2021 මාර්තු 06 වන සෙනසුරාදා

නිල් අහස් තලේ, සිළුමිණි සෑය වඳිම් ,කරුණා මූදේ ගීත ලියූ ගීත හැදූ යූ.ඩී. මාස්ටර්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 303

මීට වසර 80කට පමණ පෙර කොළඹ කොටුවේ එන්. පොරෝලිස් ප්‍රනාන්දු ගොඩනැගිල්ලේ පිහිටි කොළොම්බියා ග්‍රුමෆෝන් කොම්පැනියට ගිය මුස්ලිම් ජාතික තරුණයෙක් එවකට සංගීත ලෝකයේ ෆ්‍රොෆෙසර් ලෙස හැඳින්වූ මොහොමඩ් ගවුස් මාස්ටර් හමුවීමට ගියේ උර්දු ගීතයක් පුහුණු වීමටය. තරුණයා උර්දු ගීය යස අගේට ගයනු අසා සිටියේ තවත් සංගීත මාස්ටර් කෙනෙකි. ගීත රචකයකු ද වූ ඔහු නමින් යූ.ඩී. පෙරේරාය. ගවුස් මාස්ටර් හමුවීමට පැමිණි මුස්ලිම් තරුණයාගේ නම මොහිදීන් බෙග්ය.

මොහිදීන් ළමයා, කැමති නැද්ද සිංහල සින්දුවක් කියන්න.. යූ.ඩී. මාස්ටර් මුස්ලිම් තරුණයාගෙන් විමසීය.

මාස්ටර්, මම කැමතියි, හැමදාම උර්දු සින්දු කියලා බෑ.

ගවුස් මාස්ටර්ට සතුටක් ඇතිවිය

ගවුස්, අපි මෙහෙම කරමු. මං දන්න හින්දි සින්දු දෙක තුනකට සිංහල වචන උර්දු භාෂාවෙන් ලියල දුන්නාම හරිනේ. ඊටපස්සේ අපේ ටියුන්වලට සිංහල සින්දු කියවමු.

යූ.ඩී. මාස්ටර්ගේ යෝජනාවට ගවුස් මාස්ටර් ඉහටත් උඩින් කැමැති විය.

මොහිදීන් ළමයා, මම තමුසෙව මේ රටේ ඉහළටම ගේනවා.

යූ.ඩී. මාස්ටර් කඩදාසියක් ගෙන එකල භාරතයේ සිටි සුරේන්ද්‍ර නම් ගායකයා ගැයූ තුම්නේ මුජිකෝ ප්‍රේම් ශිඛාරා නම් ජනප්‍රිය ග්‍රුමෆෝන් ගීතයට සිංහල වචන දමා ගවුස් මාස්ටර්ට දුන්නේය.

අපි මේක රාජලක්ෂ්මිත් එක්ක කියන්න මොහිදින්ට චාන්ස් එකක් දෙමු.

මුල්වරට මොහිදීන් බෙග් නම් ගායකයා කේ.කේ. රාජලක්ෂ්මි සමඟ ගැයූ මේ කොළොම්බියා ගිය අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

කරුණා මූදේ නාමු ගිලිලා
ප්‍රේම මනෝහර ගීත ගයලා
වේගයෙනි බොහෝ කැළඹිලා
මේ රුලි මාලා ඒය නැගිලා
නොමැකේ ප්‍රේම සිත්හි මෝරන
නොමැකේ ප්‍රේම සිතේ

යූ.ඩී. මාස්ටර් 1938 සිට 1951 දක්වා කොළොම්බියා හා ඕඩියන් සන්නාමය සහිත තැටි සඳහා ගීත රචනා කළේය. ඒ ගීය අතර වාර්තාගත අලෙවියක් තැබූ ගීත රැසකි.

කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමි
ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමි
(ගායනය - කේ. රාජලක්ෂ්මි)

මහා බෝධි මූලේ විදුරසුනේ රැස් විහිදෙන්නා
මහ සත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
(ගායනය - ඇම්.බී. ජොහාර්ෂා)

මේ ගීතය ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සඳහන් කර ඇත්තේ එය සම්‍යයක් බෝධිය පිළිබඳ උත්කර්ෂවත් වර්ණාවක් බවය.

ගායක අහමද් මොහිදීන් ගැයූ යූ.ඩී. මාස්ටර් විසින් රචනා කළ බෞද්ධ ගීත දෙකකි මේ.

සිළුමිණි සෑය වඳිම්
රම්‍ය තව්තිසා නිවනේ
පතමි ශාන්ත අමා
සුන්දර සම්පත් නිවනේ

රාජ සඟබෝ හිස දී දුගියාට
දාන පාරමී

සිළුමිණි සෑය වඳිම් ගීතය පිරිහෙමින් පැවැති සිංහල ගීත ප්‍රබන්ධවල තත්ත්වය උසස් කිරීමට ඉවහල් වූ ගීතයක් ලෙස මහගම සේකරයෝ නිදසුනක් කොට දැක්වූහ

ඒ.එම්.යූ. රාජ් ගැයූ නාමය නොදිරනා - කුණු කය දිරනා - අරුමෙකි සෝබා සංසාරේ ද යූ.ඩී. මාස්ටර් රචනාවකි. 

සුවිශේෂ ගීතයක් ගැන ඒ මහතාගේ දියණියක් වූ චම්පා පෙරේරා දිසානායක අපට මෙසේ  පැවසුවාය.
තාත්තා ජීවිතේට ශ්‍රී පාදය වන්දනා කර තිබුණේ නැහැ.

ගෙදර හාන්සි පුටුවකට වෙලා ශ්‍රී පාද ස්ථානය සිතින් මවාගෙන පොතපතින්, ඇසූ දුටු අයගෙන් ඇසූ තොරතුරු ඇසුරෙන් අපරිමිත බුදු බැතියෙන් ලියූ ගීතයක් ග්‍රේටා ජෙනට් ද සහ සහයක පිරිසක් ගැයුවා. මේ ගීතයට තාත්තා ආදරය කළා. මේ ගීතයට මේ රටේ බෞද්ධ ජනතාවත් ආදරය කළා වගේම පවුලේ දරුවනුත් ආදරය කළා. ශ්‍රී පාදය කී විට මුලින්ම මතකයට එන්නේ තාත්තාගේ මේ ගීතය.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

ළීණි හෙලේ අම්බලමේ සින්ඳලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සන්තොසිනේ ඉන් පිටත් වෙලා

ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳ ගෙනේ
මළුව පෙනෙයි යමු නැවතී හැරමිටි පානේ
සමන් දෙවි කරුණාවයි - නඬේ සැමටම සැප වෙයි

අහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසු කරමින් සාදු කියලා
මහ - මළුවට විත් ගිරිදඹේ නැගලා
සිරි - පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සිරිඳුටත් පමුණාලා

යූ.ඩී. පෙරේරා යනු ප්‍රවීණ සංගීතඥයෙකි. සිංහල පාඨශාලාචාර්යවරයෙකි. ගීත රචකයෙකි. කීර්තිමත් උප විදුහල්පතිවරයෙකි. 1902 වසරේ පෙබරවාරි 02 වැනිදා උපන් උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා බණ්ඩාරගම වීදාගම උපන්නේ හත් දෙනකුගෙන් යුත් සහෝදර සහෝදරියන්ගෙන් වැඩිමලා හැටියටය.

මගේ තාත්තා හැමවිටම උපන් ගම වීදාගම ගැන ලොකු ආඩම්බරයකින් කතා කළේ.

මම උපන්නේ පින්බිමක. ලෝවැඩ සඟරාව, හංස සංදේශය, බුදුගුණ අලංකාරය වගේ ශ්‍රේෂ්ඨ පොත් ලියූ වීදාගම හාමුදුරුවන් උපන් පින්බිමක. තාත්තා යාළුවන් එක්ක කියනව මම අහල තියෙනවා. යූ.ඩී. පෙරේරා මහතාගේ පුතකු වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා අප සමඟ පැවසීය.

යූ.ඩී. මාස්ටර්ගේ සමකාලීන මිතුරකු ප්‍රකට ලේඛකයකු, පුවත්පත් කලාවේදියකු වූ ඩී.වී. සෙනෙවිරත්න මහතා ලියූ ලිපියක මෙසේ සඳහන්ව ඇත.

යූ.ඩී. බාලයකු ලෙස පානදුරේ මාලමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලෙත්, පානදුර වලානේ මහානාම විද්‍යාලයෙත් ඉගෙනගන්නා කාලයේදී කොතරම් සංගීතයට ලොල් වුණාද කිවහොත් ගෙදරට හොරෙන් නෘත්‍ය බැලීමටත් කැරොල් ගී ගැයීමටත් ගිහින් තියෙනවා. ඔහු අවුරුදු 22 දී බිංදුවා නම් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කාලයේ හිටිය නාට්‍ය නිෂ්පාදක, සංගීතඥ බී.එල්. බෝධිපාලගෙන් සංගීතයත්, ගීත රචනයත් ඉගෙනගෙන ගීත රචනා ඔහු ලියන්න පුරුදුවෙලා තියෙන්නේ මුහුදු වැල්ලේ විසි තිස් වාරයක් ලියලා. බෝධිපාල මහතා ප්‍රකට කවියකු වූ උපනන්ද බටුගෙදරගේ පියාය.

යූ.ඩී. තරුණයා මුල්ම ළමා ගීතය ගුවන්විදුලියට ලිව්වේ 1922 දීය. පැණි උරා බිබී මලේම ඉන්නේ ඇයි සමනලයෝ ඒ ගීතයයි. ඔහු ලියූ සුන්දර සිරිනි මනහාරි ගීතය සහිත ග්‍රුමෆෝන් ගීතය සහිත ග්‍රුමෆෝන් තැටි 90,000ක් පමණ විකිණී ඇතැයි ඩී.වී. සෙනෙවිරත්නයෝ 1978 යොවුන් ජනතා පත්‍රයට ලියා තිබුණි.

ගුරුවරයකු ලෙස සිය ජීවන වෘත්තිය ඇරඹූ යූ.ඩී. මාස්ටර් රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙත් උගන්වා මොරටුව කල්දෙමුල්ලේ ගොනාකෝවිල ශ්‍රී අත්ථදස්සී විද්‍යාලයේ උප විදුහල්පතිවරයකු ලෙස සිට කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබන විට මැදිවිය පසුකරමින් සිටියේලු.

යූ.ඩී. කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේදී එකම පන්තියේ සිටි සෝමාවතී මන්ත්‍රීරත්නට පෙම් බැන්ඳ අතර ඔවුහු 1948 දී විවාහ වූහ.

යූ.ඩී. ගේ ගුරු අභ්‍යාස විද්‍යාලය ජීවිතය ඔහුට කලා ලොවට පිවිසීමට තෝතැන්නක් වී ඇත. 1930 වසරේ ඔහු තම ගුරුවරයා වූ පසුව ගුරු ඇබෑසි විදුහල්පතිවරයකු, ගායකයකු, කලාකරුවකු වූ යූ.ජී.පී. සිල්වා මහතා සමඟ නිෂ්පාදනය කළ කුවේණි නාට්‍ය රචනා කළේය. එදා ඒ නාට්‍යයේ කුවේණි ලෙස රඟපෑවේ හිල්ඩා මෙන්ඩිස් ශිෂ්‍යයාවය. පසුව පොල්ගොල්ලේ ගුරු අභ්‍යාස විද්‍යාල්‍යාධිපතිනියක් වූ ඇය ප්‍රකට ලේඛක ලාල් ප්‍රේමනාත් ද මැල් ගේ සොහොයුරියකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල්ගේ නැන්දණියයි.

ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය යූ.ජී.පී. ද සිල්වා මහතාගේ පන්තියේ සිටි තමාටත් වඩා වැඩිමහල් ශිෂ්‍යයා වූයේ යූ.ඩී. ය. යූ.ජී.ජී. සිල්වා මහතා 1978 වසරේ මම නව යුගය පත්‍රයට ලියූ චරිත හමුව විශේෂාංගය සඳහා තිඹිරිගස්යායේ නිවෙසකදී හමු වූයෙමි. ඒ මහතා තම වැඩිමහලු වටිනා ශිෂ්‍ය යූ.ඩී. ගැන මෙසේ කීවේය.

ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ළමා ගීත කිහිපයක්ම යූ.ඩී. ලිව්වේ Free work project ව්‍යාපෘතිය සඳහා. යූ.ඩී. ලස්සන ළමා ගීතයක් ලිව්වා. ලස්සන සරල තනුවක් දැම්මා. මුලින්ම ඒ ගීතය ගායනා කළේ මම. මේ ගීතය අදත් ජනප්‍රියයි. මතුවටත් මේ ගීත ළමා ලෝකයේ සදාකල් පවතීවි. 1991 මියගිය සිල්වා මහතා අතීතයට සමවැදී කීවේය.

මේ ඒ ගීතයයි.
නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රුස් විහීදිලා

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රුස් විහීදිලා

මල් විසීරිලා වගේ තාරකා සිරී
ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා

භාරතයට ගිය යූ.ඩී. පෙරේරා මහතා ශ්‍රී රාජ පූචාවලී, සමින්ද ඛාන් වැනි විශාරද සංගීතඥයන්ගෙන් සංගීතය ඉගෙන පෙරළා පැමිණ පෙරදිග සංගීතය ගැන හින්දි භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ පොතපත කියවමින් දැනුම දියුණු කර ගත්තේය. පැරණි හා නූතන පොතපත නොතිත් ආසාවෙන් කියවූ ඔහු ලියූ ගීත අතර ඇල්බට් පෙරේරා (අමරදේව) හා සිරිමතී වෙත්තසිංහ ගැයූ මුල්ම යුග ගීතය වූ රසයි කිරි කෑ දියාරු කැපී පෙනෙයි. එඩී ජයමාන්න, ජී.එස්.බී. රාණි, නෝනා සුබෙයිදා, එඩී ද සිල්වා, වසන්තා සන්දනායක, ස්ටැන්ලි මල්ලවාරච්චි, අසෝකා දේවි, ආදීන්ට ගී ලියූ අතර එයින් ස්ටැන්ලි හා අසෝකා ගැයූ දුල් සල් වනේ ලකල් ගීතය ද එකල ඉතා ජනප්‍රියව ඇත.

ගීතාලංකාරය නම් සංගීත කෘතිය ලියූ යූ.ඩී. මාස්ටර් විසින් හැදූ එකම ගෝලයා වූයේ ජේ.එල්. සත්‍යදාසය. යූ.ඩී. මාස්ටර් ඔහුට සංගීතය උගන්වා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට යැවීය. එහි සංගීත කථිකාචාර්යවරයකු වූ සත්‍යදාස අකාලයේ මිය ගියේය.
තම පියා රසකැවිලි කෑමට ලොල් වූ කෙනකු බවත්, කොළඹ සිට පැණිවළලු, බූන්දි, මස්කට් ගෙනෙන බවත්, ඒවා අපටත් කන්න දී ඔහුත් අනුභව කොට අඩු සීනි ප්ලේන් ටී බිව් දියණිය චම්පා සිනාසෙමින් කීවාය. භාරතීය සංගීතඥ පුලුෂ්කාර්ගේ ගීත තම පියා අසද්දී මේක අහනකොට පිරිත් අහනවා වගේ මට ඇහෙන්නේයි තම පියා කී අයුරු චම්පාට මතකය. කේ.බී. සුගතදාස හා ලයනල් එදිරිසිංහ යන මිතුරෝ යූ.ඩී. මාස්ටර්ගේ ගජයෝ වූහ. මීට වසර 45කට පෙර එනම් 1976 දෙසැම්බර් 02 වැනිදා මේ මහා කලාකරුවා මියගියේ හෘදයාබාධයකිනි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03