2021 මාර්තු 06 වන සෙනසුරාදා

ජිනීවා කොමිසමේ ලංකාව එක්ක සිටගන්නා රටවල්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පසුගිය පෙබරවාරි 22 දින ජිනීවා නුවරදී ආරම්භ විය. එහිදී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති වාර්තාවේ අන්තර්ගත නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කවුන්සිලයට පසුගිය පෙබරවාරි 24 දින දැනුම් දී තිබිණි.

මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සංවාදයට ගැනුණේ එදිනය. එහිදී සැසිය අමතමින් මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ 2015 දී ලබාදුන් වගවීම් පසෙකලා වත්මන් ආණ්ඩුවද පෙර පැවැති ආණ්ඩුව මෙන්ම සත්‍යය සෙවීම හා වගවීම සම්බන්ධයෙන් අව්‍යාජව කටයුතු කර නොමැති බවයි. “20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම හා අනෙකුත් ප්‍රධාන ආයතනවල බලය අවම කිරීමට කටයුතු කර තිබේ. සිවිල් කටයුතු සඳහා හමුදාමය මැදිහත්වීම ඉහළ ගොස් ඇති අතර එමගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආක්‍රමණය කරමින් සිටී. කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් සුළු ජාතීන්වන මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවට වේදනාවක් හා පීඩනයක් ඇතිවී තිබේ.යැයි” ඇය එහිදී ප්‍රකාශ කළාය.

එයට පිළිතුරැ දුන් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ වරම පුළුල් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මගින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත”. යන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් කතා කළ විදේශ ඇමැතිවරයා, 

“නිර්දේශ සහ නිගමන සම්බන්ධයෙන් මතුවී ඇති ගමන් මඟ, ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමන, ඔවුන්ගේ දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරයි. වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී ඇත. මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

විශේෂයෙන් එක්සත් ජාතීන් හා එහි යාන්ත්‍රණයන් සමඟ නිරතුරුව හා ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් කල, වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සහ එක් එක් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන ඉල්ලීම්, මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ දක්වා ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති සහ ඒවායින් සමහරක් වසර තිහක් තිස්සේ නිකුත් නොකොට රඳවා ගෙන ඇති සාක්ෂි මත පදනම් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගත යුතු පැහැදිලි හා සුවිශේෂී අනතුරක් පෙන්වා දෙයි. ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියා පිළිගත නොහැකි අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි.

පසුගිය මාර්තු මාසයේ සිට ලබා ඇති ප්‍රගතියට අමතරව, වාර්තාවේ අඩංගු වැරදි තොරතුරු, වැරදි වැටහීම් සහ අත්තනෝමතික තක්සේරු කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව ලිඛිත අදහස් දැක්වීම් ලබා දී ඇත. ඒ පිළිබඳව පෙර නොවූ විරූ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟින්, මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ එම වාර්තාව පිළිබඳ අපගේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි. මෙමඟින් වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ අදහස් සම්බන්ධයෙන් සමාන දෘශ්‍යතාවක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට සහ සාමාජික රටවලට අහිමි වී ඇත.

මීට පෙර මෙම කවුන්සිලය වෙත පැහැදිලි කරන ලද හේතු මත ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වගවීම පිළිබඳ විශේෂඥ කමිටුවේ අතිශය විවාදාත්මක වාර්තාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව තුළින් ප්‍රතිනිෂ්පාදනය කර ඇති මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. ඉහත මතභේදාත්මක වාර්තාවලින් උකහා ගත් මෙම වාර්තාවේ අන්තර්ගතය, ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය විසින් සිදුකරන ලද හිංසාවන්, රටේ භෞමික අඛණ්ඩතාව සහ අපේ ජනතාවගේ ජීවන අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගෙන ඇති නීත්‍යානුකූල පියවර සමඟ සමාන කොට දක්වන සාවද්‍ය කරුණුවලින් පිරී තිබේ. මෙම කවුන්සිලය සහ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය තිබියදීත්, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරයෙන් පාලනය කරනු ලබන උපදෙස් පිළිබඳව අවධාරණය කිරීම, අභියෝග රැසක් ඇති කළ හැකි අතර එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් විය හැකිය.

දේශපාලන අභිප්‍රේරණයන් විසින් මෙහෙයවනු ලැබ, මෙම කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙමු. මෙම වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් මෙම කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.” යනුවෙන් ප්‍රකාශ කළේය.. 

