2021 මාර්තු 06 වන සෙනසුරාදා

ඉරණතිව් දූපතත් කැළඹු භූමදාන අලකලංචිය!

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

කොරෝනා ආසාදිතව මියයන ඇතැම් පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන් භූමදානය කළ යුතුම වූ බවට දින 330කට අධික කාලයක් රට තුළ පැවති ආන්දෝලනාත්මක ඝෝෂාවට තිත තියන්නට සාධාරණ පිළියමක් ඉදිරිපත් කළද එය දැන් අලුත් විරෝධතා මගකට පිවිස හමාරය. රට තුළ අන්තවාදී විරෝධතා රුල්ලකටත් ජාත්‍යන්තරය තුළ රටේ ප්‍රතිරෑපය කෙළසන අභූත ප්‍රචාරයකටත් හේතූ වූ මිනී වළදැමීමට බල කෙරෙන උද්ඝෝෂණය දැන් මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් පන්නයට සුපුරුදු ආකාරයේ අලුත් ප්‍රවණතාවක් මතුකර තිබේ. එහි අලුත්ම ගෝරණාඩුව නැගෙන්නේ ඉරණතිව් දූපත සම්බන්ධයෙනි.

කොවිඩ් මරණ ආදාහනය පිළිබඳව දිගින් දිගටම නැගී ආ විරෝධය හමුවේ වඩාත් නම්‍යශීලී බවක් පෙන්වූ රජය ඉකුත් සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්  කොවිඩ්-19 මරණ භුමදානයට අවශ්‍ය අයට ඒ සඳහා අවසර ලබා දුන්නේය.‍ ඒ අනුව දැන් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය හෝ භුමදානය යන දෙකෙන් ඕනෑම එකක් සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධානවලට අනුකූලව සිදු කළ හැකිය.

භූමදානයම පමණක් ඉල්ලා සිටින අයට ඒ සඳහා ඉරණතිව් දූපතෙහි ඉඩ සලසා දීමට සැලසුම් ඉදිරිපත්ව තිබේ. ඉරණතිව්හි දේහය තැන්පත් කිරීමට අවශ්‍ය අය ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන්ද මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත්ව හමාරය. ඒ අනුව කොවිඩ් මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සඳහා ප්‍රවාහනය කිරීමේදී සහ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ දක්වා තිබේ.

නමුත් මේ තීරණයත් සමඟම කොරෝනා මෘතදේහ ඉරණතිව්හි භූමදානයට විරුද්ධව විරෝධතා මතුව ආවේය. එක් විරෝධයක් ඉරණතිව් ආශ්‍රිත වැසියන්ගෙනි. අනෙක් විරෝධය බොරදියේ මාළුන් සොයා ඉව අල්ලන්ගෙනි.

පසුගියදා විරෝධයක නිරත වූ ඉරණතිව් ආශ්‍රිත ඉරණමාතා නගර් ප්‍රදේශයේ වැසියෝ  තමන්ගේ ප්‍රදේශයට කොවිඩ්-19 බලහත්කාරයෙන් ගෙන ඒමට තැත් කිරීමක් ලෙස මෙය දකිති.

මේ අය චෝදනා නගන්නේ මෙතෙක් කොවිඩ් වසංගතයෙන් බේරී ඇති බිම්කඩක් වන ඉරණතිව් දූපත මේ භූමදාන කටයුත්තත් සමඟ දූෂණයට ලක්ව වසංගතයේ ගොදුරක් බවට පත්වන බවටය. යුද්ධයෙන් පසුව 2017 වසරේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මේ වන විට නැවත පදිංචි පවුල් 108කට අයත් පුද්ගලයන් 335 දෙනෙක් මෙහි ජීවත්ව සිටිති. එහි සිටින කිසිදු වැසියකු මේ වන තුරුත් කොරෝනා ආසාදිත හෝ එහි ආශ්‍රිතයන්ගේ බලපෑමකට ලක්ව හෝ නොමැත. එවන් අවස්ථාවක කොරෝනා සිරුරු මෙම දූපතේ වළදැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බැවින් කොරෝනා සිරුරු එම දූපතේ වළදැමීමේ තීරණය වහාම නතර කළ යුතු බවට මේ ප්‍රදේශයේ උද්ඝෝෂණ පැතිර ගියේය.

