පාරම්පරිකව පැවතෙන ඇදහිලි විශ්වාසවලින් ලබන මානසික සහනය මෙන්ම යහපත් ප්‍රතිඵල බොහෝය. ආගම දහම මුල්කොටගෙන සිදුකරන ශාන්තිකර්ම සියල්ල අවිහිංසාවාදීය. දියුණු යැයි කියන වර්තමාන සමාජයේ අවිද්‍යාව හා මිථ්‍යා විශ්වාසවල එල්බ සිටින්නෝද වෙති. නව තාක්ෂණය හරහා මුලු ලෝකයක් ඇඟිලි තුඩක රඳවා තිබියදී අවිද්‍යාව තුළ රැඳුණු ඇතැමුන්ගේ මිථ්‍යා විශ්වාස නිසා අසන්නට ලැබෙන අවාසනාවන්ත සිදුවීම් වෙයි.
මානසික ව්‍යාකූලත්වය අනවබෝධය හෝ නිසි තීරණ ගැනීමේ නොහැකියාව හේතුවෙන් ඇතැමුන් මිථ්‍යා මතවල එල්බ සිටිති. එවැනි විශ්වාසවලට ගරු කරමින් තවත් පිරිසක් හිංසාවට කෘෘරත්වයට පත් කිරීමට තරම් ඔවුන්ගේ මානසිකත්වය සැකසී පවතී. මිථ්‍යාවට මුවා වී සිදුකළ කෘෘරත්වය හේතුවෙන් මුස්ලිම් ජාතික දැරියක මියගිය අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා වාර්තා විය. හිත් සසල කළ එකී මරණය ගම්පහ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ සිදුව ඇත.
මේ අතර තවත් අමානුෂික ළමා හිංසනයක් පිළිබඳ සමාජ මාධ්‍ය කළඹන වීඩියෝ පටයක් සංසරණය වෙමින් පැවතිණි. තරුණ මවක විසින් සිය බිළිඳාට කෝටුවකින් පහර පිට පහර ගහන බවත් බැණ වදිමින් එක් අතකින් උස්සා ඇදගෙන යන ආකාරයත් දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනයකදී බිළිඳාට පහරදුන් සැකකාර 24 හැවිරිදි මව යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පහරකෑමට ලක්වූ බිළිඳාද එම නිවසේ සිටියදී පොලිස් බාරයට ගෙන තිබිණ.
දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී වේවැල් පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මොහොමඩ් ෆාතිමා රිෆ්කාන් (9) නැමැති දැරියකි. ඇය සිය මව සමග කඳුබොඩ ප්‍රදේශයේ කුලී නිවෙසක නවාතැන් ගෙන සිටියාය. මව සමඟ රාත්‍රියේ නින්දට යන දැරිය ඇතැම් දිනවලදී නින්දෙන් නැගිට ඇවිදීමටත් විටෙක කවි ගී ගායනා කිරීමත් සිදු කරන බවද මව විසින් පවසා ඇත. රාත්‍රියේ ඇසෙන දැරියගේ කටහඬ ඇගේ මියගිය මිත්තණියගේ හඬට සමාන යැයි දැරියගේ මව විසින් විශ්වාස කර තිබූ බවද පැවසිණි. මේ නිසා ඇය සිතා ඇත්තේ සිය දියණියට මියගිය මවගේ ආත්මය වැසී ඇති බවය. එම අමනුෂ්‍ය බලවේගය නිසා දියණිය නින්දෙන් අවදිවන බවද මේ මව සිතා ඇත.
දියණියගේ හැසිරීම සම්බන්ධයෙන් සිතමින් සිටි මව 38 හැවිරිදිය. ඇයට 9 හැවිරිදි දැරියට අමතරව වැඩිමහල් පුතෙක් හා දියණියක්ද සිටිති. නමුත් එම දෙදෙනා මව සමඟ ජීවත් නොවේ. පුත්‍රයා වෙනත් ප්‍රදේශයක සිට අධ්‍යාපනය ලබන බවද දැරිය තවත් තැනක විවාහයක් සිදුකරගෙන හෝ ඇති බවට පැවසේ.
