2021 මාර්තු 06 වන සෙනසුරාදා

සේවයෙන් ඉවත් කළොත් වන්දිය ලක්ෂ 25යි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 487

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගියදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් අනුව මෙයට පෙර සේවය අවසන් කරන පෞද්ගලික අංශ සේවකයකු වෙනුවෙන් ගෙවූ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසේ (12,50,000) වන්දි මුදල ලක්ෂ 25 දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබේ. මෙම සහනය අර්ධ රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා බලපැවැත්වෙන බව ගැසට් නිවේදනයේ දැක්වේ.

1971 අංක 25 දරන කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව 2005 වසරේ ප්‍රකාශයට පත්කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙම වන්දි මුදල සංශෝධනය කර ඇති බව ගැසට් පත්‍රයේ සඳහන්ය.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ කම්කරු ජනතාවට සහන සැලසීමේ පරමාර්ථය පෙරදැරිව මෙතෙක් පැවති වන්දි මුදල වන රුපියල් 12,50,000 රැපියල් ලක්ෂ 25 දක්වා වැඩිකර ඇති බවය. මෙම වැඩිකිරීම සිදුකළේ වසර 15කට පසුව බවද ඇමැතිවරයා අවධාරණය කළ අතර, වර්තමානයේ රැකියාව අහිමිවන පෞද්ගලික අංශයේ සේවකයකුට මේ රුපියල් 12,50,000 මුදල ඔහුගේ ඉදිරි ජීවිතය පවත්වාගෙන යාම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද පැවසීය. අද පවතින ජීවන වියදම අනුව පවුලේ වියදම සඳහා වුවද එම මුදල ප්‍රමාණවත් නොවන බවට විවිධ සේවක සංවිධාන සහ වෘත්තීය සමිති පෙන්වා දුන් කරුණු පිළිගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

සේවයෙන් ඉවත්වන පෞද්ගලික අංශයේ සේවකයන්ට තමා කළ සේවයට ලැබෙන එකම වන්දිය මෙය වන අතර රාජ්‍ය සේවකයන්ට මෙන් මාසිකව විශ්‍රාම වැටුප් මුදලක් එම සේවකයන්ට නොලැබෙන බවද සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මෙම ගැටලුව නිරාකරණය කිරීමට අවස්ථාවක් ලැබීම වර්තමාන රජය ලැබූ ජයග්‍රහණයක් බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම පෙබරවාරි 19 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වන්දි ගෙවීම සිදුවන බව කම්කරැ කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

ඔහු කියන්නේ මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව හැම හාම්පුතෙකුම සේවයෙන් ඉවත්වන සේවකයකු වෙනුවෙන් උපරිමව ලක්ෂ 25ක වන්දියක් ගෙවීමට බැඳී සිටින බවය. ආයතනය වැසීම නිසා හෝ සේවක අතිරික්තය අඩුකිරීමේ පරමාර්ථයෙන් වුවද සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සිදුවේ. මෙතෙක් මෙම වන්දි ගෙවීමේ ක්‍රමයේ කිසිදු සමරූපීතාවක් නොතිබුණු අතර විවිධ හේතු සහ හාම්පුතාගේ රුචි අරුචිකම් අනුව මෙම වන්දිය වෙනස්වීමට ඉඩ තිබුණි. එහෙත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ විට 1971 අංක 25 දරන කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ පනත අනුව 2005 නියත කළ වන්දි සූත්‍රයට අනුව මෙලෙස වන්දි මුදල වැඩිකර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අපි නම් දන්නෙ නෑ

මේ පිළිබඳ විමසීමේදී ප්‍රකට ව්‍යාපාරිකයකු වන ලංකා හෝටල් සමාගමේ සභාපති සනත් උක්වත්ත ප්‍රකාශ කළේ මෙලෙස වන්දි ගෙවීම වැඩිකිරීම පිළිබඳ හාම්පුතුන් වන තමන් දැනුවත් කර නොමැති බවය. තමන් සහ හාම්පුතුන් මෙයට එකඟ නොවන අතර කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බවද ඔහු අවධාරණය කළේය.

“මෙය ආණ්ඩුව සේවක වෘත්තීය සමිති සමග එකතුවෙලා ගත් ඒකපාර්ශ්වීය තීරණයක්. අපි මේ ගැන කිසිවක් දන්නේ නැහැ. ඒ පිළිබඳ ඉදිරියේදී සොයා බලනවා. එපමණක් නොව පසුගිය අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස 60 දක්වා වැඩිකිරීමට ගත් තීරණයද එවැනි ඒක පාර්ශ්වික තීරණයක්. අපෙන් විමසුවේ නැහැ. තරුණ ශ්‍රමය ඇති තරම් තිබියදී මෙලෙස වැඩි වයස් අය තවදුරටත් තබාගැනීම සුදුසු නැහැ. එයින් නිෂ්පාදනයටද අහිතකර බලපෑමක් වෙනවා.”