මේ සමඟම ඉරණතිව් දූපතෙහි තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවහොත්  පුත්තලම, ඕට්ටමාවඩි සහ මන්නාරම ඇතුළු තවත් ස්ථාන 06 ක් මේ සඳහා සුදුසුදැයි පරීක්ෂා කර බැලීමටද රජය කටයුතු අරඹා තිබුණි. මෙම ප්‍රදේශ මෙරට භූගත ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

නමුත් දැන් කොවිඩ් සිරුරු වළදැමීම නිසා ඒ අවට භූගත ජල මූලාශ්‍රවලට හානියක් නොවන බවට කෑමොර දෙමින් සිය උදවියගේ සිරුරු වළදමන්නටම ඕනෑ යැයි ඉල්ලූ  ෂයිලොක් පන්නයේ උදවිය නගන්නේ අමුතුම පන්නයේ ‌චෝදනාවකි. එනම් සිය ආගමික කණ්ඩායමට අයත් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට හානි නොවන ස්ථාන භූමදානය කිරීම සඳහා නම් කරන්නැයි කියමිනි. බොරදියේ මාළු බාන්නට සැරසෙන සමහරු මෙසේ ඉරණතිව් තමන්ගේ මළසිරුරු භුමදානයට විශේෂයෙන් වෙන්කර දීම තමන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙස පෙන්වා දීමටද කටයුතු කරමින් සිටිති. පොදු ව්‍යසනයක් වන මේ වසංගතයේ දී සමස්තය වෙත බලපාන හානිය නොතකමින් අන්තවාදී ලෙස කටයුතු කරන මේ පිරිසගේ සැඟවුණු අවශ්‍යතාවයන් මේ ප්‍රකාශ මගින් දැන් මනාව පැහැදිලි වී හමාරය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහළ යත්ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් විසංවාදයක් මතුව ආවේය. ඒ මීගමුවේදී මරණයට පත් දෙවැනි රෝගියාගේ මෘතදේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව, නමුත්  වසංගතයක් රට පුරා පැතිරීම වැළැක්වීමේ අභිලාෂයෙන් ගත හැකි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් හැටියට ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමඟය.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 මාර්තු 30 වැනිදා මුලින්ම නිකුත් කරන ලද මාර්ගෝපදේශවල දැක්වුණේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බවටය. නමුත් පැය 24ක් යන්නටත් පෙර එම තීරණය වෙනස් කරමින් වෛරසය ආසාදිතව මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බවට සඳහන් කරමින් අදාළ මාර්ගෝපදේශය සංශෝධනය කරනු ලැබීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක මතගැටුමක් ඇති විය. පසුව එය අන්තවාදී  ආගමික සංස්කෘතික හා සමාජ දේශපාලනික මහා අලකලංචියක් දක්වා උඩු දුවන්නට විය

ඒ වන විට හානිය සහ පැතිරීම නිසි ලෙස හඳුනා නොගත් අලුත් වසංගතයක් රට පුරා  පැතිර යමින් තිබුණි. එය වැළැක්වීමේ අභිලාෂයෙන් ගත හැකි උපරිම පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් හැටියට ශ්‍රී ලංකාව තුළ මෘතදේහ ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කෙරිණි. මේ අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියට වෙනස්  අර්ථකථනයක් ලබාදෙමින් එය රටේ එක් ආගමික පිරිසකගේ භුමදාන අයිතිය පැහැරගැනීමක් ලෙස උලුප්පා දක්වමින් අභූත වූ චෝදනා නගමින් මෙය තමන්ට වාසිදායක දේශපාලනික බෝම්බයක් ලෙස භාවිතයට ගැනීමට විරෝධතාකරුවෝ පිරිසක් මතුව ආහ. මේ විරෝධතා සමඟ අනිවාර්ය ආදාහනය ඉවත් කරන ලෙසත් සුළු ජාතීන්ගේ භුමදාන අයිතිය ලබාදෙන ලෙසත් කියමින් දේශීය මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ විදෙස් රටවල් රුසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව නැවතත් කතාබහ තදින්ම මතුවූයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී “සිරුරු භූමදානය කිරීමට අවසර දෙනවා” යැයි කරන ලද ප්‍රකාශයත් සමගිනි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ ද පැසසුමට ලක්වූ අතර දැන් තාක්ෂණික කමිටු වාර්තා නිර්දේශ අනුව යමින්  කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන්  භුමදානයට ඉඩ සැලසී හමාරය.

ඒ අනුව භුමදානය කරන අවස්ථාවලදී ඒ තැනැත්තාගේ මෘතදේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භුමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කරනු ලැබිය යුතු බව නව ගැසට්ටුවේ සඳහන්ය. ඒ සඳහා මාර්ගෝපදේශයන්ද සැකසී හමාරය. නමුත් දැන් ඒ ගැනද අන්තවාදී කංකෙඳිරිගෑම් මතුව එමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගිය වසරේ කොවිඩ්-19 මෘතදේහ බැහැර කිරීමේදී  අනුගමනය කළ යුතු ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලබා දී තිබුණි. ඒ   මාර්ගෝපදේශ අනුව මරණයට පත් කොවිඩ්-19 රෝගියකුගේ දේහය ආදාහනය හෝ භූමදානය යන දෙආකාරයටම සිදු කළ හැකි බව තහවුරු කර තිබුණි.