දැරියගේ හැසිරීම පිළිබඳ සිතමින් සිටි මවට ප්‍රදේශයේ ශාන්තිකර්ම සිදුකරන කාන්තාවක පිළිබඳව ආරංචි වී ඇත. එම කාන්තාවද මුස්ලිම් ජාතික තැනැත්තියකි. ඇය මිනිසුන්ට ආරූඪ වී ඇතැයි කියන අමනුෂ්‍ය බලවේග පලවා හරින බවද මව දැනගෙන ඇත. ඒ අනුව සිය දියණිය ඇය වෙත කැඳවාගෙන යාමට මව අදහස් කොට තිබුණි. ශාන්තිකර්මය ආරම්භයට පෙර එය සිදුකරන කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රථමයෙන් දැරියට තෙල් සාත්තුවක් සිදුකළ යුතු බවය. අනතුරුව පහරදී බලවේගය පන්නා දැමිය හැකි බවය.
මේ ආකාරයට එම තැනැත්තිය දියණියගේ ශරීරය පුරා යම් තෙල් වර්ගයක් ආලේප කර ඇතැයි කියති. පසුව වේවැලක් ගෙන දැරියට පහරදී ඇත්තේ අමනුෂ්‍ය බලවේගය පන්නා දැමීමට බව කියමිනි. පළමුවරට මෙම යාතු කර්මය වෙනුවෙන් දැරිය ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 26 වැනිදා සවසය. මේ ආකාරයෙන් දින තුනක් පුරාවට දැරියට පහරදී ඇතැයිද එය සිදුකළ කාන්තාව විසින් දැරියගේ මව ලවාද වේවැලකින් දැරියට පහරදීමට උපදෙස් ලබාදී ඇතැයිද පැවසේ.
සිදුවීම හමුවේ නොනවත්වා හඬන දැරිය මට යක්කු වැහිලා නෑ. ගහන්න එපා යැයි ආයාචනා කළ බවද එය නොතකා පහර පිට පහර දී ඇතැයිද කියැවිණි. එක දිගට හැඬූ දැරියකගේ ශබ්දය නිසා අසල්වැසි නිවෙසක පුද්ගලයකු පොලිස් හදිසි ඇමතුම් අංශයේ අංක 119 වෙත දැනුම් දී තිබිණ. ඊට ක්‍රියාත්මක වූ මීගහවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් කඳුබොඩ ප්‍රදේශයේ සැකසහිත ස්ථානය වෙත ගොස් තිබේ.
ඒ වනවිටත් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දැරිය බියගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට අසල්වැසියෝ පියවර ගත්හ. අදාළ නිවසේ තිබියදී කැඩී ගිය වේවැල් කොටස් කිහිපයක් හමුව තිබෙන අතර ඒවා දැරියට පහරදීමට භාවිත කළ ඒවාය. එම කොටස් පොලිස් බාරයට ගැනුණේ නඩු භාණ්ඩ වශයෙනි. ඊට අමතරව ශාන්තිකර්මය සිදුකළ බව කියන කාන්තාව දැරියගේ මව ඇතුළු හය දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. මේ අතරතුර රෝහල් ගතකළ දැරිය ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍ය කාර්ය මණ්ඩලය දන්වා තිබුණි. දැරියගේ මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පැවැත්විය. මේ අතර ශාන්තිකර්මය කළ බව කියන කාන්තාවගේ ක්‍රියාව නිසා තවත් දරු දැරියන් අගතියට පත්ව ඇතිදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකය.
මෙම දැරියගේ මව හා පියා ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සිය සැමියා හැරදමා බියගම ප්‍රදේශයට පැමිණ කුලී නිවෙසක ජීවත්ව ඇති කාන්තාව පවසා ඇත්තේ තමා සැමියාගෙන් වෙන්වී වසරක් පමණ ගතවන බවය. එහෙත් සැමියා කියා ඇත්තේ තමා බිරියගෙන් නීතියෙන් වෙන්වී නැති බවය. පවුල් ආරවුලක් හේතුවෙන් එසේ ජීවත් වූ කාන්තාවට මානසික වෛද්‍ය පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතය. සිදුවීමට සම්බන්ධ කාන්තාවන් දෙන්නා මහර අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත. දැරියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සිරුර පියාට බාරදීමට තීරණය කෙරිණ.