අවුරුදු 15ක් යටපත් වූ අයිතිවාසිකම් ලැබුණා
ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩී.ඩබ්ලිව්. සුබසිංහ:

“අවුරුදු ගණනක් යටපත් වෙලා තිබුණු අපේ අයිතිවාසිකමක් ලබාගැනීමට හැකිවීම සතුටට කරුණක්. මෙය ඉටුකර දීම ගැන වර්තමාන රජයේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ස්තූතිවන්ත විය යුතුයි. මෙයට කලින් වන්දි සූත්‍රයක් ක්‍රියාත්මකව තිබුණා. 2005 දී සේවය අවසන් කිරීමේ පනත ප්‍රකාරව මාස කීයක වන්දියක් සේවය අනුව ගෙවනවාද යන්න එම ගැසැට්ටුවේ සඳහන් වුණා. මාස 5,10,15,20,30 ආදී වශයෙන් සේවා කාලය අනුව සේවකයකුට ගෙවිය යුතු වන්දි මුදල තීරණය වන බව එහි සඳහන් වුණා. එහෙත් ඒ ගැසට්ටුවේ යට සඳහන්ව තිබුණා ගෙවන වන්දි මුදලේ උපරිමය මිලියන 1.25ක් බවට. මෙහිදී දිගු කාලයක් සේවය කර නිදහස්ව යන සේවකයන්ට විශාල අසාධාරණයක් වුණා. වසර 15කට වැඩි කාලයක් ගියත් මෙම සංශෝධන සිදුව තිබුණේ නැහැ.

අපේ සංගමය 2012 දී මේ පිළිබඳ කරුණු පැහැදිලි කරලා පිටු 16ක ලිපියක් අමාත්‍යංශයට යැව්වා. දිගින් දිගටම හාම්පුතුන් මෙයට එරෙහිවීම නිසා වසර 15ක් තිස්සේ මෙය යටවෙලයි තිබුණෙ. 2013 දී අමාත්‍යංශයෙන් මේ ගැන නිරීක්ෂණය කර වාර්තා කිරීමට කමිටුවක් පත්කළත් එයත් හරියට රැස්වුණේ නැහැ. මේ පිළිබඳ එවකට සිටි ඇමැතිවරුන් සහ නිලධාරීන් උනන්දු වුණේ නැහැ. ඒ නිසා අප නිතරම බලපෑම් කළා.

ආණ්ඩු වෙනසින් පසු 2020දී මේ ගැන යළිත් සලකා බැලුණා. ඒ කාලයේ හිටපු ලේකම් ඩබ්ලිව්.ජේ. විජේවීරද තනතුරෙන් ඉවත්ව ගිය අතර අලුත් ලේකම්වරයකු සමඟ මේ ගැන සාකච්ඡා කළා. මේ වනවිට සේවක වැටුපද දෙගුණයක් වී ඇති නිසා මෙම වන්දි මුදලද දෙගුණ විය යුතු බවට අප ඉල්ලා සිටියා. එය පිළිගෙන මෙතරම් හෝ සහනයක් ලබාදීම අගය කළ යුතුයි. ජීවිතයේ වැඩි කාලයක් ශ්‍රම සූරාකෑමකට ලක්වන ශ්‍රමිකයාට ලැබුණු මෙම වරප්‍රසාදය වැදගත්.

පරණ පනත කම්කරුවන්ට අසාධාරණයක්
ලලිතා රංජනී - නිමි භාණ්ඩ ඇඟලුම් සහ රෙදිපිළි සේවක සංගමය:

අප සංගමයේ සාමාජිකයන් 1400කින් පමණ යුක්ත වූ ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තවලට සම්බන්ධ සේවකයන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිතියක්. අප මේ පිළිබඳ ප්‍රධානතම සේවක වෘත්තීය සමිති රැසක් සමඟ එකතු වී වැඩ කළා. “වැඩකරන ජන බලය” යනුවෙන් වෘත්තීය සමිති රැසක් එකතු වී පිහිටුවා ගත් ශක්තිමත් සංවිධානයකින් අවශ්‍ය කම්කරු අයිතීන් උදෙසා සටන් කරනවා.

මුල් කාලවල සේවකයන්ට කිසිදු වන්දියක් නොමැතිව රැකියාවලින් ඉවත් වෙන්න සිදුවුණා. පසුගිය කොවිඩ් වසංගත සමයේ වැසී ගිය කම්හල්වල සේවකයන්ට කිසිම අයිතිවාසිකමක් ලැබුණේ නැහැ. ඇතැම් අයගේ වැටුප බාගෙට බාගයක් බැස්සුවා. තව අයට සම්පූර්ණයෙන්ම වැටුප් නොගෙවීම නිසා රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවුණා. සතයක්වත් වන්දියක් හෝ පාරිතෝෂික දීමනාවක් හෝ ලැබුණේ නැහැ. ඇතැම් හාම්පුතුන් කොවිඩ් දඩමීමා කරගෙන සේවකයන් නෙරපුවා. අවුරුදු 25-30 රැකියා කරලා නවතින්න සිදුවූ සේවකයන්ටත් ලැබුණේ රුපියල් ලක්ෂ 12 ½කට අඩු වන්දියක් පමණයි. කීයක්වත් නොලැබුණු අයත් ඉන්නවා.

