ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්ස, සතුට සැනසීම එක්වුණු තාවකාලික නවාතැන්පොළක නතරව සිටින අපි යම් දවසක මේ නවාතැන හැර යන්නෙමු. ලෝකය දකින්නට, මුල්ම ආලෝකය ලබා දෙන්නේ ඇයයි. ඒ ආදරණීය මවගේ කුස තුළ මාස නවයක් පුරාවට දඟලන, පෙරළෙන කුඩා කළලය ටිකෙන් ටික මෝරා මව් කුසෙන් මෙලොවට බිහිවෙද්දී, ලෝකයේ දරුණුම වේදනාව විඳින්නේ ද ඇයයි. එතරම් දරුණු වේදනාවක් විඳිද්දී ලේ කැටි දරුපැටියාගේ මුල්ම ඇඬිල්ල ඇසෙනවාත් සමඟම ඒ වේදනාව එක් නිමේෂයකින් අමතක කොට ඒ ඇස්වල සතුටු කඳුළු පුරවාගන්නට තරම් ඇයට ඇත්තේ මොන තරම්නම් සංවේදී වූ හදවතක්ද? නමට මවුවරුන් නොවූ සැබෑ මව්වත් ගුණ ඇති ගැහැනියකගේ මවකගේ හෘද ස්පන්දනයේ සොඳුරු ස්පන්දය එයාකාරය.
එවැනි කාන්තාවන් සමරන්නට වසරේ එක් දිනයක් තිබිය යුතුමද? මාර්තු අට වැනිදාට යෙදෙන කාන්තා දිනයේදී මේ රටේ මොනතරම් කාන්තාවන් පිරිසක් තම දහඩිය කඳුළුවලින් මේ මහපොළොව තෙත් කරනවා ඇත්ද?
මේක පුදුම දුකක් විඳින රස්සාවක්. මහ අව් කාෂ්ඨකේ අපි මේ පාර අතුගානවා. පාරේ යන වාහන අපිව සත පහකට මායිම් කරන්නේ නැහැ. වැහි කාලෙට අපි තෙමෙනවා. අව්ව කාලෙට අපි පිච්චෙනවා. මොනවා කරන්නද? ජීවත් වෙන්න තමයි මේ හැමදෙයක්ම කරන්නෙ. සමහර හිඟන මිනිස්සු අසූචි ඔය කොළ කෑලිවල ඔතලා කුණුගොඩවල්වල තියනවා. ප්ලාස්ටික් හිස් වතුර බෝතල්වලට මුත්‍රා කරනවා. ඒ හැමදෙයක්ම අපිට තමයි සුද්ද කරන්න වෙන්නෙ. මේ අත්වලින් තමයි අපි ඒවා සුද්ද කරලා කෑම කන්නෙත්. සමහර කඩවල්වල මුදලාලිලා අපිට කඩේකටවත් වද්දගන්න කැමති නැහැ. එක පැත්තකින් මේ කොරෝනා. තව පැත්තකින් අපි අඳින්නේ කුණු නිසා. හැබැයි මේ අපි අදින්නෙත් මේ කොළඹ ටයි දාලා, සාරි ඇඳලා යන මහත්තුරු නෝනාවරුන්ගේම කුණුම තමයි. ගොඩක් වෙලාවට සිලිං බෑගයකට කහට එකක් දාගෙන බීම බටයකින් ඔය හෙවණ තියෙන ගසක් යටට වෙලා අපි තේ එක බොනවා. ඇත්තටම මේ ජීවිතේ හරි දුකක්.* කොළඹ නගරයේ ගිනි අව්වේ මහ දවාලයේත් කසළ කරත්තයක් තල්ලු කරමින් ගිය ආරියවතී අපි හා දොඩමළු වෙමින් පැවසුවාය.
ඔවුන් මේ පිරිසුදු කරන්නේ මේ රටේ හැම පුරවැසියකුටම අයිති මහපොළොවයි. වාහනවල දූවිල්ලට, මහ අව් රශ්මියට, ආරියවතීලාගේ මුහුණේ පැහැපත් බව වියැකී ගොසිනි. සියුමැලි වූ දෑත් අද ගොරෝසු වී ඇත. නමුත් ජීවන සටන වෙනුවෙන් ඇය ද මේ දහදුක් විඳින්නීය. දහවල් කෑම පැයේදී ආරියවතී ඇතුළු පිරිස බුලත්විටක් හපමින් කොළඹ නගරයේ මහ විශාල ගසක් යටට වී මඳ විවේකයක් ගනිති. නමුත් ඔවුන්ගේ හෙටදවස ඔවුන්ගේ සැඳෑ සමය සුව සේ ගත කරන්නට අවස්ථාවක් උදාවේවිදැයි සැක සහිතය.