සමාජ මාධ්‍ය හරහා කුඩා බිළිඳකුට පහරදෙන දර්ශනය යාපනය අරියාලේ ප්‍රදේශයේ සිදුවීමකි. එම දරුවාට මාස 9කි. සිරුර පුරා තුවාල ඇතැයි කියන බිළිඳාගේ මව 24 හැවිරිදිය. 2019 වසරේ කුවේට් රාජ්‍යයේ සේවයට ගිය ඇය එහිදී ඉන්දීය ජාතිකයකු හා ඇසුරක් පවත්වා ඇත. බිළිඳාගේ පියා ඔහුය. දැරිය උපන් පසු ලංකාවට පැමිණි ඇයට නිවැසියන් දෝෂාරෝපණය කර ඇත්තේ පියා නොමැති දරුවකු රුගෙන ඒම පිළිබඳවය.
එසේ බැණ වැදීම හේතුවෙන් ඇතිවූ ආතතිය නිසා දරුවාට පහරදුන් බව ඇය ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම පටිගක කර ඇත්තේ ඇගේ සොහොයුරාය. නිවැසියන් ඉදිරියේ පහරදෙන වීඩියෝ දර්ශනය අමානුෂිකය. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ බිළිඳා පොලිස් බාරයට ගැනිණි. බිළිඳා අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර මව මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ.
හිංසාවාදී ක්‍රියා හෙළා දකිනවා
ජාතික ළමාරක්ෂක අධිකාරිෙය් සභාපති මුදිත විදානපතිරණ
සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මිනිසුන් ඒවායෙන් ලේසියෙන් මිදෙන්නේ නෑ. යාගහෝම, යාඥා, ශාන්තිකර්ම මේ ආදී වශයෙන් එවැනි දේ පවතිනවා. මේ බොහොමයක් ඒවා අවිහිංසාවාදී දේවල්. මේවාගෙන් වාසියක් ප්‍රයෝජනයක් ඇතිවෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. පසුගියදා දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම හිංසාවාදී ක්‍රමයක්. යක් බෙරය ගහලා ශාන්තිකර්ම කරනවා දැකලා තිබෙනවා. නමුත් එතැනදී ආතුරයාට පහර දෙන්නෙ නෑ. මෙවැනි ක්‍රමවලින් යම් මානසික සහනයක් හෝ ලැබෙනවා වෙන්න පුළුවන්. මේ නිසා අපි හිතනවා පාරම්පරික ක්‍රම හොඳයි සහ ඒවායෙන් ප්‍රයෝජනයක් ඇති කියා. ඒ වගේම මේ විදිහට වාර්තා වන හිංසාවාදී ක්‍රියා හෙළා දකිනවා. මේ වගේ සිදුවීම් කෘෘරත්වය මුල්කරගෙන කරන බව පේනවා. කෘෘරත්වයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 308 ඒ වගන්තිය ප්‍රකාරව අවුරුදු 2 සිට 10 දක්වා සිරදඬුවම් නියම කළ හැකියි. මේත් එක්කම යාපනය අරියාලෙයි ප්‍රදේශයේ මවක සිය කුඩා දරුවාට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒකට හේතුව දරැවාගේ මව හා පියා අතර වූ පවුල් ආරවුලක් බව කියවෙනවා. එවැනි ආරවුල් නිසා වැඩිහිටියෝ කෘෘර තීරණ ගන්නවා. දරුවෝ තීරණ ගන්න වයසේ අය නොවේ. ඔවුන්ට එවැනි ශක්තියක් නෑ. මෙවැනි සිදුවීම් වාර්තා වුණාම එම දරුවන් පොලිසිය බාරයට ගන්නවා. රෝහල් ගතකරනවා. අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ හෝ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු කරනවා. අනතුරුව සුදුසු බාරකරැවකු වෙත දරුවන් බාර කරනවා. ඒ සඳහා සිද්ධි සමාලෝචන වැඩසටහනක් සිදුකරනවා. නැවත දරුවාගේ මවට පියාට බාරදීමට නොහැකි නම් සුදුසු ළඟම ඥාතීන්ට බාරදෙනවා. නැතිනම් ළමා නිවාසයක් වෙත යොමුකිරීමට අවශ්‍ය පියවර ගන්නවා.
සමන්ත ප්‍රදීප් විල්තෙර