එයට පෙර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය මගින් විශේෂ මාර්ගෝපදේශ හඳුන්වා දීමක් සිදු කරන්නට යෙදුණි.‍
එකී මාර්ගෝපදේශ අනුව ඕනෑම කොවිඩ්-19 ආසාදිත රෝගියකුගේ දේහයන් ආදාහනය කළ යුතුය යන්න සඳහන් විය. රට තුළ විවාදයකට සහ පසුව මහා ජංජාලයකට මුලපිරුවේ දේශීය සෞඛ්‍ය සේවාව විසින් රටේ පොදු සෞඛ්‍ය ආරක්ෂාවට උචිත ලෙස  තීරණය කරන ලද මේ ක්‍රියා පටිපාටියයි.

කාලයක් ගතවූ වඩාත් පුළුල් විසංවාදයකට පසුව දැන් නැවතත් මේ ගැටලුවට කාටත් සහනදායී පිළිතුරක් ලැබී හමාරය. එයට අනුව දැන් භුමදානය කරන්නටම ඕනැ පිරිසට ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් ලැබී තිබේ. ඒ සඳහා ඉදිරිපත්ව ඇති නිර්දේශ මෙසේය.

 කිසියම් පුද්ගලයකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසු එම මරණය භුමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු වේ.

 භූමදානය සඳහා වන දැනුම්දීම අදාළ සෞඛ්‍ය බලධාරීන් ඥාතීන්ගෙන් ලිඛිතව ලබාගත යුතුය.

 එම ඉල්ලීමට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙනු ලබන අවසර පත්‍රයෙහි භූමදානය කරන ස්ථානය ලෙස ඉරණතිව් දූපත යන්න සඳහන් කළ යුතු අතර එලෙස හිමිවන ලියවිල්ල මෘතදේහය ප්‍රවාහනය සහ භූමදානයට හිමිවන නීත්‍යානුකුල ලියවිල්ල වේ.

 දේහය බහාලීම සඳහා ඥාතීන් විසින් කඩිනමින් මිනීපෙට්ටියක් අදාළ අංශ වෙත ලබා දිය යුතු වේ.

 සෞඛ්‍ය බලධාරීන් විසින් මිනීපෙට්ටියක බහාලන ලද මෘතදේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ වැලිකන්ද මූලික රෝහලට බාර දිය යුතුය.

 ඒ අනුව සෑම දිනකම පෙරවරු 5.30ට පෙර කී ස්ථානවල සිට ඉරණතිව් දූපත බලා කොවිඩ් මෘතදේහ රුගෙන යාමට නියමිතය.

 මරණය සිදු වූ ප්‍රදේශයෙන් සිරුර ඉවත් කිරීමට පෙර අදාළ රෝහලේදී ඥාතීන්ට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවසර හිමිවන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම ස්ථානයේදී ආගමික කටයුතු සිදු කිරීමටද අවස්ථාව හිමි වේ.

 මෘතදේහ භූමදානය කිරීමේ අවස්ථාවට එක්වීමට ඉරණතිව් දූපත බලා යාමට මරණකරුගේ ඥාතීන් දෙදෙනකුට පමණක් අවසරය හිමිවන අතර එය පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත් වේ.

 එමෙන්ම මළසිරුර භුමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ඡායාරෑප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ

 දේහය බහාලූ පෙට්ටිය කිසිදු හේතුවක් මත විවෘත කිරීමට අවසර හිමි නොවන අතර එම පෙට්ටිය හැසිරවීම සඳහා ඥාතීන්ට කිසි ලෙසකින් අවසර හිමි නොවන බවද එහි දැක්වේ.

ඉතින් දැන් තමන් ඉල්ලූ මස් රාත්තලම ලැබුණත් මෙතැනදී නම් ෂයිලොක් සතුටු වී   නැති බව පෙනී යයි. මේ වැඩපිළිවෙළද විවේචනය කරමින් විරෝධතා මතු කරමින්  බොරදියේ මාළු බාන්නට මාන බලනා සමහරු වසංගතයේ භීතිකාවට මුවා  වී  සිය අන්තවාදී අන්තනෝමතික අවශ්‍යතාවන් ඉටුකරගන්නට ගන්නා උත්සාහය තවමත් අත්හැර නැති හෙයිනි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03