දියණියක් දවසක යුවතියක් වන්නීය. වතුර කළයකින් නහවා නැකැතට ගෙට ගන්නා දියණියගේ ජීවිතය පිරිමි දරුවකුගේ ජීවිතයට වඩා පරිස්සමින් රුකබලා ගත යුතුය. එක් නිමේෂයකින් ඒ සියල්ල සුණු විසුණු වන්නට ගතවන කාලය විනාඩියකටත් අඩු කාලයකි. පාපතරයන් ඕනෑතරම් අද සමාජයේ සිටිති. එවැනි පාපතරයන්ගෙන් ඇයව බේරාගන්නට නම් මවගේ රුකවරණය, ආරක්ෂාව සහ සෙවණැල්ල නොඅඩුව තිබිය යුතුමය. නමුත් අවාසනාවන්ත ලෙසින් මවගේ ආදරය නොමැතිව බොහෝ දියණිවරු උස් මහත් වෙති.
ජීවත් වන්නට රැකියාවක් නැති මොහොතක, ආර්ථික අපහසුතා එක පෙළට ගොඩගැසෙද්දී තම රූපය, සිරුර විකුණා මුදල් සොයන කාන්තාවෝ අද සමාජයේ බොහෝ වෙති. කොළඹ හතේ හෝටල්වල සුඛෝපභෝගී යහන්වල නමක් ගමක් නොදන්නා පිරිමින් හා යහන්ගත වන ගණිකාවන් මෙන්ම පිටකොටුවේ ඇති කුඩා කාමර කෑල්ලක, යකඩ ඇඳක, මහ රූ පිටකොටුවේ පාළු පාරක හෝ නාට්ටාමිවරුන් තල්ලු කරන කරත්තයක අඩු මුදලකට පිරිමියකු හා හේත්තු වන වීදි ගණිකාවන් අතරේ කිසිදු වෙනසක් නැත.
කොළඹ හතේ හෝටල්වල ගණිකාවන් පැයකට රුපියල් පන්දහසක් හොයද්දී, පිටකොටුවේ වීදි ගණිකාවෝ පැයකට රුපියල් පන්සියයක් සොයති. නමුත් මේ සියල්ලෙන්ම සිදුවන්නේ ගැහැනියගේ ජීවිතය දවසින් දවස අගාධයට ඇද දැමීමකි. හිතන්න.. කාලයකට බලු රෑනක් අහළ පහළ සිටින එකදු බැල්ලියකට හෝ නිදහසේ ඉන්න නොදෙති. රෑනම එකම බැල්ලියකට කා මරා ගනිති. නමුත් සතියකට දෙකකට පසු ඒ කිසිදු බල්ලකු මේ බැල්ලියට ආදරය කරන්නේ නැත. පස්සෙන් යන්නේ ද නැත. නමුත් අසරණ වන බැල්ලියට සිදුවන්නේ බලු තාත්තකු නැති බලු පැටවුන් ගොන්නක් බිහි කිරීමටය.
ගණිකාවන්ට අත්වන ඉරණම වන්නේ ද එයයි. වර්තමානයේදී ළමා නිවාසවල ජීවත්වන දරුවන්ගේ මව්වරුන්ට ද සිදුව ඇත්තේ මෙයමය. කාන්තා දිනයේ වුවද ඇය තවත් පිරිමියකුගේ පහස සංසිඳවන්නේ බොහෝවිට තම දරුවන්ගේ කුසගිනි නිවාලන්නට වන්නට ඇත.
මේ දිනවල සමාජයේ කවුරුත් දිලිනි යශෝධා ජයසූරිය ගැන කතා කරති. දිලිනි අද මෙලොව නැත. හිස නැති දිලිනිගේ කඳ හමුව තිබුණද තවමත් සොයාගත නොහැකි වූ දිලිනිගේ හිස කොහේ හෝ තැනක සැඟවී ඇත. ආදරය නිසා හෝ වෙන යම් දෙයක් නිසා හෝ තරුණ ජීවිතයක් අවුරුදු පනස් දෙකක පිරිමියකුගේ පිහි පහරකින් මරණයට පත්වීම නිසා ඇය කාගේත් කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්විය. දිලිනි අද ජීවතුන් අතර නැත. නමුත් සිරිපාදේ ගිය තම දියණිය එනතුරු තවත් ගැහැනු චරිතයක් ගිලන් වූ ඇඳට වී බලා සිටින්නීය. ඒ දිලිනිගේ මවය. ආදරය නිසා හෝ රාගය නිසා හෝ වෙන යම් දෙයක් නිසා හෝ දිලිනි ජීවිතයෙන් වන්දි ගෙව්වාය. නමුත් ඇය නිසා අද ගැහැනු චරිත කීයක්නම් මැරි මැරී ඉපදේවිද? ජීවිතයට වන්දි ගෙවන්නේද? දිලිනිට මීට වඩා දෙයක් හිතන්නට තිබුණි. නමුත් ඇය කොයි තරම් දුකක් උහුලාගෙන ඉන්නට ඇතිදැයි දන්නේ ඇය පමණි
වැඩිහිටි නිවාසවල ජීවත්වන අම්මලා බොහොමයක් අද තම දරුවන්ගේ මුහුණ දකින්නට පෙරමඟ බලා සිටිති. නමුත් ඔවුන්ගෙන් බොහොමයකගේ අවසන් හුස්ම පොද මේ වා තලයට මුහු වනතුරුම ඒ දරුවන් මේ අම්මලා බලන්නට එන්නේ ද නැත. අවාසනාව දරුවන්ගේදැයි මේ අම්මලාගේදැයි කියන්නට බැරිය. නමුත් දස මසක් කුසේ හොවා මෙලොවට බිහි කළ දරුවන් උස් මහත් කොට ඔවුන් රජුන් වූ පසුව අම්මලාව මහලු නිවාසවලට බාර දෙන්නට තරම් මේ දරුවන් කර ඇති පව්කාරකම කුමක්ද?