ජගත් මානව හිමිකම් කවුන්සිලය රටවල් 47කින් සමන්විතය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පරාජය කිරීම සඳහා මානව හිමිකම් කවුසිලයේ සාමාජිකත්වය දරන රටවල් 47න් 24ක සහය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එම වාර්තාව සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා පැවැති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල්  38ක් සිය නිල ස්ථාවරය  පැහැදිලි  කළ අතර ඉන් රටවල්  21ක නියෝජිතයන් ශ්‍රී ලංකාවට පක්ෂපාතී ලෙස තම මතය ප්‍රකාශ කර තිබිණි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ, කැනඩාව, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කළේය.

එක්සත් රාජධනියේ නියෝජිතයා වූ තාරික් අහමඩ් කියා සිටියේ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවයි. එමෙන්ම දේශීය වශයෙන් ආරම්භ කළ යාන්ත්‍රණයන් සියල්ල ඉටු කිරීමට අසමත්ව ඇති බවද ඔහු පැවසූ අතර, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ඩැනියෙල් ක්‍රොනෙන්ෆෙල්ඩ් කියා සිටියේ  ශ්‍රී ලංකාවේ සුළු ජාතික ජනකොටස් කොන්වීමේ තත්ත්වයක් පිළිබඳ වාර්තා  සහ නිදහස් මාධ්‍ය ඇතුළු සිවිල් සමාජයේ අවකාශය සීමා වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් තමන් පියවර ගන්නා බවයි. යුද සමයේ විවිධ චෝදනාවලට ලක්වූ හමුදා නිලධාරින් ඉහළ තනතුරුවලට පත් කර ඇතැයිද,. ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය සහ ආරක්ෂාව සඳහා  වගවීමේ සහ යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ මනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවද පැවසූ ඔහු මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් තමන් එකඟ වන අතර  වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලයක් හා ක්‍රමෝපායික සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද සඳහන් කළේය.

ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව පෙනිණි.. ජපන් නියෝජිත කෙන් ඔකිනාවා කියා සිටියේ ශ්‍රී ලංකාව සියලු පුරවැසියන් සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිසංවිධාන හා සුබසාධන ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. එමෙන්ම මෙතෙක් විමර්ශනයට බඳුන් නොවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් හා මානව හිමිකම් පිළිබඳව ඇති සීමා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන විසඳුම් ලබා දීමද වැදගත් බව ඔහු සඳහන් කළේය.

ඉන්දීය නියෝජිතයා වූයේ ඉන්ද්‍රා මානී පාණ්ඩේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය හා භෞමික අඛණ්ඩතාව සහ දෙමළ ජනයාගේ සමානාත්මතාව, යුක්තිය, සාමය හා අභිමානය යන අභිලාෂයන් මත කැපවීම  යන කරුණු දෙක මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය ස්ථාවරය රඳා පවතින බවයි. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවට පක්ෂව චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව,  ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුළු රටවල් 21ක නියෝජිතයෝ  මහාකොමසාරිස්වරියගේ වාර්තාවට ප්‍රතිපක්ෂව තම අදහස් ප්‍රකාශ කළහ. චීන නියෝජිත චෙන් ෂූ කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම සහ ඇතැම් රටවලට වෙනස් ආකාරයෙක් සැලකීමත්, මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම සම්බන්ධයෙන් තම රට විරුද්ධ වන බවයි. එමෙන්ම ඇමෙරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල්  නිසි සාක්ෂිවලින් තොරව සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

පාකිස්ථාන නියෝජිත තහීර් අන්ද්‍රාබි ද ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය සහ සමාජ ආර්ථික වශයෙන් ඔවුන් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය අප අගයකරනවා. බහු වාර්ගික පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයේ බහුවාර්ගික නියෝජනය එය සනාථ කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති ධනාත්මක කරුණු මහකොමසාරිස්වරියගේ වාර්තාව සහ කවුන්සිලය මගින් පිළිගත යුතු බව මගේ හැඟීමයි. යනුවෙනි.
මැදිහත් ප්‍රතිපත්තියක සිටි ඉන්දියාව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මෙම අවස්ථාවේ ඉන්දියාව අසාධාරණය ඇති පැත්තට නොයනු ඇති බවට තමා විශ්වාස කරන බැව් පැවසීය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා