2021 මාර්තු 06 වන සෙනසුරාදා

කතෝලිකයන්ගේ කළු ඉරිදාව

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 19

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා එළඹෙන මාර්තු 7 දින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කොළඹ අගරදගුරු පදවිය තීරණය කර තිබේ.  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් ගතවී තිබුණද එහි වින්දිතයන්ට මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති හෙයින් මාර්තු 7 වැනි දින කළු ඉරිදාවක් ලෙස නම් කර සාමකාමි විරෝධතාවක නිරත වීම මේ අනුව සිදුවෙයි. එදින දේව මෙහෙයට සහභාගී වන සියලුම කතෝලික බැතිමතුන් කළු පැහැති වස්ත්‍රවලින් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වන ලෙසට සියලු කතෝලික බැතිමතුන්ගෙන් පසුගිය ඉරිදා ඉල්ලීමක් කර තිබිණි. දේව මෙහෙයෙන් පසු දේවස්ථාන ඉදිරිපිට පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවක නිරත වන ලෙසද බැතිමතුන්ගෙන් ඉල්ලා තිබේ.

අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගතවීමට පෙර එහි මහමොළකරුවන් සොයා ගැනීමට අසමත් වුවහොත් රටපුරා දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බවටය. ප්‍රහාරයක් පිළිබඳව පෙර දැනුම්වත්කිරීම් කර තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වූවන් වර්තමානයේ දේශපාලන පක්ෂවලට මුවා වී යුක්තියෙන් බේරී යාමට උත්සාහ කරන බවටද උන්වහන්සේ චෝදනා කළේය.

“රටේ ආරක්ෂාව භාර ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධිසේවය මෙම සාපරාධි මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළාද යන්න ගැන විශාල සැකයක් අපට තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් සොයන බවක් පෙනෙන්නට නැහැ. මෙම ප්‍රහාර සඳහා අනුබල සහ මුදල් දුන් අය සහ විමර්ශන දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට කටයුතු කළ පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට ප්‍රහාරය සිදු වී දෙවසරක් ගතවන තෙක් නොහැකි වූයේ ඇයි.? අප වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඝාතනවලට වගකිවයුතු පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙසටයි. පළමු වතාවට අප ලබන ඉරිදා සාමකාමි විරෝධතාවකට එළඹෙනවා. අප්‍රේල් 21 වන විට යුක්තිය ඉටු නොවන බව හැඟුණොත් කළු වස්ත්‍රවලින් සැරසීම ඉක්මවා ගොස් මුළු ලංකාවේම කළු කොඩි දමන්නට කටයුතු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

කතෝලික සභාව 7 වැනි ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේද ප්‍රකාශ නිකුත් කර තිබිණි. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කර සිටියේ කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික ජනතාව සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම තමන්ද අනුමත කරන බවටය. “කොමිසම මගින් සිදුකළ ක්‍රියාදාමය නිසි අයුරින් ඉටු නොවී ඇති අතර එම වාර්තාව මගින් ත්‍රස්තවාදි ක්‍රියා හා අන්තවාදය පිළිබඳ හඬ නැඟූ බෞද්ධ  සිංහල සංවිධාන චූදිතයන් බවට පත් කර තිබෙනවා. අප එය තරයේ හෙළා දකිනවා. මෙම කොමිසමේ වාර්තාව කිසිසේත්ම සාධාරණ වූවක් නොවෙයි. එය අසම්පූර්ණ අසාර්ථක වාර්තාවක්. එම වාර්තාවෙන් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ  හා ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට චෝදනා එල්ල කර නැහැ. මෙම ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් කතෝලික ජනතාව මෙතෙක් සහනයක් ලැබී නැහැ. වරදකරුවන්ට දඬුවම් ලබා නොදීමට එරෙහිව විරෝධය දක්වමින් ලබන ඉරිදාව කළු ඉරිදාවක් ලෙස නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් ලෙස සලකන මහා සංඝරත්නය එම විරෝධතාවට සහයෝගයද ලබා දෙනවා” යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිසමේ සභාපති වරයා ලෙස කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාය.  එහි සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි යන මහත්වරුය. එම වාර්තාවේ පිටපත් පසුගිය පෙබරවාරි 22 දින ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට හා නීතිපතිවරයාට ලබාදීමට පියවර ගැනිණි.  එම වාර්තාව අධ්‍යයනය කිරීම පිණිස ජනාධිපතිවරයා 6 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් හා එය අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව සම්බන්ධයෙන්ද අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන්ගෙන් එල්ල වූයේ දැඩි අප්‍රසාදයකි. වාර්තාවෙන් එළිදක්වා ඇති කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමට පත් නොවන බවත් එම වාර්තාවේ පිටපතක් තමා වෙත ලබා දෙන ඉල්ලා සිටි නමුදු මෙතෙක් එය ලැබී නොමැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරයේ එක් ඉලක්කයක් වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි උන්වහන්සේගෙන් කතෝලික ජනතාව ඉල්ලා සිටියේ වින්දිතයන් වූ තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසටය. කමිටු වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවටද ඔවුහු තම විරෝධය ප්‍රකාශ කළහ.  කමිටු ඇතිකොට තමන්ට අවශ්‍ය දේ පමණක් තෝරා ගැනීමට රජය කටයුතු කරන්නේ නම් තමන් එය පිළිගැනීම සූදානම් නොමැති බවත් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම එළිදරව් කළ යුතු බවත්, එහි අන්තර්ගත ඇතැම් කරුණු නොසඟවන ලෙස තමන් ඉල්ලා සිටින බවත් මෙම වාර්තාවෙන් පැවසෙන ඇතැම් දේ සම්බන්ධයෙන් රජය බිය වී ඒවා සැඟවීමට කටයුතු කරන බවට සැකයක් ඇතිවී තිබෙන බවත්  කාදිනල් හිමියෝ එම ජනතාවට ප්‍රකාශ කළහ. වැඩිදුරටත් ජනතාව ඇමතූ උන්වහන්සේ “නිලධාරීන් කිහිප දෙනෙකු වරදකරුවන් කොට ප්‍රහාරය පසුපස සිටි සැබෑ පුද්ගලයන් සැඟවීමට ඉඩ නොදිය හැකියි. තමන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් කතෝලික සභාවේ විවිධ ජාත්‍යන්තර සංවිධාන වෙත ගොස් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මෙම කමිටු මගින් වැදගත් යෝජනා යටපත් කොට වෙනත් යෝජනා  ඉදිරියට ගැනීමට කටයුතු කරන අතර උගත් මිනිස්සු පස් දෙනකුගෙන් සැදුම් ලද කොමිෂන් සභාව විනිශ්චයක් සහ රෙකමදාරුවක් ලබා දුන්නේ ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමටයි. එසේ නැතුව අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති මිනිසුන් පත් කර ඔවුන්ගේ තීරණ අනුව කටයුතු කිරීමට නොවෙයි. ඒ නිසා කොමිෂන් සභාවේ නිර්දේශ නීතිපති විසින් ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන් පැවසූහ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කර සිටියේ නව කමිටුවක් පත් කිරීම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව තමන්ට සැකයක් මතුවන බවටය. එම සම්මේලනයේ සභාපති වින්සන්ට් ප්‍රනාන්දු රදගුරු හිමියන් ප්‍රකාශ කළේ “මෙම කොමිසම විශාල වාර්තාවක් සකස් කළා. ඒක ජනාධිපතිතුමාට පිළිගැන්නුවා. දැන් ඒක පීලි පැනපු තත්ත්වයක් අපිට පේනවා. කමිටු පත් කරලා දැන් කරගෙන යන වැඩපිළිවෙල ගැන අපිට විශාල සැකයක් තිබෙනවා. මෙම සැකය දුරු කිරීමට පියවර ගන්නැයි අප ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

පාස්කු ඉරැදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ  කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් මාර්තු 1 දා කාදිනල් හිමියන් වෙත ලබා දීමට පියවර ගෙන තිබිණි. එම වාර්තාව සියුම්ව අධ්‍යයනය කරන තෙක් ඒ පිළිබඳව නිෂ්චිත නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වාර්තාව මගින්  එම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා නොකර එය වළක්වා ගැනීමට කටයුතු නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් වෙත වරදවා පටවා තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ.  ඔවුන්ගේ මතය වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කොමිසම වරදකරුවන් නොසොයා එය වළක්වා ගැනීමට පියවර නොගත් පිරිසට චෝදනා කිරීම විහිළුවට කරුණක් බවයි.

කෙසේ නමුදු පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ වගකීම ආණ්ඩුව විසින් බාර නොගන්නේ යැයි කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මගින් ලබා ගන්නා ලද සාක්ෂි සටහන් වෙළුම් 87ක ගොනු කර තිබේ. ඉන් වෙළුම් 65ක් මේ  වන විට නීතිපතිවරයා වෙත ලබා දී ඇති අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22ක් ඔහු වෙත බාර දී නොමැත. නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ බෝම්බ ප්‍රහාර සිදුවීම් 08 අදාළ පිටු දහස් ගණනකින් සමන්විත විමර්ශන උදෘතයන් සහ පිටු 30,000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි සටහන් අධ්‍යයනය කර තව දුරටත් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට ඇති අවශ්‍යතාව සලකා බලා වගිකිව යුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මෙය සාමුහික කර්තව්‍යයක් බැවින් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බවත්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03