මම නිසා තවමත් ගෙදර බඩවල් දෙකක් පිරෙනවා. මේ ගොටුකොළ මිටි ටික විකුණලා තමයි මායි මගේ මනුස්සයයි අපේ ආබාධිත දරුවයි කන්නේ බොන්නේ. මහරගම පොළ තියෙන දවස්වලට මම මේ පොළට ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා මිටි ටික ගේනවා. ඊට අමතරව බිලිං, දෙහි, ගොරකා එහෙමත් ගේනවා. පොඩ්ඩ පොඩ්ඩ තමයි ගේන්න වෙන්නෙ. ගමේ ගස්වල තියෙන හොඳ ගස්ලබු එහෙමත් මගේ මනුස්සයා ගිහින් හොයාගෙන අරගෙන එනවා. මේ ජීවිතේ දුකක්. ඒත් මොනවා කරන්නද? අපි දෙන්නට ලැබුණු එකම ළමයාත් ලෙඩෙක්.* යැයි මහරගම පොළෙහි පලා කොළ විකුණන සෝමා දේශයට පැවසුවාය.
කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නට ඕනෑතරම් කාන්තා සංවිධාන මෙරට ලියාපදිංචි වී තිබුණද දවසකට කීයක්නම් කාන්තාවන් අතවරයට, වධ හිංසාවලට ලක්වනවාද? නිවසේදී සැමියාගේ තාඩන පීඩනවලට ලක්ව අපා දුක් විඳින ඕනෑතරම් කාන්තාවෝ තම දුක දරුවන් හෝ වෙනත් හේතු නිසා හෝ මේ සමාජයෙන් සඟවා තනිවම විඳදරා ගනිති. නිවසින් පටන්ගෙන නොනැවතී ඇයට සමාජයේදීත් විවිධ තාඩන පීඩනවලට දවසින් දවස මුහුණදීමට සිදුව තිබේ.
&මීට පෙර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එක් දිනක උත්සවයක් තමයි පවත්වලා තියෙන්නේ. නමුත් මෙවර දින හතක් පුරාවට අපගේ ආදරණීය කාන්තාවන් සහ දියණියන් වෙනුවෙන් වඩා ඵලදායීව පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු අට වැනිදා සිට මාර්තු මස දාහතර වැනිදා දක්වා මේ කටයුත්ත පැවැත්වෙනවා. මේ ලෝකේ ගොඩනැගෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ තනපුඬුවලින් ගලාගෙන එන ලේ කිරි බිඳුවලින් කියලා අපි අහලා තියෙනවා. අපේ අම්මලා හෙළන දහඩිය කඳුළු වෙනුවෙන් අපි අපේ අම්මාගේ භූමිකාව හැම වෙලාවෙම සිහිපත් කළ යුතුයි. ඒ වගේම ඇගයීමට ලක් කළ යුතු වෙනවා. ඒක තමයි අපේ ප්‍රධාන තේමාව වන්නේ. මේ දේශය වෙනුවෙන් මේ මහපොළොව වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් දා බිඳු හෙළන මේ කාන්තාවන් ඇගයීමට ලක් කළ යුතු වෙනවා.* යැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යයන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා දේශයට පැවසීය.
රටකි - දැයකි - ලොවකි - ඇය යන තේමාව යටතේ මෙවර 2021 ලෝක කාන්තා දිනය සමරනු ලබයි. නමුත් මෙය දවසකට සතියකට පමණක් සීමා වන්නේ නම් සියුමැලි දෑත් ගොරෝසු වද්දී, හිතේ ඇති වේදනාව අසන්නට කෙනෙක් නැති වෙද්දී, ඇයගේ හෙටදවස ගැන අද කුමක්නම් කියන්නද?
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