විදුලිය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණයක් සපයා තිබේ. වාණිජ බැංකු මගින් මෙම ණය නිකුත් කෙරේ. ඒවායේ තීරණ වේගවත් කළ යුතුය. බැංකු හා මහා භාණ්ඩාගාරය අතර සම්බන්ධතා නැංවුවහොත් සූර්ය විදුලිය වැඩිපුර භාවිත කරන අවස්ථාව ලැබේ. එය දිවා කාලයේ විදුලිය පරිහරණය සීමා කරන හේතුවකි. කවර හෝ ක‍්‍රමයකින් අලුත් ව්‍යුහයක් ඇති නොකළහොත් අවදානමක් පැන නැගෙනු නිසැකය. 

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03