අපේ රටේ ශ්‍රම සම්පතේ වැදගත්කම දෙවැනි කොවිඩ් රැල්ලේදී වගකිවයුත්තන්ට වැටහුණා. කම්කරුවන් එකාවන්ව වැඩකළේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි. අපේ වෘත්තීය සමිති තනිවම මෙන්ම සෙසු සමිති සමඟ එකමුතුව සටන් කළා. මෙරට කම්කරුවන්ගෙන් අපහසු අවස්ථාවේ ලැබුණ සහාය සලකලා යම් යම් වෙනස් කිරීම් සිදුකිරීමට වගකිවයුත්තන් උනන්දුවක් දක්වා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමා අවුරුදු 15ක් යටගිහින් තිබූ මෙම වන්දි ගෙවීමේ සූත්‍රයේ වෙනසක් සිදුකළේ.

2005දී සියලු කම්කරු පනත් එකට අරගෙන තනි කම්කරු පනතක් තැනුවා. එයින් සිදුවූයේ කම්කරුවන්ට අසාධාරණයක්. ඒ මොකද සියලු අතින් සම කරන්න යාම නිසා ඇතැම් ශ්‍රේණිවල සේවකයන්ට තමන් මුලින් ලැබූ අයිතිවාසිකම් නොලැබී යාම සිදුව තිබෙන නිසා ඒ පිළිබඳ යළි සලකා බැලිය යුතු වෙනවා.

මේ වන්දි සූත්‍රය අවශ්‍ය නෑ

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ මේ වන්දිය ඉහළ නැංවීම තුළින් වැඩිපුර ප්‍රතිලාභ හිමිවන්නේ කුඩා වැටුපක් ලබන, අඩු සේවා කාලයක් ඇති සේවකයන්ට පමණක් බවය. ඔහුගේ අදහස වන්නේ වැඩි වැටුප් ලබන සේවකයන්ට මෙයින් හානියක් ඇතිවන්නේය යන්නය. ඒ තත්ත්වය වෙනස් කරන ලෙස ඉල්ලූ බව ඔහු කියයි.

“2005 දක්වා මෙවැනි වන්දි සූත්‍රයක් තිබුණේ නැහැ. ඉවත් කරන අයට හිමිවන වන්දි ප්‍රමාණය තීරණය කිරීමේ බලය තිබුණේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාටයි. එහිදී සේවකයා ලැබූ වැටුප සහ සේවා කාලය සලකා බැලුවා. 2005 දී වන්දි සූත්‍රය ගෙනාවේ හාම්පුතුන්ගේ ඉල්ලීම මතයි. එහිදී අපේ සංගම් එයට විරුද්ධ වුණා. එනිසා ප්‍රතිඥාවක් දුන්නා වන්දි සූත්‍රය අනුව ගෙවීමට අමතරව රැකියා අහිමිවූවන්ට රක්ෂණ දීමනාවක් දෙන බවට. එහෙත් එය සිදුවූයේ නැහැ.

මෙයින් ප්‍රතිලාභ ලැබෙන්නේ පොඩි වැටුප් ලබන අයට විතරයි. ඒ අයගේ වැටුප අඩු නිසා මෙයට පෙර තිබූ ගණනය කිරීම අනුව ඒ අයට කොමසාරිස් ජනරාල්ගේ තීරණය අනුව අඩු වන්දියක් ලැබුණා. එවැනි අයට මෙම වන්දි සූත්‍රය හා දැන් එය ද්විගුණ කිරීම නිසා වැඩි වාසියක් අත්වෙනවා. කෙසේ වුවත් වන්දි ගෙවීමේදී ගණන් ගන්නේ සේවා කාලය අවුරැදු 48 දක්වා පමණයි. මෙම ගැසට් නිවේදනය අනුව කුඩා ආයතන සහ විශාල බහුජාතික සමාගම් පවා ගෙවිය යුත්තේ එකම අනුපාතයටයි. එය විශාල ආයතනවලට වාසියක්.

අපි කියන්නේ මෙම වන්දි සූත්‍රය අවශ්‍ය නැහැ කියලයි. ඒ නිසා මුලින් තිබූ ආකාරයට සේවයෙන් ඉවත් වී යන සේවකයන්ට වන්දි ගෙවීමට තීරණය කිරීමේ බලය පෙර පැවැතියා සේ කම්කරු කොමසාරිස් ජනරාල්ට දෙන්න කියල අපි ඉල්ලන්නේ එවිට ඔහුට පුළුවන් එම ආයතනවල ස්වභාවය ගැන සලකා බලලා විශාල බහුජාතික සමාගම්වල සේවකයන්ට ලොකු වන්දි මුදලක් නියම කරන්න. එහෙම කළොත් තමා සේවකයන්ට සාධාරණය ඉටුවෙන්නේ.

 යසවර්ධන රුද්රිගු